අලි – මිනිස් ගැටුම විසඳන්න පරිසර යුක්ති කේන්ද්‍රය උසාවියට යෝජනාවලියක් දෙයි

89

වසර ගණනාවක් තිස්සේ පවතින මිනිස් ජීවිත සහ අලි ඇතුන් සියදහස් ගණනක් විනාශයට පත් කළ අලි මිනිස් ගැටුම විසඳිය හැකි යැයි කියන යෝජනාවලියක් හා සැලසුමක් පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඊයේ (21දා) ලිඛිතව අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන ලදී. පරිසර යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ මහතා එම යෝජනාවලිය සහ සැලසුම අධිකරණයට ඉදිරිපත් කළේය.

අලි මිනිස් ගැටුමට ස්ථිරසාර විසඳුමක් ලබාදීම සඳහා ජාතික වැඩපිළිවෙළක් සකස් කරන ලෙසට වනජීවී අමාත්‍යවරයා, වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඇතුළු බලධාරීන්ට නියෝගයක් කරන්නැයි ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය හා එහි විධායක අධ්‍යක්‍ෂ හේමන්ත විතානගේ මහතා ගොනු කර තිබූ පෙත්සමක් මින් පෙර කැඳවූ අවස්ථාවේදී සුදුසු සැලසුමක් සකස් කර ඉදිරිපත් කරන්නැයි අධිකරණය පෙත්සම්කාර පාර්ශ්වයට නියෝග කොට තිබිණි. අධිකරණය ලබාදුන් එම නියෝගය අනුව වහාම ක්‍රියාත්මක වූ පෙත්සම්කාර පාර්ශ්වය අලි – මිනිස් ගැටුම උග්‍රව පවතින ප්‍රදේශවල ජීවත් වන ප්‍රදේශවාසීන් 15,000 ගේ පමණ පිරිසකගෙන් ලබාගත් තොරතුරු ඔස්සේ සහ එම ක්‍ෂේත්‍රය පිළිබඳ නිසි අවබෝධයක් ඇති බුද්ධිමතුන් හා විද්වතුන් විශාල පිරිසක් සමග සාකච්ඡා කොට එම සැලසුම සකස්කොට තිබිණි. එම යෝජනාවලිය අධ්‍යයනය කර අලි මිනිස් ගැටුම් වැළැක්වීම සඳහා සුදුසු වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහා එම යෝජනාවලියේ පිටපත් වනජීවී අමාත්‍යවරයා ප්‍රමුඛ බලධාරීන්ට යවන ලෙසට නියෝග කළ සම්පත් විජේරත්න හා එම්. ඒ. ආර්. මරික්කාර් යන විනිසුරු මඬුල්ල ලබන මාර්තු 26 වැනිදා එම පෙත්සම යළි කැඳවීමට ද නියෝග කළහ.

. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment