රාජ්‍ය සේවය ස්වාධීන කරන වගන්ති නව ව්‍යවස්ථාවට ගේන්න

456

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය

සකස් කිරීමට යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට රාජ්‍ය සේවය ස්වාධීන කරන වගන්ති ඇතුළත් කරන ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය නව රජයෙන් ඉල්ලා සිටී.

එසේ ස්වාධීන රාජ්‍ය සේවයක් තිබුණානම් පොලිස්පතිවරයාට පොලිස් ස්ථානාධිපතිවරුන් පත්කිරීමේදී දේශපාලන වුවමනාවන් මත නොව සුදුසුකම් සපුරා ඇති ස්ථානාධිපතිවරුන් පත් කිරීමට අවස්ථාව උදා වන බව එම සංගමයේ සභාපති පදුල රෝහණ මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

මේ වනවිට අමාත්‍යාංශ ලේකම්වරුන්, දිසාපතිවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය සේවයේ පරිපාලන නිලධාරීන්ගෙන් සමන්විතව පවතින ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය අධ්‍යාපන, මුදල්, ප්‍රවාහන, බලශක්ති, කෘෂිකර්මය ඇතුළු වැදගත්ම ක්ෂේත්‍ර 16 ක් තෝරාගෙන ඒවා සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට අවශ්‍ය යෝජනා රාමුවක් සකස් කර රජයට ඉදිරිපත් කරන බව ද රෝහණ මහතා කීවේය.

මෙහි මුල් පියවර ලෙස පරිපාලන සේවා සංගමයේ නිලධාරීන් 100 දෙනකු කැලණිය පිහිටි විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව යටතේ පවතින නිවාඩු නිකේතනයේදී මෙම මස 28 වැනිදා සාකච්ඡා කර මූලික සැලැස්මක් සකස් කර ගන්නා බව ද ඒ මහතා සඳහන් කළේය. එම සැලැස්ම සඳහා මහජන අදහස්, සිවිල් සංවිධාන, දේශපාලකයන් ඇතුළු පාර්ශ්ව රැසකගේ තොරතුරු සහ අදහස් ලබාගෙන මාස තුනක් වැනි කාලයකින් ජාතික ප්‍රතිපත්ති රාමුව සකස් කිරිමට අදහස් කරන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment