එදා සෝමහිමි දේශනා කළ බොහෝ දහම් කරුණු අද ඇත්ත වෙලා – පල්ලේවෙල දේවරක්ඛිත හිමි

198

* සෝමහිමි 18 වැනි ගුණ සමරුව

රට ජාතිය වෙනුවෙන් එදා අභීතව හඬ නැඟූ ගංගොඩවිල සෝම හිමිපාණන්ගේ වටිනා ධර්ම දේශනා අදටත් මේ සමාජයට වලංගු බව ගංගොඩවිල සුභද්‍රාරාම පරිවේණාධිපති කොළඹ නව කෝරළයේ ප‍්‍රධාන සංඝනායක පල්ලේවෙල දේවරක්ඛිත හිමිපාණෝ පැවසූහ.

උන්වහන්සේ එසේ පැවසුවේ අපවත්වී වදාළ පූජ්‍යපාද ගංගොඩවිල සෝම හිමිපාණන්ගේ 18 වැනි ගුණ සමරු පිංකම ඊයේ (12 දා) උන්වහන්සේ උපන් ගම වන ගංගොඩවිල දෙල්කඳ හයිලෙවල් ප්ලාසා ඉදිරිපිටදී ඇති ගංගොඩවිල සෝම හිමිපාණන්ගේ පිළිරුව අභියස පැවැති ගුණ සමරු අවස්ථාවේ උන්වහන්සේ එසේ කීහ.

ගංගොඩවිල බොදු පදනම විසින් සංවිධානය කළ මෙම පිංකමේදී සෝම හිමිපාණන්ට අමතරව අපවත්වී වදාළ පූජ්‍යපාද මහාචාර්ය බෙල්ලන්විල විමලරතන, මාදුළුවාවේ සෝභිත, කොටුගොඩ ධම්මාවාස, වැලමිටියාවේ කුසලධම්ම ඇතුළු අවට විහාරස්ථානවල විහාරාධිපති හිමිපාණන් වහන්සේලාගේ පිළිරුව තබා උන්වහන්සේලා අනුස්මරණය කරනු ලැබූහ.

මෙහිදී තවදුරටත් සිය දේශනාව කළ පල්ලේවෙල දේවරක්ඛිත හිමිපාණෝ මෙසේද කීහ.

මේ ගංගොඩවිල ප‍්‍රදේශය ගැන ලංකාවෙත් ලෝකයෙත් ප‍්‍රචලිත කළ හිමිනමක් තමයි ගංගොඩවිල සෝම හාමුදුරුවෝ. උන්වහන්සේගේ ධර්ම දේශනාවල වටිනා අර්ථයක් තිබුණා. රිදෙන්න ඕන තැන්වලට රිදෙන්න කතා කළා. සිංහල ජාතිය වෙනුවෙන් භය නැතුව උන්වහන්සේ හඬ නැඟුවා. ජාතියට වෙන්න යන විපත්තිය පෙන්වා දුන්නා.

මුස්ලිම් ජනතාව අතර හොඳ ගුණාංග තියෙනවා. අපේ උන් ළඟ තමයි ඒ ගුණාංග නැත්තේ කියලත් උන්වහන්සේ කිව්වා. අද සමාජයේ බොහෝ දෙනා අනුන්ට බැණ බැණ ඉන්නවා. කිසිම මනුස්සකමක් නැහැ. අපේ බොහෝ දෙනා අද පිරිහිලා. රටක් හැදෙන්න නම් අපි හැම දෙනාම ප‍්‍රතිපත්තිගරුක වෙන්න ඕනෑ. සෝම හිමිපාණන් හැම කරුණක්ම පැහැදිලිව නිරවුල්ව ඉදිරිපත් කළා.

ගංගොඩවිල බොදු පදනමේ සභාපති දේශමාන්‍ය ජයන්ත ජයමාන්න මහතා-

සෝම හාමුදුරුවන්ගේ ධර්ම දේශනා සමග තරුණ පරපුර ඒකරාශී වුණා. එදා උන්වහන්සේ කියපු බොහෝ දහම් කරුණු අද සත්‍යයක් බවට පත්වෙලා තියෙනවා. උන්වහන්සේගේ ධර්මය පසුපස ගිය අය හුඟක් ඉන්නවා. කොවිඞ් වසංගතය කියලා මේ පිංකම අද කරන්න බැරිවුණා නම් කියයි කොන්ද පණ නැති ජාතියක් කියලා. එදා සෝම හාමුදුරුවෝ අපවත් වුණාට පසු රටපුරා පිංකම් කළා. නමුත් අද උන්වහන්සේ වෙනුවෙන් පිංකම් කරන්නේ කීයෙන් කී දෙනාද? ගංගොඩවිල බොදු පදනම උන්වහන්සේ අපවත් වූදා සිට මේ දක්වා පිංකම් කරන්නේ ඉතා ගෞරවයෙන්. ඒ විතරක් නෙවෙයි අපවත්වී වදාළ අවට විහාරස්ථානවල නායක හාමුදුරුවන් වහන්සේලාවත් අපි ස්මරණය කරනවා.

සිංහල ජාතිය වෙනුවෙන් බෞද්ධාගම වෙනුවෙන් හඬ අවදි කළ ගංගොඩවිල සෝම හිමියන් කිසි දිනෙක අමතක වෙන්නේ නැහැ. අන්‍යාගමිකරණයට එරෙහිව උන්වහන්සේ දැඩිව හඬ නැඟුවා. රටේ මත්ද්‍රව්‍යවලට එරෙහිව උන්වහන්සේ හඬ නැඟුවා. තරුණ පරපුර රැුකගන්න උන්වහන්සේ විශාල උත්සාහයක් ගත්තා.

මෙම අවස්ථාවට ගංගොඩවිල සෝම හිමිපාණන්ගේ බාල සොයුරු පද්මසිරි වීරතුංග මහතා ඇතුළු පවුලේ ඥාතීහු ද, ගංගොඩවිල බොදු පදනමේ සාමාජික සාමාජිකාවන්ද සහභාගී වූහ.

අපවත්වී වදාළ අතිපූජ්‍ය  ගංගොඩවිල සෝම හිමියන්ගේ 18 වන ගුණානුස්මරණ උත්සවය ගංගොඩවිල බොදු පදනම මගින් නුගේගොඩ දෙල්කඳ හන්දියේ පිහිටි සෝම හිමියන්ගේ පිළිරුව අසලදී ඊයේ සංවිධානය කොට තිබුණි.

එහිදී ගංගොඩවිල බොදු පදනමේ සභාපති දේශමාන්‍ය ජයන්ත ජයමාන්න මහතා ඇතුළු පිරිස සෝම හිමියන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූ අයුරු.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් ඡායාරූප – ධර්මසේන වැලිපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment