සරුබිම- දාස්පෙතියා වගාකර නොමිලේ සැදැහැවතුන්ට දෙන දානපතියෝ

369

සංසර ගමන කෙළවර කර ගැනීමට පිං කුසල් රැස්කිරීමේ අරමුණින් අක්කර භාගයක පමණ ඉඩමක දාස්පෙතියා මල් වගාකර, දිවයිනේ බෞද්ධාගමික පූජනීය ස්ථාන වෙත පූජා කිරීමට යන බැතිමතුන්ට, දාස්පෙතියා මල් නොමිලේ ම පරිත්‍යාග කරන සැදැහැවත් මල්වගාකරුවන් පිරිසක් කැකිරාව, ඔළුකරඳ, කරඹෑවත්ත ප්‍රදේශයෙන් පසුගියදා අපට හමු විය.

සරුබිම- දාස්පෙතියා වගාකර නොමිලේ සැදැහැවතුන්ට දෙන දානපතියෝ

අඹන්පොළ සිට රැකියාව පිණිස කැකිරාව නගරාසන්නයට පැමිණි එච්. එම්. සාගර මහතාගේ සංකල්පයකට අනුව පූජ්‍යපාද ඇහැලේපොල තණ්හංකර ස්වාමීන් වහන්සේගේ පූර්ණ අනුශාසනා මත කැකිරාව කරඹෑවත්ත ග්‍රාමයේ මෙම දාස්පෙතියා මල්වගාව ඉතා සාර්ථකව සිදු කරගෙන යයි. මෙම මල් වගාව සඳහා ඩබ්ලිව්. එම්. සනත් කුමාර මහතා පරිත්‍යාග කළ අක්කර භාගයක පමණ ඉඩම් කොටසක ධර්මසිරි උපනන්ද, ඩී. එම්. කරුණාරත්න අනුර කෝරලගේ යන අයගේ මූලිකත්වයෙන් ප්‍රදේශවාසීන් සම්බන්ධ කර ගෙන මෙය ක්‍රියාත්මක කෙරේ.

සරුබිම- දාස්පෙතියා වගාකර නොමිලේ සැදැහැවතුන්ට දෙන දානපතියෝ

දාස්පෙතියා මල් වගාකිරීමේ මූලිකත්වය ගෙන කටයුතු කරන  එච්. එම්. සාගර මහතා

මහනුවර දළදා මාලිගය, කතරගම කිරි වෙහෙර, සඳගිරිසෑය, නෙල්ලිගල පුදබිම, රණවන යනාදි බෞද්ධාගමික පුදබිම්‘ හි පූජාවන් සඳහා මේවනවිට දාස්පෙතියා මල් ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් සැදැහැවතුන් හට නොමිලේ ම පරිත්‍යාග කිරීමට කරඹෑවත්ත මෙම මල්වගාකරුවන් පිරිස කටයුතු කර ඇත.

සරුබිම- දාස්පෙතියා වගාකර නොමිලේ සැදැහැවතුන්ට දෙන දානපතියෝ

ඉකුත්දා අනුරාධපුර රුවන්වැලි සෑරදුන් වෙත දාස්පෙතියා මල් පූජාවක් උදෙසා මෙම මල් වගාවෙන් පස්වන වරටත් මල් නෙළනු ලැබී ය. එහිදී මල් 20,000කට ආසන්න සංඛ්‍යාවක් නෙළු අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ හතරකට ආසන්න විය. එහෙත් ඔවුහු වාණිජ පරමාර්ථයකින් තොරව ඔවුහු ඒවා නිර්ලෝභීව පිං කුසල් රැස්කිරීම උදෙසා මෙම රුවන්වැලි සෑරදුන් වෙත පූජා කරන ලදී.

මල් නෙළීම සඳහා ගමේ බාල මහලු, තරුණ, වැඩිහිටි 20-25ක පමණ පිරිසක් සිය ශ්‍රද්ධා භක්තියෙන් යුක්තව සිය කාලය, ශ්‍රමය කැප කරමින් මෙම දාස්පෙතියා මල් වගාවට සම්බන්ධ වී නොමිලේ වැඩකටයුතු කිරීම විශේෂත්වයකි. මීට අමතරව වගාවේ වල් බිහි වූ පසු ඒවා මර්දනය කිරීම සඳහා ද ඔවුහු ස්වෙච්ඡාවෙන් ම පැමිණ උදළුගෑම සිදු කරයි. මෙම දාස්පෙතියා මල් වගාවේ මල්වලින් ඉදිරියේ දී දාස්පෙතියා මලින් නිර්මාණය කළ මල් මාලාවකින් රුවන්වැලි සෑරදුන් සරසා පූජා කිරීම මීළඟ අරමුණ බව එච්. එම්. සාගර මහතා කීය.

තිරප්පනේ – සමන් පෙරේරා
සංස්කරණය – ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment