කූනිඩෝ වඩේ කරත්තයේ මනියාගේ කතාව… – මන්රුචි සිරිවර්ධන

88

මම වීදිනාට්‍යකරුවෙක්

කූනිඩෝ වඩේ කරත්තය දැන් බොහෝ දෙනා අතර ජනප්‍රිය වෙලා. මේකෙ අයිතිකාරයා තමයි මනියා. කවුද මේ මනියා කියන්නෙ. ඔහු මන්රුචි සිරිවර්ධන. මනියා ගැන මේ කතාබහ මන්රුචි එක්ක.

● කවුද මේ මන්රුචි සිරිවර්ධන කියන්නෙ?

මගේ ගම අම්පාර. දැන් පදිංචිය ගනේමුල්ලෙ. ගුවන්විදුලියේ ළමා පිටියේ ශිල්පියෙක් හැටියට කාලයක් කටයුතු කළා. ඉන් පස්සෙ ජාතික රූපවාහිනියට සම්බන්ධ වෙනව. එතැනින් පස්සෙ විවිධ නාළිකා එක්ක” විවිධ ආයතන එක්ක සම්බන්ධ වෙලා හඬකැවීම් ශිල්පියෙක් හැටියට කටයුතු කළා. පාසල් කාලයේ වේදිකාවත් එක්ක සම්බන්ධ වෙන්නත් මට අවස්ථාව ලැබෙනව. නමුත් මම වේදිකාවෙන් බිමට බැහැල වීදි නාට්‍යකරුවෙක් හැටියට තමයි දැන් කටයුතු කරන්නෙ.

කූනිඩෝ වඩේ කරත්තයේ මනියාගේ කතාව… - මන්රුචි සිරිවර්ධන

● කූනිඩෝ වඩේ කරත්තය හම්බ වුණේ කොහොමද?

චින්තා කියන්නෙ එක්තරා කාලෙකදි මම අධ්‍යයනය කරමින් හිටපු මනුස්සයෙක්. ඔහුගේ සිනමාව” ටෙලි නාට්‍ය” අදහස් දැනගන්න වගේම ඔහු පවත්වාගෙන ගිය බ්ලොග් අඩවිය රසවිඳින්න කැමැත්තෙන් හිටපු කාලයක් තිබුණා. චින්තව මට මුනගැහෙන්නෙ නිදහස් මාධ්‍යවේදියෙක් හැටියට කටයුතු කරමින් හිටපු කාලයේදි. මම ඔහු සමග සම්මුඛ සාකච්ඡාවක් කරන්න ගිය මොහොතක තමයි මේ හඳුනාගැනීම සිද්ධ වෙන්නෙ. පසු කාලෙක මම වීදි නාට්‍ය කරන බව දැනගෙන ඔහු කතා කළා මෙහෙම වැඩක් තියෙනව සම්බන්ධ වෙන්න පුළුවන්ද කියල. ඒක මට මාර ගෝල් එකක් වුණා. ඒ අනුව තමයි මේ වැඩේට සම්බන්ධ වෙන්නෙ.

● කූනිඩෝ වඩේ කරත්තය මේ තරම් හිට් වෙයි කියල හිතුවද?

මේ කතාව පටන් අරගෙන කොටස් තුනක් හතරක් යනකොට නිතර දෙවේලෙ මටම දකින්න ලැබෙනව ෆේස්බුක් හරහා යාළුවො මාව ඇඩ් කරගෙන ටික් ටොක් වීඩියෝ පවා ෂෙයාර් කරනව. මනියා කියන්නෙ සාමාන්‍ය සමාජයේ හිටියත් අධ්‍යාපනය කියන දේ මාර විදිහට දැකල නැති වුණත් සමාජය ඉගෙනගත්ත කොල්ලෙක්. ඔහු දෙන වදන් මිනිස්සුන්ට මාර විදිහට දැනෙනව. ඒ නිසා තමයි කූනිඩෝ වඩේ කරත්තයත් උඩට ආවෙ.

කූනිඩෝ වඩේ කරත්තයේ මනියාගේ කතාව… - මන්රුචි සිරිවර්ධන

● මේ චරිතය ඔබේ ජීවිතයට සම්බන්ධයිද?

මට උයන්න පිහන්න හොඳට පුළුවන්. පසුගිය දවස්වල අපේ යාළුවො ටික එකතුවෙලා පාසලේ කානිවල් එකක් කළා. එතනදි ඇත්තටමත් අපි වඩේ කඩයක් දැම්මා. අන්තිමට වඩේ කරත්තයක් හදාගෙන රටේම මිනිස්සුන්ට වඩේකාරයෙක් වෙන තැනට වැඩේ පත්තු වුණා.

● මනියාගේ භාෂා විලාශය මන්රුචිගෙ ද චින්තාගේ ද?

චින්තාගෙන් ලැබුණ පිටපත කියවා බලනකොට මට දැණුනෙ මනියා කියන්නෙ ආතල් එකේ ඉන්න කැරැක්ටර් එකක්. රූගතකිරීමේදි චින්තාව මුණගැහුණ වෙලාවේ අපි කතා කළා චරිතය ගොඩනඟා ගන්නෙ කොහොමද කියල. එතනදි චින්තා කිව්වේ” ඒක ටිකක් ඕවර් එකක් තියෙන කැරැක්ටර් එකක් බං” ටැමිල් කොල්ලෙක් නමුත් සිංහල කතාකරන්නෙ” සැහැල්ලුවෙන් ඉන්නෙ” ඒ වගේම මේ පන්තිය ඇතුළෙ වෙන එකෙක් කියල. අපේ යං ප්ලේයර්ස් වීදි නාට්‍ය කණ්ඩායමේ ප්‍රධාන නාට්‍යවලට පස්සෙ අනාවරණය වන අතුරු චරිතවලදි තියෙනව මගියා කියල කැරැක්ටර් එකක්. ඒ මගියගෙ භාෂාව ඔය විදිහට තමයි තියෙන්නෙ. ඒක මම මෙතනදි පාවිච්චි කළා. කොහොම හරි ඒක හරි ගියා.

● ඇත්තටම ඔබ වෙන ජාතිකයෙක්ද කියන ප්‍රශ්නය ප්‍රේක්‍ෂකයන්ට තිබුණද?

ඇත්තටම කිව්වොත් මම කොණ්ඩය වවල හිටියෙ. මාව මිනිස්සු හඳුනාගන්නෙත් ඒ ස්වරූපයෙන්. නමුත් මේ නාට්‍ය වෙනුවෙන් කොණ්ඩය කැපුවාම මටත් මාව නුහුරු ගතියක් දැනුණා. මටත් දැන් හිතෙනව දමිළ පෙනුමක් තියෙනව කියල.

වීදි නාට්‍ය අතහැරියාද?

නැහැ. ඒක මම පූර්ණකාලීනව කරගෙන යනව. මගේ පර්යේෂණාත්මක වැඩසටහන තමයි ප්‍රචාරණය උදෙසා වීදි නාට්‍ය භාවිත කරන්නෙ කොහොමද කියන දේ. ඒ වෙනුවෙන් වෙනස් විලාසිතාවක් එක්ක අපි පාරට බහිනවා.

● වීදි නාට්‍ය රටවටා ගෙනියද්දි මුහුණ දුන් අත්දැකීම් මොන වගේද?

අපි මාසෙ දවස් තිහෙන් පහළොවක් විස්සක් විතර ඉන්නෙ එළියෙ. නිදාගන්න තැනක් නැතිව ස්ටේෂන්වල පවා නිදාගෙන තියෙනව. සමහර දවස්වලට එකතුකරගත්ත මුදල් පවා නැතිව ගෙදර ඇවිත් තියෙනව.

● රැකියාවක් වෙනුවෙන්ද මේ කණ්ඩායම එකතු වුණේ?

නැහැ. අපි මුලින්ම මේ දේ කළේ විනෝදයට. ඉන් පස්සෙ තමයි සීරියස් මූඩ් එකකට ඇවිත් වැඩකරන්න පටන්ගත්තෙ.

● වේදිකාව සහ වීදි නාට්‍ය අතර ඔබ දකින වෙනස මොන වගේද?

වේදිකා නාට්‍යවලදි ප්‍රේක්‍ෂකාගාරය නිශ්චිතයි. ඇත්තම කිව්වොත් නාට්‍යයක් සංවිධානය කරද්දි ප්‍රේක්‍ෂකයන් කනෙන් ඇදන් ඇවිත් ප්‍රේක්‍ෂකාගාරයේ ඉන්දවන්න වෙන තත්ත්වයක් තියෙන්නෙ. නමුත් පාරට බැස්සම එතන මිනිස්සු ඉන්නව. අපි දන්නව ඔවුන්ව එකතුකරගන්න විදිහ. ඒකත් එක්ක කලාව මිනිස්සු ළඟට අරගෙන යන්න ඕන කියන දේ අපිට දැනිල තියෙනව.

● හඬකැවීමට මොකද වෙන්නෙ?

හඬකැවීම මම කාලයක් වෘත්තිය විදිහට කරගෙන ආවා. එහෙම පුළුවන් තත්ත්වයක් තිබුණා. පසුකාලීනව ආයතනවලින් මුදල් ගෙවීම දුර්වල මට්ටමකට ආවා. සමහර ආයතන අවුරුදු හතක් පුරා ගෙවීම් කරල නැහැ.

● ඔබේ පෙම්වතිය සහ මනියාගේ පෙම්වතිය අතර සමානකමක් තියෙනව?

ඒක චින්තා කොහොමහරි දැනගෙන කතාව ලිව්වද කියල මම දන්නෙ නැහැ. මනියාගේ පෙම්වතියට ඔහු කතාකරන්නෙ සඳ කියල. ඇයගේ නම සඳමාලි. මගේ පෙම්වතියටත් මම කතාකරන්නෙ සඳ කියල. ඇයගේ නමත් සඳමාලි. මේක තමයි තියෙන සමානකම.

● අලුත් ආරාධනා මොනවද?

සුපුන් රත්නායක මහත්මයා තමයි මාව ක්‍ෂේත්‍රයට හඳුන්වා දෙන්නෙ. ඒ ‘අඩෝ. ටෙලි නාට්‍යයෙන්. මේ දිනවලත් එතුමාගේම ‘ලලයි ලිලයි ලයි. කියන ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙලා ඉන්නවා.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment