ස්පාඤ්ඤයේදී මුහුදට වැටුණා කියන පුතාගේ මරණය සැකයි

87

පියාගෙන් කොටහේන පොලිසියට පැමිණිල්ලක්

ජර්මන් නැව් සමාගමකට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක සේවය කරමින් සිටියදී ස්පාඤ්ඤයේදී මුහුදට වැටී අතුරුදන් වී ඇති බව කියන හොරණ, අඟුරුවාතොට, උඩුවර ප්‍රදේශයේ චිරාත් සඳරූ (21) නමැති තම පුතාගේ අතුරුදන්වීම ගැන සැකයක් පවතින බව පියා වන රංජිත් සිල්වා මහතා කොටහේන පොලිසියට පැමිණිලි කර ඇත.

අදාළ නැව් සමාගමේ මෙරට කළමනාකරුවන් සිද්ධිය සම්බන්ධව කරන ප්‍රකාශවල පරස්පරතාවයක් ඇති නිසා මෙම සැකය මතුව ඇතැයි ද ඒ මහතා සඳහන් කර තිබේ.

අදාළ නැව් සමාගමේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක සේවය සඳහා චිරාත් සඳරූ ජනවාරි මස 2 වැනි දින ගොස් තිබේ. ස්පාඤ්ඤයෙන් ‘සෙන්ටුකා බේ’ නමැති නෞකාවට සේවය සඳහා එක්වී ඇත. පසුගිය 18 වැනි දින ඔහුගේ උඩුවර නිවෙසට පැමිණි අදාළ නැව් සමාගමේ මෙරට කළමනාකරුවන් දෙදෙනකු පවසා ඇත්තේ චිරාන් සඳරූ ඉකුත් 17 වැනිදා රාත්‍රි 10.00 පමණ මුහුදට වැටී ඇති බවත් නැවේ කපිතාන්වරයා ප්‍රමුඛ සේවකයින් දැනගෙන ඇත්තේ පැය හතරකට පමණ පසුව බවත් ය.

18 වැනිදා නැවතත් නිවැසියන්ට දුරකථනයෙන් කතාකොට ඔවුන් පවසා ඇත්තේ සඳරූ සවස 2.30 පමණ මුහුදට වැටී ඇති බවත් එය දුටු බව කියන සේවකයා නැවේ කපිතාන්වරයාට මේ බව දන්වා ඇති බවත් ඒ මොහොතේම සෙවීම් කටයුතු සිදු කළ බවත්ය.

ඒ අනුව සිද්ධිය සම්බන්ධව තොරතුරු දැනගැනීමට තමුන් අදාළ ඒජන්සිය වෙත ගියත් ඔවුන් ද පවසා සිටියේ එම තොරතුරම පමණක් බව සඳරූගේ පියා පැවසීය. ඉන් පසු වෙළෙඳ හා නාවික කටයුතු අමාත්‍යාංශයට ගොස් අධ්‍යක්ෂක ජෙනරාල්වරයා හමුවීමෙන් පසු මේ පිළිබඳව විමසීමෙන් පසු පැවසුවේ ඒ පිළිබඳව තමාට ඊමේල් පණිවිඩයක් ලැබී ඇති බව යැයි ද රංජිත් සිල්වා මහතා සඳහන් කළේය.

එදිනම හෙට්ටියාවත්තේ පිහිටි අදාළ ඒජන්සියෙන් තමාට දුරකථන ඇමතුමක් මගින් පැවසුවේ නැවේ එන්ජින් එක භාරව කටයුතු කරන පුද්ගලයා පවසා ඇත්තේ සඳරූ අතුරුදන් බව යැයි ද ඒ මහතා කීවේය.

පුතා නැවේ සිටියදී අතුරුදන්වීම අපිට සම්පූර්ණ සැකයක් පවතිනවා. සෙනසුරාදා පුතා නිවාඩු දවසක් කියලා විවාහ වීමට බලාපොරොත්තු වෙන දියණියට වට්ස් ඇප් එකක් මගින් එවලා තියෙනවා. මේ සිද්ධිය සම්පූර්ණ සැකයි. අපිට මේ වෙනකොට පස් ආකාරයෙන් මේ පිළිබඳව එක එක විස්තර දීලා තියෙන්නේ. මේ පිළිබඳව අදාළ ජර්මන් සමාගමෙන් සහ ජාත්‍යන්තර පොලිසියෙන් අපි ඉල්ලා සිටින්නේ විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසයි යැයි අතුරුදන් තරුණයාගේ පියා වන රංජිත් සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.

මිය යන විට සඳරූ සංගීත විශාරද විභාගය ද සමත් දක්ෂ වයලින්, පියානෝ, බොක්ස් ගිටාර් වාදකයෙක් වගේම ගීත ගායනයට ද දක්ෂ පුද්ගලයෙක් වී සිට ඇත.
ගල්පාත – චන්දන පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment