ඔස්ට්‍රේලියාවට එන විදෙස් සංක්‍රමණිකයන් භාර ගැනීම අඩකින් බස්සයි

539

වීසා නීති සහ ඉංග්‍රීසි අධ්‍යාපන සුදුසුකම් නීති දැඩි කරයි

ඉදිරි දෙවසර තුළ ඔස්ට්‍රේලියාවට පැමිණෙන විදෙස් සංක්‍රමණිකයන් සංඛ්‍යාව හරි අඩකින් කපා හැරීමට එරට රජය තීරණය කර තිබේ. ලොව පුරා රටවලින් අධ්‍යාපනය හා රැකියා සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යමින් පැවතීමත් එසේ පැමිණෙන පිරිසට අවශ්‍ය නිවාස හා යටිතල පහසුකම් සැපයීම අභියෝගයක් වීමත් මෙම තීරණය ගැනීමට මුල් වූ බව ඔස්ට්‍රේලියානු රජය විසින් ඊයේ (11දා) නිවේදනය කර තිබේ. දැනට වාර්ෂිකව එරටට පැමිණෙන පන්ලක්ෂයක් පමණ වන විදෙස් සංක්‍රමණිකයන් සංඛ්‍යාව 2025 වසරේ ජුනි 25 වන විට දෙලක්ෂ පනස්දහසක් දක්වා අඩු කිරීමට සැලසුම් කර ඇති බව ඔස්ට්‍රේලියානු රජය පවසයි. මේ යටතේ සෙසු රටවලින් ඔස්ට්‍රේලියාවට පැමිණෙන ජාත්‍යන්තර ශිෂ්‍යයන් හා අඩු පුහුණු සේවකයන් සඳහා වන වීසා නීති තවත් දැඩි කිරීමට තීරණය කර ඇති අතර, ජාත්‍යන්තර සිසුන් සඳහා දැනට පවතින අවම ඉංග්‍රීසි අධ්‍යාපන සුදුසුකම් නීති තවත් දැඩි කිරීමටත්, සිය දෙවැනි විසා බලපත්‍රය සඳහා අයැදුම් කරන සිසුන් සඳහා පවතින නීති දැඩි කිරීමටත් කටයුතු යොදා ඇති බව ඊයේ ඔස්ට්‍රේලියානු රජයේ ඉදිරි වසර 10 සඳහා වන නව සංක්‍රමණික ප්‍රතිපත්තිය හඳුන්වා දෙමින් පැවති මාධ්‍ය හමුවකදී ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු ඇමැතිනි ක්ලෙයාර් ඕ නිල් සඳහන් කර තිබේ.

මෙම වසරේ ජුනි දක්වා ගතවූ වසරක් තුළ ඔස්ට්‍රේලියාවට පැමිණ ඇති මුළු විදෙස් සංක්‍රමණිකයන් සංඛ්‍යාව පන්ලක්ෂ දසදහසක් බව මෙහිදී අනාවරණය වී තිබේ. වැඩි වන විදෙස් සංක්‍රමණිකයන්ගේ ආගමනය හේතුවෙන් එම පිරිසට අවශ්‍ය නිවාස සැපයීම රජයට දැඩි අභියෝගයක්ව පවතින අතර මේ වන විට ඔස්ට්‍රේලියාවේ නිවාස නොමැති සංඛ්‍යාවද ඉහළ ගොස් ඇති බව එහිදී අනාවරණය වී තිබේ.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment