අනුරපුර ලංගම බස් සේවක දෙපළගෙන් උතුම් ක්‍රියාවක්!

70

ලක්ෂ 10ක මුදල් හා පරිගණකයක් යළි හිමිකරුට

රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනාකමක් සහිත මුදල් සහ ඇපල් වර්ගයේ ලැප්ටොප් පරිගණකයක් හමුවූ අනුරාධපුර ශ්‍රී ලංගම ඩිපෝවේ කොන්දොස්තරවරයෙක් සහ රියැදුරෙක් එහි හිමිකරු වෙහෙස වී සොයා ආපසු භාර දීමට කටයුතු කර ඇත.

මෙසේ මුදල් භාරදුන් කොන්දොස්තරවරයා වූයේ පී. කේ. රණතුංග (46) සහ ඩබ්ලිව්. එම්. අබේරත්න (50) යන අනුරාධපුර ඩිපෝවේ සේවකයෝ වෙති. මුදල් හා ලැප්ටොප් පරිගණකය හිමි පුද්ගලයා වූයේ අකුරණ පදිංචි එම්. ලුක්මන් (31) නැමැති ව්‍යාපාරිකයෙකි.

අනුරාධපුරයෙන් ඉකුත් නවය (9) දා පස්වරු 5.15ට මහනුවර බලා පිටත් වූ බස් රථයට දඹුල්ලෙන් තම ව්‍යාපාර ස්ථානයේ සිට අකුරණ නිවස බලා යෑමට රාත්‍රියේ මේ ව්‍යාපාරිකයා ගොඩ වී ඇත. නිවසට ගොස් හෝරා කීපයක් ගතකර ඇති මොහු තමාගේ බෙහෙත් සෙවීමේදී තම බෑගය නොමැති බව දැනගෙන තිබේ.

රාත්‍රි 10.30ට පමණ මහනුවරට ළඟා වූ බස් රථය හිස් වූ පසු රියැදුරු සහ කොන්දොස්තරවරයා බසය පිරිසිදු කිරීමට යෑමේදී බස් රථයේ රඳවනයක් තුළ බෑගයක් දැක ඒ පරීක්ෂා කර බලා ඇත. එහිදී රුපියල් පන්දහසේ මුදල් මිටි සහිතව ඇපල් වර්ගයේ ලැප්ටොප් පරිගණකයක් සහ කුඩා ප්‍රමාණයේ ඉංග්‍රීසි පොතක් හමුවී තිබේ. අයිතිකරුගේ කිසිදු හෝඩුවාවක් නොමැති තැන ඔවුන් විසින් අනුරාධපුර ඩිපෝ අධිකාරී ටී. කළුආරච්චි වෙත මේ බව දන්වා ඇත. ඔහු දන්වා ඇත්තේ සියලු දේ සුරක්ෂිතව තබන ලෙසත් කුමන හෝ අනන්‍යතාව සහතික කරගත හැකි දෙයක් ඇත්දැයි යන්න තවත් පරීක්ෂා කරන ලෙසයි. එහිදී කුඩා ඉංග්‍රීසි පොතේ හඳුනාගැනීමේ කුඩා කාඩ් පතක් හමුවී ඇති අතර එහි තිබූ දුරකථන අංකයට ඇමතුමක් ලබා දුන්නද ඔහු එහි හිමිකරු නොවීය. තව දුරටත් තොරතුරු දන්වා සිටීමේදී විස්තරවලට අනුව ඒ ඔහුගේ සොහොයුරා බවට තහවුරු කර ගැනීමට හැකිව තිබේ.

අනතුරුව අනුරාධපුර ඩිපෝ අධිකාරී කාර්යාලයට එහි හිමිකරු ඊයේ (11) කැඳවා රුපියල් ලක්ෂ පහක මුදල සහ පරිගණකය ඉංග්‍රීසි පොත සහ බෑගය නැවත භාර දෙන ලදී. අපේ ඩිපෝ අධිකාරිතුමා ඉතා දැහැමිව කටයුතු කරන කෙනෙක් වශයෙන් අපි ද ඒ ධර්මතාව අනුව කටයුතු කරන බව පී. කේ. රණතුංග කොන්දොස්තරවරයා සඳහන් කළ අතර දෙවියන් වැනි මිනිසුන් සිටින බව මේ සිද්ධියෙන් පැහැදිලි යැයි ව්‍යාපාරික එම්. ලුක්මන් ‘දිවයින’ට පැවසීය.

නොච්චියාගම – එම්.එම්.පී.ජී. පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment