නික්ම ගිය සකල කලා සක්විති

529

ජැක්සන්ගේ නිර්මාණයන් අනුකරණයටවත් හැකියාවක් නැති නිවටයන් ඔහුගේ ප්‍රතිරූපය වනසන්න බොරු ගෙතුවා – ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්න

අප්පච්චි හුස්ම ගත්තේ අපි දුන්න මැෂිමෙන් ඒක අපි ගෙදර ගෙනාවේ නෑ අද ඒකෙන් වෙන කෙනෙක් හුස්ම ගන්නවා ඇති – ජැක්සන් ඇන්තනීගේ පුත් සජිත අනුත්තර කියයි

ජැක්සන්ට මේ රට කුඩා වැඩියි ජැක්සන් මේ රටට ලොකු වැඩියි – රන්ජන් රාමනායක

අප්පච්චි රෝහල්ගත වෙලා හිටපු දවස් 458 විවිධ අපහාස කරපු අයට මට කියන්න තියෙන්නෙ අපේ අප්පච්චි හුස්ම ගත්තේ අපි ජාතික රෝහලට දීපු මැෂින් එකෙන් කියලයි. අද ඒ මැෂින් එක අපි ගෙදර ගෙනාවේ නෑ. මේ මොහොතෙත් ඒ මැෂින් එකෙන් වෙන කෙනෙක් හුස්ම ගන්නවා යැයි ඊයේ (12 වැනිදා) සන්ධ්‍යාවේ පැවැති ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ අවමඟුල් උත්සවයේ දී ඔහුගේ පුත් සජිත අනුත්තර සංවේදී කතාවක් කරමින් පැවසීය.

නික්ම ගිය සකල කලා සක්විති

දශක හතරකට වැඩි කලක් රැඟුමෙන් ගැයුමෙන් මෙන්ම දැනුමෙන්ද ශ්‍රී ලාංකීය ජන සමාජය පෝෂණය කළ සකල කලා සක්විති ජැක්සන් ඇන්තනී කලාකරුවා ඊයේ (12දා) සන්ධ්‍යාවේ දී දෙව් මව් තුරුලේ සැතපුණේ ය.

ඊයේ (12දා) දහවල් 2.00 ට පමණ කඩවත පිහිටි ඒ මහතාගේ නිවසෙන් පිටත් වූ දේහය රැගත් රිය පෙරහැර දස දහස් ජන සන්නිපාතයක් පෙරටු කොටගෙන රාගම ශුද්ධවූ පේදුරු පාවුළු දේවස්ථානය වෙත පැමිණියේය. මෑත කාලයේ දී කලාකරුවකු අවසන් ගමනේ දී මෙතරම් ජන බුහුමනට ලක් වූ අවස්ථාවක් නොමැති තරම්ය. රිය පෙරහැර පැමිණෙන මාර්ගය දෙපස රැඳී සිටි විශාල පිරිසක් ඒ මහතාගේ දෙණ රැගත් අවමංගල්‍ය රථයට මල් ඉසිමින් සිය අවසන් ගෞරව පළ කළහ.

රාගම ශුද්ධවූ පේදුරු පාවුළු දේවස්ථානය වෙත රිය පෙරහැරකින් රැගෙන ආ ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය එහිදී සහෝදර කලාකරුවන් විසින් භාරගෙන දේවස්ථානය වෙත ගෙන යන ලදී.

අනතුරුව එම දේවස්ථානය තුළ දී කිතුනු පියතුමන්ලා විසින් ජැක්සන් ඇන්තනී මහතා වෙනුවෙන් විශේෂ දේව මෙහෙයන් සිදු කරන ලදී.

අනතුරුව පැවැති අවමංගල සභාව අමතා ගුණකථනයක් කළ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා මෙසේ කීවේය.

ජැක්සන් මරා ගැනීමේ පිපාසාවෙන් සිටි අතළොස්සක් සමාජ මාධ්‍ය කාරයන්ට අද ඉතාමත් ප්‍රීති දවසක් වෙනවා ඇති. ජැක්සන්ගේ නිර්මාණ සමඟ තරග කිරීමට තබා ඒවා අනුකරණය කිරීමටවත් හැකියාවක් නැති නිවටයන් පිරිසක් ඔහුගේ ප්‍රතිරූපය විනාශ කිරීමට විවිධ බොරු ප්‍රචාර සමාජගත කළා. අද ඒ සියල්ලටම මා පිළිතුරු දෙනවා. ජැක්සන්ගේ දේහය වළ දැමීමට කලින් ඔහුගේ ඇඟේ ගල්වන ලද කුණු සෝදා හැරීම අපගේ යුතුකමක්. ඔහු අනතුරට පත් වෙලා රෝහල්ගත කළ පසු සමහර කුහකයන් සොයා බැලුවේ ජැක්සන් ගැන නෙවෙයි, ඔහුගේ වාහනය හැපුණු අලියා ගැනයි. 2011 කළ අලි සංගණනයට අනුව ලංකාවේ වන අලි ගහනය පන්දාහකට වැඩියි. නමුත් ජැක්සන්ලගේ ගහනය එකයි.

නික්ම ගිය සකල කලා සක්විති

විවිධ ආණ්ඩු වලින් කලින් කලට වරදාන ලබාගත් කලාකරුවන් සිටිනවා. සමහරුන්ට ගෙවල් දුන්නා, වාහන දුන්නා. නමුත් ජැක්සන් කිසිම ආණ්ඩුවකින් එකම බිම් අඟලක්වත් අරගෙන නෑ. ඔහු අනතුරට පත් වන විට පදවාගෙන ගියේ අවුරුදු විසි හයක් පැරණි ඔහුගේ කැබ් රථයයි. රාජපක්ෂ රජයෙන් ජැක්සන් වරදාන ගත්තා කියන අමූලික බොරුව ඔහුගේ ප්‍රතිරූපය විනාශ කිරීමට ගොතන ලද එකක් පමණයි. ජැක්සන් ඇන්තනී කියන්නේ මේ රටේ දුප්පත් කලාකරුවන් කිහිප දෙනාගෙන් එක් අයකු බව මා හොඳාකාරවම දන්නවා. වේදිකාව සිනමාව මෙන්ම රූපවාහිනිය යන ක්ෂේත්‍ර තුනම අතික්‍රමණය කළ එකම කලාකරුවා ජැක්සන් ඇන්තනී පමණයි.

සකල කලාවන් තුළ සිය ප්‍රතිභාව විහිදුවා ලූ ජැක්සන් වැනි යුග පුරුෂයෙක් තවත් කල්ප කාලයකට බිහි නොවන බව සක්සුදක්සේ පැහැදිලියි.

මෙහිදී කතාවක් කළ ජනප්‍රිය නළු රන්ජන් රාමනායක මහතා –

මේ රටේ ජනතාව ජැක්සන්ට කොච්චර ආදරේ කළා ද කියලා බලාගන්න ඕනෙ නම් අද රාගම පල්ලියට එන්න කියලා ජැක්සන්ට ඊර්ෂියා අයට මම ආරධනා කරනවා. ඔහු වැනි ‘ටැලන්ට් එකක්’ තිබුණ මිනිහෙක් මගේ ජීවිත කාලයේදී දැකලා නැහැ. මම ජැකාට ආරාධනා කරනවා නැවත නැවත අපි අතර ඉපදී මේ පිංබිමේ කලා කෙත අස්වද්දමු කියලා. ඒ වගේම මම කියනවා ජැක්සන්ට මේ රට කුඩා වැඩියි, ජැක්සන් මේ රටට ලොකු වැඩියි කියලා.

ජැක්සන් ඇන්තනී කලාකරුවා ගේ අභාවය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එවා තිබුණු ශෝක පණිවිඩය ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා විසින් අවමංගල සභාවට ඉදිරිපත් කරන ලදී.

එමගින් ජනාධිපතිවරයා මෙසේ කියා තිබුණි.

බහුවිධ කලා කුසලතාවන්ගෙන් හෙබි ජැක්සන්ගේ අභාවය ලාංකීය නිර්මාණ ක්ෂේත්‍රයට සිදු වූ අති විශාල පාඩුවක්. ඔහුගේ ජීවිතයේ යම් යම් භාවිතාවන් පිළිබඳව කුමන විවේචන තිබුණත් ඔහු සතු කුසලතාවයන් ඒ සියල්ල අතික්‍රමණය කරනවා.

අවමංගල්‍ය සභාවෙන් අනතුරුව එම දේවස්ථාන භූමියේ පිහිටි සුසාන භූමියේ විශේෂයෙන් සකස් කරන ලද ස්ථානයක ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ දේහය මිහිදන් කෙරිණි.

නික්ම ගිය සකල කලා සක්විති
නික්ම ගිය සකල කලා සක්විති

ඒ වනවිටත් සුසාන භූමියට පැමිණ සිටි ආගමික නායකයන්, කලාකරුවන් හා ජැක්සන් ඇන්තනී මහතාගේ රසිකයන් දහස් සංඛ්‍යාත පිරිසක් ඔහුගේ දෙණ අබියස හඬා වැටෙමින් ශෝක වන අයුරු කාගෙත් දෙනුවන් කඳුළෙන් තෙත් කරන දසුනක් විය. ජැක්සන් ඇන්තනී මහතාගේ ආදරණීය බිරිඳ කුමාරි, පුතුන් වන අකිල සහ සජිත ද දියණිය වන මාධවී ද ජැක්සන් මහතාගේ සහෝදරයන් එකිනෙකා වැළඳ ගනිමින් හඬා වැළපෙන අයුරු දිස්විය.

ඡායාරූප සහ සටහන කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment