කරාපිටියේ ඉදිකිරීම් භූමියකදී පස් කන්දක් කඩා වැටී අයෙක් මරුට – තවත් තිදෙනෙකුට බරපතල තුවාල

143

සිද්ධිය සැළවී කොන්ත්‍රාත්කරුත් සිහිසුන් වී රෝහලේ

ගාල්ල කරාපිටිය නගරයේ අලු‍තින් ඉදිකරගෙන යනු ලබන සිව්මහල් ගොඩනැගිල්ලක පිටුපස පැතිබැම්මක් ඉදිකිරීම සඳහා කාණුවක් කපා එහි කමිබි කූරු අතුරමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු පස් කණ්ඩියකට යටවීමෙන් එක් අයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර තවත් තිදෙනෙකු බරපතළ තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති බැව් කරාපිටිය රෝහල් පොලිසිය පැවසීය.

කරාපිටියේ ඉදිකිරීම් භූමියකදී පස් කන්දක් කඩා වැටී අයෙක් මරුට - තවත් තිදෙනෙකුට බරපතල තුවාල

09දා පස්වරුවේ දී මෙම සිද්ධිය වී ඇත. පස් කණ්ඩියට යටවීමෙන් මියගොස් ඇත්තේ පිටදුව ගමගේ ප්‍රසංග සංජීව (35) නමැති ඉමදුව වල්පොල ප්‍රදේශයේ පදිංචි විවාහකයෙකි. පස් කණ්ඩියට යටවීමෙන් බරපතළ තුවාල ලැබූ තවත් පුද්ගලයෙකු දැඩි අසාධ්‍ය තත්වයෙන් යුතුව කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. අනික් පුද්ගලයින් දෙදෙනාගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. තුවාල ලැබූවන් ඉමදුව වල්පොළ ප්‍ර දේශයේ පදිංචිකරුවෝ වෙති.

කඩා වැටීමට ලක්ව ඇති පස් කණ්ඩියේ දිග අඩි 40ක් පමණ වන අතර උස අඩි 10ක් පමණ වන බව පොලිසිය පවසයි.

මියගිය පුද්ගලයාගේ හදිසි මරණ පරීක්ෂණය 10දා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පැවැත්වීමට නියමිතව තිබුණි. මෙකී ආරක්ෂිත පැති බැම්ම ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත්තුව ලබාගත් කොන්ත්‍රාත්කරු ද මෙම සිද්ධියෙන් පසු සිහිසුන්ව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ 58 වාට්ටුවට ඇතුළත්කොට තිබුණි. ඔහු මෙම සිද්ධියෙන් පසු මානසික ආතතියට ලක්ව ඇති බැව් පොලිසිය පවසයි.
ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි ගාල්ල හිනිදුම රවීන්ද්‍ර චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment