හිමිවීම් අහිමිවීම්, එකම කාසියේ දෙපැත්තක් වගෙයි – මාධවී

155

මාධවී වියළි කතරකට වැටුණ වැස්සක් වගේ – කසුන්
අපිට අපිව දැනෙනවා…

තව දින තුනකින් එළැඹෙන්නේ පෙම්වතුන්ගේ දිනය. ආදරයෙන් වෙලුණු ආදරවන්තයන් මේ දිනය සමරන්න නැතිව එන්නේ නැහැනේ. ඇයි ඉතිං ආදරවන්තයන්ගේ දිනයේ තමන්ගේ ආදර කතාව සැමරුවේ නැතිවුණොත් හිතට ලොකු දුකක් ඇති වෙනවානේ.

අපි අද කතා කරන්න යන දෙපළගෙත් ආදර කතාව ජනප්‍රිය වීමත් සමගම මේ යුවළට ලැබුණු රසික ආදරය නම් අඩුවක් නැහැ. ඒ උණුසුම යන්න කලින්ම ඔවුන් දෙදෙනා එක් වී ගීතයක් නිර්මාණය කළා. එය නමින් ‘ප්‍රේමයට සීමාවක් නැහැනේ’ වෙනස්ම සංකල්පයක් අනුව සිනමාත්මක ආභාෂයත් එක්ක නිර්මාණය කළේ සහ ගීත රූප රචනාව අධ්‍යක්ෂණය කළේ කසුන් මහේන්ද්‍ර හීනටිගල’ එය ගායනා කරන්නේ කවුරුත් දන්න කියන මාධවී ඇන්තනී විසිනි.

හිමිවීම් අහිමිවීම්, එකම කාසියේ දෙපැත්තක් වගෙයි - මාධවී

ඉතිං පෙම්වතුන්ගේ දිනය වගේම ආදරය ගැනත් එයාලගේ නැවුම් තොරතුරු මොනවාද කියලත් දැනගන්න අපි කසුන් මහේන්ද්‍රටයි” මාධවී ඇන්තනීටයි ආරාධනාවක් කළා. අපේ ආරාධනාව පිළිගත්තාට පස්සේ ඇතිවුණ කතාබහේ පෙළගැස්මයි මේ.

● කසුන් ආදරය දකින්නේ කොහොමද?

මට ආදරය කියන්නෙ හුස්ම වගේ. ඒ කියන්නෙ මං හිතන විදිහට කෙනකුගේ ජීවිතයක ආදරය නැත්නම් ඒ කෙනා ඉන්නෙ පණපිටින් මියගිහින්. ඒ නිසා ආදරය තමයි ජීවිතේ ජීවත් කරවන හුස්ම. ඉතිං මං විශ්වාස කරනවා ආදරය ජීවිතයට වඩා හරි විශාලයි කියලා.

හිමිවීම් අහිමිවීම්, එකම කාසියේ දෙපැත්තක් වගෙයි - මාධවී

බැඳීම් කියන දේවල් ජීවිතයට මොනතරම් වටිනවාද?

බැඳීම් ජීවිතේ තරම්ම වටිනවා. මේ ලෝකෙ ඉපදෙන මනුස්ස ප්‍රාණීන්ට විතරක් නෙමෙයි තිරිසන් සතුන්ට පවා හරිම ආදරණීය බැඳීම් තියෙනවා. මං හිතනවා බැඳීම් නැති ජීවිතයක් පට්ට බෝරිං ඇති කියලා. මට නම් හැම මොහොතකම වගේ බැඳීම් කියන දේ අවශ්‍යයි. මගේ පෙම්වතිය එක්ක මං හැම මොහොතකම ආත්මීයව බැඳෙනවා. අම්මත් එක්ක” තාත්තත් එක්ක” අක්කත් එක්ක උපතේ ඉඳන් මේ දක්වා බැඳෙනවා. මිත්‍ර සමාගම්වල ඉන්නකොට එක් එක් මිත්‍රයෝ එක්ක බැඳීම් හදාගන්නවා. තමන්ගේ කියලා කවුරුත්ම මේ ලෝකෙ නැති මිනිස්සු පවා සතෙක් එක්ක හරි” අඩු තරමෙ ගහක්” පැළෑටියක් එක්ක හරි බැඳීමක් හදාගන්නවා. එහෙම නැතුව කිසි කෙනෙක්ට ජීවත් වෙන්න බෑ.

හිමිවීම් අහිමිවීම්, එකම කාසියේ දෙපැත්තක් වගෙයි - මාධවී

● ඇත්තටම ඔබේ ජීවිතයට ලැබුණු වටිනාම ආදරේ මොකක්ද?

මාධවීගේ ආදරේ. මං හරි ආසයි එයා මාව රීඩ් කරගන්න විදිහට. පාවුලෝ කොයියෝ කියන සුප්‍රසිද්ධ ලේඛකයා වතාවක් කියලා තියෙනවා ‘ඉතා වැදගත් හමුවීම් සිරුරු එකිනෙක දකින්නට බොහෝ කලින්ම” ආත්මයන් විසින් සැලසුම් කරලා තියෙනවා. කියලා. මට හිතෙන්නේම එයා ඒ කියලා තියෙන්නෙ මාධවියි මායි ගැනයි කියලා.

● ආදරය අහිමි වුණු අවස්ථාවලදී ඒක දරා ගත්තෙ කොහොමද?

ආසන්නම කාලෙදි මගේ ජීවිතේ විශාලම අහිමිවීම තමයි මගේ තාත්තගේ මරණය. මං හිතන්නෙ තාත්තගේ ආදරය සපුරා අහිමිවීම තරම් මේ තාක් මගේ ජීවිතේ අහිමි වුණ වෙනත් දෙයක් නැති තරම්. තාත්තා මා එක්ක ඇසුරු කළේ මිත්‍රයෙක් වගේ. අපි දෙන්නගෙ පුරුදු ගති පැවතුම් දක්ෂතා අහසට පොළොව වගේ. ඒත් එයාගේ ආදරේ කොන්දේසි විරහිතව මා කෙරෙහි පැවතුණා. තාත්තගේ මරණෙන් පස්සේ ගතවුණ බහුතර රාත්‍රීන් තිබුණා මං තාත්තගේ මතක මතක් කර කර අඬ අඬ තනියම විඳවපු. මට ඒ විඳවීමත් සැනසීමක්. ඒකෙ දැනටත් ලොකු වෙනසක් නැහැ. ජීවතුන් අතර ඉන්න කාලෙ බදාගෙන ඉඹගෙන හාදු දිදී නොහිටියට මං එයාට මාර විදිහට ආදරෙයි කියලා මට හරියටම තේරුණේ තාත්තා නැති වුණාට පස්සෙ. ඒක මං දරාගන්නවා කියන්නෙම විශාල කළු ගලක් පපුව මැද දරාන ඉන්නවා වගේ මාර වේදනාවක්. මිස් වීමක්” හරි පාළුවක්” විප්පයෝගය දරාගැනීමක්.

● මාධවීගේ ආදරය ඔබට දැනෙන්නේ කොහොමද?

වේලිච්ච කතරකට වැටිච්ච වැස්සක් වගේ. මහා වැස්සකට පස්සෙ පොළොවෙන් හමන නැවුම් සුගන්ධයක් වගේ. කළුවර අහසක පායන පුර පසළොස්වක සඳක් වගේ. ජීවිතේ කවියක් නම් ඒ කවියෙ තාලය වගේ. මාධවී මගේ මුළු ජීවිතේම වගේ.

● ඒ ආදරය ඔබේ හිතේ පැලපැදියම් වෙන්න විශේෂම හේතුව මොකක්ද?

මාධවීගේ අවංකකම. දක්ෂකම” මා ඇගෙන් දකින සුන්දර ගෑනුකම. මාව පිස්සු වට්ටපු ඇගේ ලාලසාව සරාගය. ඔය වගේ විශේෂ හේතු ගණනාවක් තියෙනවා. ඒ ඔක්කොමත් හරි වඩාත්ම වැදගත්ම දේ තමයි ‘අපිට අපිව දැනෙනවා.. ඒ දැනීම මාරයි. ඇත්තයි.

● මේ දවස්වල මොනවද කරන්නේ?

ඉදිරියේ එළිදැක්වීමට නියමිත මගේ නිර්මාණ කිහිපයකම නිරත වෙලා ඉන්නවා. කාංචනා අනුරාධි ගයන මා ලියූ සහ මගේ රූප රචනා අධ්‍යක්ෂණයක් සහිත ගීත නිර්මාණයක්” චිත්‍රාල් සෝමපාල ගයන තවත් මා ලියූ අලුත්ම ගීතයක් ඒ වැඩ අතරේ ඉස්සරහින්ම තියෙනවා. ඒ වගේම මං පුංචි කාලෙ ඉඳන් හීන දැක්කෙ ‘සිනමා අධ්‍යක්ෂවරයෙක්’ වෙන්න. මගේ ඒ දිගු සිනමාපට සිහිනය මේ අවුරුද්දෙ ඇත්තක් වෙනවා. ඒක විශාල මහන්සියක ප්‍රතිඵලයක්. මේ කාලෙ ඒ නිර්මාණය වෙනුවෙන් හෝම්වර්ක් කරන කාලෙ. ඒ ගැන වැඩිවිස්තර අපි මතු දවසක කතා කරමු.

ඇත්තද මේ තාත්තා කෙනෙක් වෙන්න යනවා කියන කතාව?

කීප දෙනෙක්ම ඔය ගැන මගෙන් ඇහුවා. ඒත් මංවත්” මාධවීවත් තාම ඒ ගැන හාංකවිසියක්වත් දන් නෑ. ඒ නිසා ඒ ප්‍රචාරණය බොරුවක්. අනාගතයේ දවසක අප්පච්චි කෙනෙක් වීමේ ඒ මහා ආඩම්බරය විඳගන්න මං මඟ බලාගෙන ඉන්නවා. එතකොට ඒ ගැන කතා කරමු.

මාධවී ඇන්තනී…

● මාධවීට කසුන්ගේ ආදරය දැනුනේ කොහොමද?

මට අනුව ඇත්ත ආදරේ දැනෙන්නෙ අමාරුම කාලවල හැසිරෙන” සලකන විදිහ අනුවයි’ කසුන් මට හමුවෙන්නෙම එහෙම අසීරු යුගයක. ඒත් අපි කොන්දේසි විරහිතව අපි වෙනුවෙන් හිටියා. එයා නිසා මාව ආරක්ෂා වුණා. මට අගයක් ලැබුණා. මං වටේ ඉන්න අනික් හැමෝම මාව ජජ් කරලා බාල්දු කරද්දි එයා මාව තුරුල් කරගත්තා. එයා පුංචි දරුවෙක් වගේ දඟයි. හිතුවක්කාරයි. ඒ වගේම හිත පිරිසිදුයි. මට පුළුවන් උපරිමය මම එයාට ආදරේ ගෞරවය ලබාදෙනවා.

● කසුන්ගෙන් ලැබුණු වටිනාම ආදර තෑග්ග මොකක්ද?

ඒ තමයි ‘ජීවිතේ’ මොකද මට ජීවිතේ ගැන ආසාව අතාරින්න ඕන තරම් හේතු තියෙද්දිත් තව දවසක් වැඩිපුර ජීවත් වෙන්න ඕනෑ එයා නිසා විතරයි.

● ආදරයේදී අහිමිවීම් ගැන මොකද හිතන්නේ ?

හිමිවීම් අහිමිවීම් කියන්නෙ එකම කාසියේ දෙපැත්ත වගේ දෙයක්. අද හිමි වුණොත් හෙට අහිමි වෙනවා. කාටත් එහෙමයි. ඉතිං ලැබීම් තියෙන මොහොතේ ඕනෑවට වඩා උඩඟු නොවී ඒක දරාගන්න පුරුදු වුණොත් අහිමි වෙන මොහොතේ කම්පාව අඩු කරගන්න පුළුවන්.

● පියාගේ ආදරය අහිමිවීම ඔයාට දැනුනේ කොහොමද?

අනේ මගේ අප්පච්චි කියන්නෙ මම නමැති මලට විතරක් නෙවෙයි කටු වලටත්” කොළ මුල් ඔක්කොටම ආදරේ කරපු මගෙ උයන්පල්ලා. සමහර අයට මං එක්ක ජීවන බද්ධ ඉරිසියාවක් ඇති වෙන තරමට මට අප්පච්චි ආදරේ කළා. එයා මගේ නිජබිම. මගෙ ආත්ම විශ්වාසය. මගෙ ශක්තිය. මගෙ ආඩම්බරය. අප්පච්චි නැති වුණාම මට ඒ ඔක්කොම එක රැයින් නැති වුණා. අප්පච්චි හොරු ගත්තා වගේ අහිමි වීම දරාගත්තු මට තව දරාගන්න බැරි කිසිවක් තියෙන්න විදිහක් නෑ. අදටත් මම කඩන් වැටුනම හිත හදාගන්නෙ අප්පච්චිගෙ පරණ මෙසේජ් කියවලා. වොයිස් රෙකෝඩිං අහලා. ජීවිතේ ගැන මිනිස්සු ගැන පාඩම් මහ ගොඩක් උගන්නලා අප්පච්චි යන්න ගියා. වෙලාවකට මං හීනෙන් අප්පච්චි එක්ක රණ්ඩු වෙනවා. ‘ඇයි මේ වගේ මුරුග ගොල්ලක මාව දාලා ගියේ?’ කියලා අහනවා. එයා කොහේ හරි ඉඳන් මේ ඔක්කොම බලාගෙන ඉඳන් ‘මගෙ වාතේ’ කියනවා ඇති කියලා හිතනව.

● අහිමිවීම් ජීවිතයට බලපාන්නේ කොහොමද?

එක් දොරක් වැහෙනකොට දොරවල් දෙකක් විවර වෙනවාල. නිවැරදි මානසිකත්වය හා ශක්තිමත් සැලැස්මක් එක්ක කාටත් පුළුවන් ඕනම අහිමිවීමක් හෝ පරාජයක් තවත් සුන්දර හිමිවීමක්” ජයග්‍රහණයක් කරා යන පාරක් කරගන්න. මගෙ ජීවිතේ ඒකට හොඳම උදාහරණයක්. වෙච්ච කරදර එක්ක වැටෙනවා නම් මට පොළොවට පස් වෙන්න තරම් හේතු තියෙනවා. ඒත් මම සුබවාදීව හිතන්න උත්සාහ කරනවා.

● රංගන වැඩකටයුතු ගැන කතා කළොත්?

මං ප්‍රධාන චරිතය නිරූපණය කරන චණ්ඩි කුමාරිහාමි රූගතකිරීම් අවසන් භාගය ගෙවෙන්නේ’ ඉන් පස්සෙ මට ආරාධනා හුඟක් ලැබිලා නෑ. යෝග්‍යතා සහ ප්‍රායෝගික ගැටලු නිසා ළඟදී ලැබුණු නිර්මාණ කිහිපයක්ම ප්‍රතික්ෂේප කරන්නත් සිදුවුණා. කසුන් අධ්‍යක්ෂණය කරන ටෙලිනාට්‍යයක සහ චිත්‍රපටයක වැඩ ඉදිරියේදී සැලසුම් කරන් ඉන්නවා. හොඳ කලා නිර්මාණයකට ආරාධනා ලැබුණොත් භාරගන්නවා. රූපවාහිනි වැඩසටහන් කිහිපයක් ගැන අදහස් කරන් ඉන්නවා.

● යූටියුබ් වැඩසටහන් දැන් කරන්නෙ නැද්ද?

කොරෝනා කාලෙ ගෙදර විවේකීව ඉද්දි සජිත ගේ අදහසක් අනුවයි මම යූටියුබ් එකේ ඉවුම් පිහුම් කළේ. උයන එක මගෙ විනෝදාංශය විතරයි. මම වෘත්තීය ගායිකාවක් රංගන ශිල්පිනියක් මිස අරක්කැමියෙක් හෝ සූපවේදිනියක් නොවෙන නිසා ඉවුම් පිහුම් වැඩසටහන් කරන එක පොඩ්ඩක් නැවැත්තුවා.

● ළඟදි අලුත් ගීතයක් කළේ නැතිද?

ගීත දෙකක් නිර්මාණය වෙමින් පවතිනවා.

● මාධවී මේ දවස්වල ටිකක් නිහඬයි වගේ’ ඇයි ඒ ?

මගෙ නිහඬකමේ හඬ අසා තේරුම්ගන්න පුළුවන් නම්” ඒ තරම් බලවත් ප්‍රකාශනයක් තවත් නෑ. හැබැයි එහෙම තේරුම් ගන්න පුළුවන් මට ඇත්තටම ආදරේ කරන අයට විතරයි.

දිනේෂ් විතාන

ඡායාරූප : සජීව ලක්ශාන්
ඇඳුම් සැපයීම: Chenara Dodge
හැඩගැන්වීම: Dee’s Hair and Beauty Salon – දිලුක්ශි නාරංගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment