වසර 06 කට පෙර දැයෙන් සමුගත් බෙල්ලන්විල මහා යතිවරයාණෝ

114

(බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ අනු නායක, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති හා කෝට්ටේ කළ්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක වශයෙන් කටයුතු කළ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නා හිමියන් අපවත් වී අදට වසර 06 ක් සම්පූර්ණ වන අතර මේ ඒ වෙනුවෙන් පළකරන ලිපියකි.)

1942 අප්‍රියෙල් මස 14 දා ජන්ම ලාභය ලද මෙම පිංවත් කුල කුමරුවාණන්ගේ ගිහිකළ නම වූයේ ඕමන්තගේ ගිල්බට් පෙරේරා ය. නිකපේ ශ්‍රී විජයරාජ පාසල, පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය හා වාද්දුව මොල්ලිගොඩ ප්‍රවචනෝදය පිරිවෙනෙන් මූලික අධ්‍යාපනය ලැබූ එම කුල කුමරුවා වයස අවු. 13 දී එනම් 1956 පෙබරවාරි 28 දා බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ ස්වර්ණමය යුගයේ නිර්මාතෘ ලෙස සලකන බෙල්ලන්විල සෝමරතන ලොකු හාමුදුරුවන් වෙතින් පැවිදි දිවියට ඇතුළත් වූහ.

1967 කැළණිය විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබාගත් උන්වහන්සේ 1972 විදf්‍යා්දය විශ්වවිද්‍යාලයෙන් පාලි භාෂාව පිළිබඳ විශේෂවේදී උපාධිය ලබාගත් අතර 1980 දී එංගලන්තයේ ලැන්කැස්ටර් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබාගන්නට සමත් වූහ.

පැපිලියාන සුනේත්‍රාදේවී පිරිවෙනේ ආචාර්ය වරයෙක් ලෙස සිය ගුරු ජීවිතය ඇරැඹූ උන්වහන්සේ රත්මලාන පරමධම්මචේතිය පිරිවෙනේ දැරූ පරිවේනාධිපති තනතුරෙන් ඉවත් වී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු ලෙස පූර්ණකාලීනව සිය සේවාව ලබාදෙන ලද්දේ එම විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නා සිසුන් දහස් ගණනකට දැනුම පෝෂණය ලබාදීමේ අරමුණිනි.

උන්වහන්සේ විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් කරන ලද අනුපමේය සේවාව හා අනෙකුත් ආගමික, සමාජයීය හා ශාස්ත්‍රීය සේවාවන් ගැනත් සලකා බලා 2000 වර්ෂයේදී උන්වහන්සේට විශ්වවිද්‍යාලයක් තුළින් ලැබිය හැකි ඉහළම තනතුර වන සම්මානනීය කුලපති පදවියෙන් පිදුම් ලැබීම උන්වහන්සේටත්, එම තනතුරටත් කරන ලද ගෞරවයක් ලෙස හඳුන්වා දිය හැක.

උන්වහන්සේගේ ජීවිත කාලය තුළ උන්වහන්සේ සතු වූ සුවිශේෂී ඥාණය, බුදු දහම හා අනෙකුත් ආගම් පිළිබඳ තිබූ පුළුල් දැනුම උපයෝගී කරගනිමින් උන්වහන්සේ විසින් ධර්ම ගවේෂණ ග්‍රන්ථ රාශියක් රචනා කර ඇත. ඒ අතර බුදුවරු සහ බෝසත්වරු, බුද්ධාගම හඳුනා ගැනීම, බුදු පිළිමය, මුද්‍රා සහ ආසන, බුද්ධ ප්‍රතිමා කලාව සහ බුදු පිළිමයේ විකාශය, බෞද්ධ සම්ප්‍රදාය හා සංස්කෘතිය, බුදු පිළිමයට පෙර බුදුහාමුදුරුවෝ, අංගුත්තර නිකායේ සිංහල අනුවාදය, ප්‍රඥා පාරමිතා සාහිත්‍යය, බුදු දහම සාහිත්‍ය හා කලාව, නොසැලෙන මනස, බෞද්ධ මහා පුරුෂ සංකල්පය, මිනිසාගේ ආගම් ඒ අතර ප්‍රධාන වේ.මෙයට අමතරව උන්වහන්සේ විසින් පුවත්පත් වලට රචනා කළ විචාර ලිපිද රාශියකි. තවද උන්වහන්සේ විසින් ඉංග්‍රීසි භාෂාවෙන්ද ග්‍රන්ථ රාශියක් රචනා කළ අතර ඒවා දෙස් විදෙස් බොහෝ පිරිසකගේ විශේෂ අවධානයට හා සම්මානයට පාත්‍ර වූ පොත් වශයෙන් ද හඳුන්වා දිය හැකිය. උන්වහන්සේ විසින් රචිත මෙම සෑම ග්‍රන්ථයකින්ම කියා දෙන්නට උත්සාහ ගෙන ඇත්තේ වර්තමානයේ මිනිසුන් තුළ පවත්නා විවිධාකාර වූ ප්‍රශ්න ගැටලු වලට ප්‍රායෝගිකව විසඳුම් දිය හැකි එකම දහම බුදු දහම බව පෙන්වා දීමටය.

උන්වහන්සේ කිසිවිටෙක කිසිවෙකුගෙන් හෝ ලාභ ප්‍රයෝජන, තාන්න මාන්න බලාපොරොත්තු නොවූ යතිවරයෙකු විය. මේ නිසාම උන්වහන්සේට කිසිවෙකුට ගැති නොවී තීන්දු තීරණ ගැනීමේ හැකියාවත්, ඕනෑම අයෙකුගේ වරදක් දුටුවිට එය විවෘතව විවේචනය කිරීමේ හැකියාවක් තිබුණි.

කිසිවිටෙකත් පදවි තානාන්තර පසුපස හඹා නොගිය උන්වහන්සේ ජාතික, ආගමික, ශාසනික පුනරුදය සඳහා සිය මතය අභීතව ප්‍රකාශ කළ භික්ෂුන් වහන්සේ නමක් ලෙසද ප්‍රසිද්ධියට පත්ව සිටියේය. උන්වහන්සේ ආගමික ශාස්ත්‍රීය කටයුතුවලට පමණක් සීමා නොවී සමාජ සේවා කටයුතු කෙරෙහිද උනන්දු වී කටයුතු කළ ස්වාමීන් වහන්සේ නමක් ලෙස හඳුන්වා දිය හැකිය. පාසල් හැරයන තරුණ පිරිස් ත්‍රිරෝද රථවලට යොමුවීම කෙරෙහි උන්වහන්සේ තුළ පැවතියේ බලවත් නොසතුටකි. ඒ වෙනුවට ඔවුනට කිසියම් හෝ දෑතේ පුහුණුවක් ලබාදී රැකියාවන්ට යොමු කිරීමේ අරමුණින් උන්වහන්සේ විසින් වෘත්තීය පුහුණු පාඨමාලාවන් රාශියක් විහාරස්ථානය තුළ ආරම්භ කිරීමට කටයුතු කළ අතර, අද එය වෘත්තීය පුහුණු අධිකාරීය සමඟ ඒකාබද්ධ කර වර්තමානයට ගැළපෙන පාඨමාලාවන් රාශියක් ක්‍රියාත්මක කරන ආයතනයක් බවට පත්ව ඇත.

වර්තමානයේ එමගින් පුහුණුව ලැබූ විශාල පිරිසක් දේශීය හා විදේශීය රැකියාවන් හි නිරත වී සිටී. එම වෘත්තීය පුහුණුව තුළින් ලබා ගන්නා වටිනා සහතිකය සිසුන් බොහෝ දෙනකුට දෙස් විදෙස් රැකියාවන් ලබා ගැනීමට පහසු වී ඇත. එපමණක් නොව උන්වහන්සේ විහාරස්ථානයේ රථගාලෙන් ලැබෙන ආදායම විහාරස්ථානයේ කටයුතු සඳහා නොයොදවා එම මුදල සම්පූර්ණයෙන්ම ප්‍රදේශයේ වකුගඩු හා හෘද රෝගීන්ගේ සැත්කම් සඳහා අරමුදල් සපයන ගිණුමක් බවට පත්කර ඇත. විහාරස්ථානයේ රථගාලට ඇතුල් කරගන්නා වාහනයකින් අය කරන රු. 30 සිට රු. 50 දක්වා වූ මුදල එකතු කර අද වනවිට අසරණ රෝගීන් 850 කට පමණ සැත්කම් සඳහා රුපියල් ලක්ෂ 300 කට අධික මුදලක් ලබා දී තිබීම ගැන කවුරුත් පුදුමයට පත්වන අතර, එය බොහෝ දෙනාගේ ප්‍රශංසාවට පවා පාත්‍ර වී ඇත. විමලරතන ස්වාමීන් වහන්සේ විහාරස්ථානයේ ශ්‍රී බෝධිරාජ දහම් පාසල ආරම්භ කරන ලද්දේ ළමුන්ට අධ්‍යාපනය පමණක් නොව ඔවුන් හට විනය හා ගුණගරුක බව ලබාදීමේ අරමුණිනි. අද එම දහම් පාසල 100 කට ආසන්න දක්ෂ ආචාර්ය මණ්ඩලයක් යටතේ සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගන්නා සිසුන් 2500 කට අධික සංඛ්‍යාවක් සිටින අගනුවර ඇති ප්‍රධාන පෙළේ බෞද්ධ දහම් පාසලක් බවට පත්ව ඇත.

සෑම මාස 03 කට වරක් කලුබෝවිල හා කොළඹ මහ රෝහලේ විශේඥ වෛද්‍යවරු කැඳවා ප්‍රදේශයේ අසරණ ජනතාවගේ විවිධාකාර වූ රෝගවලට නොමිලයේ බෙහෙත් ලබාදීම සඳහා වෛද්‍ය සායනයක් පැවැත්වීමත්, වසරකට වරක් ප්‍රදේශයේ දුප්පත් පවුලක් තෝරා ඔවුනට ඉඩමක් සහිත නව නිවසක් ඉදිකර දීමත්, ප්‍රදේශයේ අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට පොත් හා ශිෂ්‍යත්ව ලබාදීමත් උන්වහන්සේ විසින් ආරම්භ කරන ලද ප්‍රජා සත්කාරක සේවාවන් අතර ප්‍රධාන වේ. උන්වහන්සේගේ 06 වැනි ගුණානුස්මරණ පිංකම වෙනුවෙන් උන්වහන්සේට පිං අනුමෝදන් කිරීම සඳහා අද (පෙබරවාරි 03 දා සෙනසුරාදා) දින කොළඹ 07 බෞද්ධාලෝක මාවත, නාරද බෞද්ධ මධ්‍යස්ථානාධිපති, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත තලල්ලේ චන්දකිත්ති ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් ධර්ම දේශනාවක් පවත්වන අතර මහා සංඝරත්නය විෂයෙහි දහවල් දානයද පිරිනමනු ඇත. ඊට අමතරව පෙබරවාරි 11 වැනි දින බෙල්ලන්විල ශ්‍රී සෝමරත්න විශ්‍රාම ශාලාවේදී බෙල්ලන්විල ප්‍රජා සංවර්ධන පදනමේ සංවිධානත්වයෙන් ලේ දන්දීමේ කඳවුරක් පැවැත්වීමට ද කටයුතු සංවිධානය කර ඇත. එමෙන්ම විමලරතන අනුනාහිමියන්ට පිං පැමිණවීමේ අරමුණින් ජනවාරි 28 වැනිදා බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේදී උන්වහන්සේ විසින්ම ආරම්භ කරන ලද විවිධ රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් විශේෂඥ වෛද්‍ය සේවාවක් නොමිලේ පැවැත්වීමට ද කටයුතු කරන ලද අතර එදින රෝග පරීක්ෂාවන් පමණක් නොව රසායනාගාර පරීක්ෂාවන් මගින් රෝගීන් 1500කට පමණ අවශ්‍ය බෙහෙත් හා උපදෙස් ද නොමිලේ ලබාදීම සිදු කරන ලදී.

එමෙන්ම බෙල්ලන්විල විමලරතන ස්වාමීන් වහන්සේට තවදුරටත් පිං පැමිණවීමේ අරමුණින් උන්වහන්සේ විසින්ම ලෝක බෞද්ධ සම්මේලනය, සිංගප්පූරුව, ඉන්දුනිසීයාව, තායිලන්තය හා එංගලන්තය ආදී රටවලින් ලැබුණු ආධාර මුදල් උපයෝගී කර ගෙන 2004 වර්ෂයේ සුනාමි ව්‍යසනයෙන් උන් හිටිතැන් අහිමි වී සිටි අසරණ පිරිසකට නිවාස 150ක් ඉදිකර දුන් පෑරලිය/ ගොඩගම ග්‍රාමයේ කුඩා දරුවන් විශාල පිරිසක් සඳහා අධිපෝෂණ ගුණයෙන් යුත් කිරිපිටි බෙදාදීමක් හා එහි පරිගණක මධ්‍යස්ථානයට අවශ්‍ය පරිගණක යන්ත්‍ර බෙදාදීමක්ද සිදු කරන ලදී. අපවත් වී වදාළ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමි වෙනුවෙන් සිදු කරනු ලබන මෙම හැම පිංකමක්ම බෙල්ලන්විල රාජමහා විහාරාධිපති, සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක, කඩුගන්නාව ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ නිර්මාතෘ ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නායක හිමියන්ගේ මූලිකත්වයෙන් සිදු කරනු ඇත. මහාචාර්ය විමලරත්න අනු නාහිමි වැනි උගත් බුද්ධිමත් යතිවරයකුගේ අභාවය නිසා ඇතිවූ හිඩැස අපට කිසිදිනෙක සම්පූර්ණ කළ නොහැකි අඩුවක් ලෙස දකිමු. වසර 60ක් පුරා පැවිදි දිවිය ඒකාලෝක කළ උන්වහන්සේ වයස අවු.75 දී සිය දිවියෙන් සමුගත්තද, උන්වහන්සේ අපට ලබාදුන් ඒ ආලෝකය හා සුවඳ අදටත්, ඉදිරියටත් දස අත පැතිර යමින් ආලෝකමත් කරනු ඇත.

වසර 6 කට පෙර අප අතරින් වියෝ වූ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමි නම්වූ ඒ යතිවරයාණන්ට අජරාමර නිවන් සුව අත්වේවා!

එල්. එස්. වනිගසිංහ දායක සභාවේ ලේකම්,
බෙල්ලන්විල රාජමහා විහාරස්ථානය

advertistmentadvertistment
advertistmentadvertistment