කළුතර පාසල් සිසුවිය මියයාම: ප්‍රධාන සැකකරු පැය 48ක් රඳවා ගෙන ප්‍රශ්න කරන්න පොලිසියට අවසර

829

දැඩි රැකවල් මැද සැකකරු අධිකරණයට

කළුතර පස්මහල් ගොඩනැගිල්ලකින් ඇදවැටී මියගිය 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද ප්‍රධාන සැකකරු පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කළුතර ප්‍රධාන මහෙස්ත්‍රාත් නීතා හේමමාලී හාල්පන්දෙනිය මහත්මිය පොලිසියට අවසර දුන්නාය.

කළුතර දකුණ, ඉසුරු උයන, අංක 63 ලිපිනයේ පදිංචි ධනුෂ්ක ගයාන් සහබන්දු යන අය මෙසේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදෙන ලදි.

කළුතර දකුණ, ප්‍රධාන වීදිය, අංක 402 ලිපිනයේ පිහිටි සිසිලියන් වෝක් හෝටලය පිටුපස රේල් පාරේ වැටී සිටිය දී සොයා ගන්නා ලද කළුතර, නාගොඩ, ‘සැනසුම’, අංක 115 ලිපිනයේ පදිංචිව සිටි ටිහාරා නිර්මානී දැරියගේ මරණය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු, පොලිස් පරීක්ෂක ධම්මික ද සිල්වා මහතා විසින් අත්අඩංගුවට ගෙන ඇති බව අධිකරණය හමුවේ කරුණු වාර්තා විය.

සැකකරු එදින මියගොස් ඇති දැරිය සමග හෝටලයේ කාමර අංක 7 හි එකට මත්පැන් පානය කරමින් සිටි බවට අනාවරණය වී ඇති බව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.

ඒ අනුව පරීක්ෂණ මෙතෙක් නිමකර නොමැති බැවින් ඉදිරි විමර්ශන සඳහා පැය 24 ක් ප්‍රමාණවත් නොවන බවත් සඳහන් කරමින් ඉදිරි පැය 48 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙය මනුෂ්‍ය ඝාතනයක් නොවන බවට වෛද්‍යවරයා නිගමනය කර ඇති බවත්, එය සියදිවි නසා ගැනීමක් බවත් විත්තියේ නීතිඥ සරත් කරවිට මහතා අධිකරණය හමුවේ කියා සිටි අතර, සිය සේවාදායකයා පොලිසිය වෙත සියලු කරුණු වාර්තා කර තිබියදී රැඳවුම් නියෝග ලබා ගන්නේ මන්දැයි විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සරත් කරවිට මහතා විමසා සිටියේය.

උප පොලිස් පරීක්ෂක කේ. එන්. ඒ. ජී. ඩී. බණ්ඩාර මහතා කියා සිටියේ සැකකරු එදින මත්පැන් පානය කර සිටියේද යන්න සම්බන්ධයෙන් රුධිර සාම්පලයක් ලබා ගැනීමට සහ තවදුරටත් ප්‍රශ්න කිරීමට ඇති බවයි.

සැකකරු අද දිනයේ අධිකරණ වෛද්‍යවරයා හමුවට පමුණුවන්නේ දැයි රැඳවුම් නියෝග නිකුත් කිරීමට පෙර, ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය පොලිසියෙන් විමසා සිටියාය.

උප පොලිස් පරීක්ෂක කේ.එන්.ඒ.ජි.ඩී. බණ්ඩාර සහ සැරයන් ජගත් සිරිවර්ධන (41055) යන නිලධාරිහු අධිකරණයට කරුණු වාර්තා කළහ.

නඩුව ලබන මැයි 12 යළි කැඳවීමට නියමිතය.

කළුතර දකුණ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතා ඇතුළු නිලධාරිහු පිරිසක් දැඩි ආරක්ෂක රැකවල් යොදා සැකකරු අධිකරණ භූමියට රැගෙන ආහ.

ආර්. ඒ. එස්. ප්‍රේමතිලක – බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment