කුඹුරට හමුදාව එක්ක පොහොරත් දෙන්න…!

387

රජරට බිමේ මාස් කන්නයේ වී අස්වනු නෙළීම මේ වනවිට ක‍්‍රමයෙන් ආරම්භ වෙමින් තිබේ. මීට පෙර කන්නවලට වඩා මෙවර අස්වැන්න විශාල වශයෙන් අඩුවී ඇතැයි එහි ගොවීහු කියති. ඒ සමඟම එහි ගොවි ජනයාගේ කඳුළුද යළි අලූත්වෙමින් තිබේ. ඒ ගොවි සිහින මෙවර බොඳවීම නිසාවෙනි. ඔවුන්ගේ මුවින් නැඟෙන දුක් සුසුම් අහස්කුස සිසාරා දෝංකාර දෙමින් පවතී. රසායනික පොහොර නොමැතිව කාබනික පොහොර පමණක් යොදා වී වගා කරන්නට සිදුවීම නිසා මෙලෙස වී අස්වනු විශාල වශයෙන් අඩුවී තිබෙන බව ගොවීහු පෙන්වා දෙති. මෙවර මාස් කන්නයේ ලැබෙන අස්වැන්න ගැන තමන් පෙන්වාදුන් අහිතකර ප‍්‍රතිඵලය දැන් ඇස් පනාපිටම පෙනෙන්නට තිබෙන බවද ගොවීහු වැඩිදුරටත් පවසති.

පොලොන්නරුව දිස්ත‍්‍රික්කයට අයත් මහවැලි බී කලාපයේ වැලිකන්ද ප‍්‍රදේශයේදී අපට මුණගැසුණු ගොවීන් හැඬූ කඳුළින් යුතුව කියා සිටියේ මෙවර වී අස්වැන්න වෙනදාට වඩා හරි අඩකටත් වඩා අඩුවී තිබෙන බවයි. මේ වනවිට අස්වනු නෙළන යායවල එම ගොවීන් පෙන්වා දෙන්නේ මෙවර වගාව සඳහා ලබාගත් ණයතුරුස් පවා ගෙවා දැමීමට නොහැකි තත්ත්වයක් උද්ගතවී තිබෙන බවයි. මේ අන්දමට පාඩු ලබමින් ගොවිතැන් කරනවාට වඩා කුඹුරු පුරන්වීමට ඉඩ හැරීම යහපත් බව ගොවීහු කියා සිටියහ. පොරොන්දුවූ පරිදි මෙවර වී අස්වනු අඩුවීම වෙනුවෙන් රජයෙන් වන්දි මුදලක් ලබාදීම කළහොත් පමණක් ඉදිරි කන්නයේ වී වගාවට යොමුවීම ගැන අදහසක් හෝ ඇතිකරගත හැකි බව ඔවුහු කියති.

වැලිකන්ද, මඟුල්පොකුණ මහවැලි ගම්මානයේ ගොවි මහතෙකු වන එම්. එම්. ධම්මික මහතා –

කුඹුරට හමුදාව එක්ක පොහොරත් දෙන්න…!

‘‘මේ වතාවේ වී අස්වැන්න හොඳටම අඩුයි. රජයෙන් ලබා දුන්න කාබනික පොහොර විතරයි යෙදුවේ. වෙනත් කන්නවලදී රසායනික පොහොර යොදලා හෙක්ටයාර් එකකින් වී කිලෝ 6000ක් විතර ගත්තා. නමුත් මේ සැරේ තියෙන්නේ වී කිලෝ 2500ක් විතර. මේකට හේතුව රසායනික පොහොර නැතිකම. මේ වී ටික විකුණලා වගාවට ගත්තු ණයතුරුස් ගෙවාගන්නවත් බෑ. අස්වැන්න අඩුවීම වෙනුවෙන් ආණ්ඩුවෙන් වන්දී මුදල් දෙනවා කියලා තියෙනවා. සාධාරණ මුදලක් ඒ වෙනුවෙන් ලැබුණොත් හොඳයි. එහෙම නැත්නම් ඊළඟ කන්නේ ගොවිතැන් කරනවද නැද්ද කියල හිතාගන්නවත් බෑ. අපි මේ ගොවිතැන් කරන්නේ ගොඩක් දුක් මහන්සි වෙලා. ඒ වගේම අතේ මිල මුදල් තිබිලා නෙවෙයි. ණය තුරුස් වෙලා, කණකර උගස් කරලා සල්ලි හොයාගෙන. මේ විදියට දහදුක් විඳලා ගොවිතැන් කරලා අන්තිමේ ලැබෙන වී ටික මෙපමණයි නම් ඒ ගොවිතැන වැඩක් නෑ.’’

එම්. ආර්. කුමාරි පොඩි මැණිකේ මහත්මිය –

කුඹුරට හමුදාව එක්ක පොහොරත් දෙන්න…!

‘‘මගේ කුඹුරෙන් මේ වතාවේ ලැබුණේ් වී කිලෝ 2500ක් විතර. වෙන කන්නවල ගන්න අස්වැන්නෙන් දෙකෙන් පංගුවකටත් වඩා අඩුවෙන් තමා මෙවර ලැබිල තියෙන්නේ. ඒ ප‍්‍රමාණය විකුණල ණය ගෙවාගන්නවත් මදි. මොකද කරන්නේ කියලා තමයි දහ අතේ කල්පනා කරන්නේ. මේ අස්වැන්න අඩුවීමට බලපෑවේ රසායනික පොහොර නැතිවීම තමා. ණයතුරුස් වෙලා ගොවිතැන් කරලා මෙහෙම අස්වැන්නක් අරන් වැඩක් නෑ. කුඹුර වගා කරන්න රුපියල් ලක්‍ෂයකට වැඩිය වියදම් වෙනවා. අපි ගොවිතැන් කරන්නේ ණය තුරුස් වෙලා. මෙහෙම පාඩු පිට ගොවිතැන් කරනවට වඩා මීට වැඩිය හොඳයි කුඹුරු පුරන් වෙන්න අරිනවා’’යැයිද ඇය කීවාය.

ඩබ්ලිව්. එම්. සරත් තිලකරත්න මහතා –

කුඹුරට හමුදාව එක්ක පොහොරත් දෙන්න…!

‘‘මෙදා අස්වැන්න ගැන නම් කියලා වැඩක් නෑ. හොඳටම අඩුයි. අපි දැන් කබලෙන් ලිපට වැටිලා ඉන්නේ. පොහොර ප‍්‍රශ්නය තමයි බලපෑවේ. වෙන හේතුවක් නෙවෙයි. වෙනදා බුසලට, බුසල් සීය හමාර අස්වැන්න ලැබිලත් බොහොම අමාරුවෙන් තමයි අපි ජීවිත ගැටගහ ගත්තේ. සමහර වෙලාවට ණයතුරුස් ගෙනාගන්නත් බෑ. මේ තරම් ගොඩක් දුක් මහන්සිවෙලා අපි මේ ගොවිතැන් කරන්නේ ජීවත් වෙන්න තියෙන එකම මාර්ගය මේක නිසා. වී ඇටේ මහ පොලොවට දාපු දවසේ ඉඳලා අපිට ප‍්‍රශ්න. අලින්ගේ හිරිහැර අඩුවක් නෑ. වී ටික වපුරපු දවසේ ඉඳලා අලි එනවා. රෑ, දවල් දෙකම කුඹුර රකින්න ඕන. කෘමි හානි, වසංගත රෝග මේ හැම දෙයක්ම අඩුවක් නෑ. වගාවට යන වියදම් හැමදේම දවසින් දවස වැඩිවෙනවා. නමුත් අපේ ආදායම එන්න එන්නම අඩු වෙනවා. ඉතින් කොහොමද අපි තවදුරටත් ගොවිතැන් කරන්නේ.’’

මහවැලි ගොවිබිමේදී අප සමඟ අදහස් දැක්වූ 32 හැවිරිදි සිසිර කුමාර ගොවි මහතා –

කුඹුරට හමුදාව එක්ක පොහොරත් දෙන්න…!

‘‘දැන් ගොවිතැන් කරන එක ලේසි පහසු කටයුත්තක් නොවෙයි. වියදම් පැත්ත හරිම වැඩියි. අක්කර දෙකහමාරක් සී සෑමට රුපියල් 25,000ක් යනවා. නියර රැහීමට, නියර බැඳීමට කුලිය රුපියල් 15,000යි. බීජ වී කිලෝ 100ට රුපියල් 10.000ක් අවශ්‍යයි. වී වපුරන්න රුපියල් 6000ක් යනවා. වල් මර්දනයට තෙල් ඉසීමට කුලිය පමණක් රුපියල් 6000යි. අවසානයේ ගොයම් කපන යන්ත‍්‍රයට රුපියල් 25,000ක් කුලිය දෙන්න ඕන. කම්කරු කුලී ඊට අමතරව මේ මම කිව්වේ ප‍්‍රධාන වියදම් ටික පමණයි. මෙතැන ගොවියාගේ ශ‍්‍රමය එකතු කරල නෑ. ගණන් හදලා බලන්න මෙතනම මොන තරම් මුදලක්ද කියලා. මේ විදියට වියපැහැදම් කරලා අවසානයේ සාර්ථක අස්වැන්නක් ගන්න බැරි වුණොත් ඒ ගොවිතැන වැඩක් නෑ. ඒ මොකද අපි මුළු ජීවිතේම ගැටගහ ගන්නේ මේ රැකියාවෙන් නිසා.’’

මහවැලි බී කලාපයේ පමණක් මෙවර මාස් කන්නයේ වගාකර ඇති සමස්ත කුඹුරු බිම් ප‍්‍රමාණය හෙක්ටයාර් 20621.1ක් බව ශ‍්‍රී ලංකා මහවැලි අධිකාරිය කියයි. මහවැලිය මගින් මේ කන්නයේ අස්වැන්නේ සාමාන්‍ය අගය කොපමණද යන්න මෙතෙක් ගණනය කර නොමැති බව දැනගන්නට ලැබිණි. එහෙත් එහි ගොවීන් පවසන පරිදි වෙනත් කන්නවලදී හෙක්ටයාර් එකකින් වී කිලෝ 6000ක් හෝ ඊට වැඩි ප‍්‍රමාණයක් ගන්නා නමුත් මෙවර වී අස්වැන්න හරි අඩකටත් වඩා පහළ බැස තිබෙන බව කීහ. එසේ නම් ඔවුනට පැහැදිලි ලෙසම අස්වනු අඩුවීමක් සිදුව තිබෙන බව පෙනීයන කරුණකි. මෙවර තම අස්වැන්න අඩුවීම වෙනුවෙන් පොරොන්දු ප‍්‍රකාරව රජය වන්දි මුදල් ලබාදෙනු ඇතැයි දැඩි විශ්වාසයෙකින් පසුවන බවද එම ගොවි ජනතාව කියා සිටියහ.

මෙවර වී අස්වැන්න අඩුවීම වෙනුවෙන් ගොවීන්ට රජයෙන් ලබාදෙන වන්දි මුදල කොපමණද නොපමාව යන්න තීරණය කළයුතුව ඇතැයි පොලොන්නරුව පරාක‍්‍රම සමුද්‍රය ව්‍යාපාරයේ අලූත්වැව බෙදුම්ඇල ගොවි සංවිධානයේ සභාපති පී.කේ.ඞී. විජේරත්න මහතා පවසයි. ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ගොවි සංවිධාන නියෝජිතයන් සහ කෘෂිකර්ම ඇමැතිවරයා අතර සාකච්ඡාවක් පසුගියදා කොළඹ කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැති බව ඒ මහතා කීය. වන්දි මුදල කොපමණද යන්න තීරණය කර එය ගොවීන්ට ලබාදීම කඩිනම් කිරීමට ඇමැතිවරයා එහිදී එකඟවූ බවත් සති දෙකක් ඇතුළත එය කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත්කර අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරන බවට ගොවි නියෝජිතයන්ට ඇමැතිවරයා පෙරොන්දු වූ බවත් විජේරත්න මහතා පැවැසීය.

‘‘මෙවර මාස් කන්නයේ වී අස්වැන්න පසුගිය කන්නයේ ලැබුණු අස්වැන්නට වඩා හරි අඩකටත් වඩා අඩුවී තිබෙනවා. රසායනික පොහොර නොමැතිව කාබනික පොහොර පමණක් යොදා වගා කිරීම නිසා තමයි මේ තත්ත්වය ඇතිවී තිබෙන්නේ. ඒක ඉතාමත්ම පැහැදිලියි. ඇමැතිවරයා පවා ඒ තත්ත්වය පිලිගන්නවා. රජය මුලින් ප‍්‍රකාශ කළා ගොවීන්ගේ අස්වැන්න අඩුවීමක් වුණොත් ඒ සඳහා වන්දි මුදල් ලබා දෙන බවට. දැන් ගොවීන්ගේ ඉල්ලීම එය කඩිනමින් ලබා දෙන්න කියන එකයි. අපි පසුගියදා කෘෂිකර්ම ඇමැතිතුමා ඇමැතිතුමා සමඟත් මේ පිළිබඳව සාකච්ඡා කළා. රටට බත සපයන ගොවීන් හැටියට මේක ඉතාමත්ම සාධාරණ ඉල්ලීමක්. අපි බලාපොරොත්තු වෙනවා රජය මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකරලා අපිට සාධාරණත්වයක් ඉෂ්ට කරාවි කියලා.’’

ලබන යල් කන්නයේද වී වගාව සඳහා නිකුත් කරනුයේ කාබනික පොහොර බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි. ඒ අනුව ඝන පොහොර, කාබනික දියර පොහොර සහ ජෛව පොහොර ගොවීන්ට නොමිලයේ නිකුත් කරන බව කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජෙනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා ප‍්‍රකාශ කළේය. පොහොර නිර්දේශය වනුයේ හෙක්ටයාරයකට පොහොර ටොන් එකක් බවත් ඇතැම්විට දිස්ත‍්‍රික්ක අනුව එහි කිසියම් වෙනස්වීමක් සිදුවිය හැකි බවද ඒ මහතා කීය. පසුගිය කන්නයේ ඇතැම් ප‍්‍රදේශවල කලට වේලාවට පොහොර නෙලැබුණු බවට ගොවීන්ගෙන් පැමිණිලි ලැබුණු බවකී කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා ඉදිරි කන්නයේ එම අඩුපාඩු මඟහරවා ගනිමින් පොහොර බෙදා හැරීමේ යාන්ත‍්‍රණය කි‍්‍රයාත්මක කිරීම සඳහා හරිත කෘෂිකර්මාන්තය සඳහා වන ජනාධිපති කාර්ය සාධන බළකායේ සහය ඇතිව සම්බන්ධීකරණය සඳහා යුද හමුදා නිලධාරීන්ද යොදවන බව කීය.

ඉදිරි කන්නයේදී ගොවීන්ට උපරිම ලෙස සහයවීම සඳහා රට පුරා සෑම කුඹුරකටම හමුදා නිලධාරියකු බැගින් යොමුකරවන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පසුගිය සතියේ ප‍්‍රකාශකර තිබිණි. කෘෂිකර්මයට සම්බන්ධ ආයතන සහ නිලධාරීන් සමඟ සම්බන්‍ධවී පොහොර සැපයීමේ සිට අස්වැන්න ලබා ගැනීම දක්වා සියලූ කටයුතු සඳහා උදව් කිරීම හමුදා නිලධාරීන්ට පැවැරෙන වගකීම බවද හමුදාපතිවරයා සඳහන් කරයි. මෙරට කෘෂිකර්මාන්තය ඉහළම තැනකට එසවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ උපදෙස් පරිදි එසේ කරන බවයි හමුදාපතිවරයා පවසා තිබුණේ. ඒ අනුව දිවයිනේ ප‍්‍රථම වතාවට හමුදා නිලධාරීහු 46 දෙනෙක් හරිත කෘෂිකර්මාන්ත ක‍්‍රියාවලිය ශක්තිත් කිරීම සඳහා පුහුණු කරවීම ඉකුත් සතියේ මාතලේ දිස්ත‍්‍රික්කයෙන් ආරම්භකර තිබුණි. නාලන්ද කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේ පැවැති මෙම පුහුණු වැඩසටහන පුරා දින 05ක් පැවැති අතර එයට ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාවේ දෙවැනි සිංහ රෙජිමේන්තුවේ හමුදා භටයන් සහභාගිවී සිටියහ.

කුඹුරට හමුදාව එක්ක පොහොරත් දෙන්න…!

රජය හමුදා නිලධාරියකු බැගින් කුඹුරට යෙදවීමෙන් ගොවියාගේ වී අස්වැන්න වැඩි වන්නේ දැයි ගොවි අරගල ව්‍යාපාරය විමසා සිටී. මෙවර වී අස්වැන්න විශාල වශයෙන් පහළ බැසීමට හේතුව රසායනික පොහොර නොයෙදීම නිසා බව අත්දැකීම් බහුල ගොවීන් පෙන්වාදෙන බව ගොවි අරගල ව්‍යාපාරයේ ජාතික මෙහෙයුම් කමිටු සාමාජික ආර්. කේ. ඉන්ද්‍රානන්ද ද සිල්වා මහතා ප‍්‍රකාශ කළේය. කෘෂි විශේෂඥයන්ගේ මතයවී ඇත්තේද එයම බව පවසන ඒ මහතා මූලික ප‍්‍රශ්නයට විසඳුම් ලබා නොදී මෙම අර්බුදයෙන් ගොඩ ඒමට නොහැකි බව කියා සිටී. මේ රටේ වී නිෂ්පාදන මට්ටම පසුගිය යල් කන්නය තෙක්ම ඉතා ඉහළ තත්ත්වයක පැවැති බවත් එක රැයින් කාබනික පොහාර පමණක් භාවිත කිරීමට යෑම නිසා මෙවර අස්වනු විශාල වශයෙන් අඩුවී ඇති බවද කීය. ඒ හේතුවෙන් ගොවි ආර්ථිකය බිඳවැටීම සහ මේ රටේ ජනතාවගේ ප‍්‍රධාන ආහාරය සඳහා වන දේශීය වශයෙන් මෙතෙක් සිදුකළ සහල් නිෂ්පාදනය අඩුවීම රටට දැනෙන බරපතළ කාරණයක් බවද කීවේය. එම නිසා ප‍්‍රශ්නයට තාවකාලික පැලැස්තර නොදමා නිසි විසඳුම් ලබාදීමට රජය ක‍්‍රියාකළ යුතුව ඇතැයිද හෙතෙම කීය. එහෙයින් කාබනික පොහොර පමණක් භාවිතයට ගොවීන්ට කෙරෙන බලපෑම මදකට නවතා ගොවිතැනට අවශ්‍ය පරිදි රසායනික පොහොරද ගොවියාට ලබාදීමට රජය පියවර ගතයුතු බවද පැවැසීය. එමෙන්ම මෙරට කෘෂිකර්මාන්තයේ දැනට අර්බුද රාශියක් පැනනැඟී තිබෙන බව පෙන්වාදෙන ඉන්ද්‍රානන්ද දසිල්වා මහතා ගොවියාට අවශ්‍ය උදැල්ලක්, තණකොළ කපන යන්ත‍්‍රයක්වත් තීරු බද්දෙන් තොරව මෙරටට නොගෙන්වන බව කීවේය. එම නිසා පොහොර ප‍්‍රශ්නය පමණක් නොව තවත් දැවෙන ප‍්‍රශ්න රාශියක් පවතින හෙයින් ඒවාට විසඳුම් ලබාදීම සඳහා කුඹුරට යොදවන හමුදා නිලධාරීන්ට මැදිහත්වන ලෙස ඉල්ලීමක් කරන බවද කීය.

උතුරු නැඟෙනහිර ඇතුළුව දිවයිනේ වී වගාකරන දිස්ත‍්‍රික්කවල මාස් කන්නයේ ගොවීන්ගේ වී අස්වනු මිලදී ගැනීම මේ වනවිටත් ආරම්භකර ඇතැයි වී අලෙවි මණ්ඩලය කියයි. රජය වී කිලෝවේ සහතික මිල පෙර පැවැති මිලට වඩා දෙගුණයකින් පමණ වැඩිකර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජක්‍ෂ මහතාගේ උපදෙස් මත ගොවියාට ඉතිහාසයේ මෙතෙක් කවරදාකවත් ලබානොදුන් සහතික මිලක් මෙවර වී කිලෝවට ලබාදී ඇතැයි රජය පවසයි. ඒ අනුව නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 90ක් සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 92ක් සහ කීරි සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 95ක් වශයෙන් රජයේ සහතික මිලක් නියම කර තිබේ. රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කරනු ලබන වී අලෙවි මණ්ඩලය පවසන්නේ වී මිලදී ගැනීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන එන සෑම වී කිලෝවක් සඳහාම රුපියල් දෙක බැගින් ප‍්‍රවාහන ගාස්තුවක්ද ගෙවීමට කටයුතු යොදා ඇති බවයි.

පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ ගොවීන්ගේ වී මිලදී ගැනීම සඳහා මිලදී ගැනීමේ මධ්‍යස්ථාන 22ක් මේ වනවිට ආරම්භකර ඇති බව වී අලෙවි මණ්ඩලයේ පොලොන්නරුව ප‍්‍රාදේශීය කළමනාකරු නිමල් ඒකනායක මහතා අප කළ විමසුමකදී පැවැසීය. මේ වනවිට වී මෙටි‍්‍රක් ටොන් 3950ක් මිලට ගෙන තිබෙන බවකී ඒ මහතා මෙවර මාස් කන්නයේ පෙලොන්නරුව දිස්ත‍්‍රික්කයේ ගොවීන්ගෙන් වී මෙටි‍්‍රක් ටොන් 50,000ක් මිලදී ගැනීමේ රජයේ ඉලක්කයක් පවතින බවද ප‍්‍රකාශ කළේය. රටට බත සපයන ගොවියා ගොවිතැනෙහි නිරතවන මූලික අරමුණ අඹු දරුවන් රක්ෂා කිරීම ආදිය ප‍්‍රමුඛව ඔහුගේ ජීවත්වීමේ අරගලය වෙනුවෙන් බව ප‍්‍රකටය. එසේ වුවද රටක් වශයෙන් ගත්කල ගොවියාගෙන් ඉටුවන ජාතික මෙහෙවර අතිවිශාල බැව් අමුතුවෙන් කිවයුතු නොවේ. එසේ වුවද වර්තමානයේ අප සිටින්නේ ගොවියාගේ එම උදාර මෙහෙවර නිසි අගැයීමකට ලක්නොකෙරෙන තැනෙකදැයි සැක සිතෙන තරමටය. ගොවිතැන මනාව පවත්වාගෙන යෑම සඳහා ඒ වෙනුවෙන් කෙරෙන බොහෝ ඉල්ලීම්වලට වගකිවයුතු අංශවෙතින් ලැබෙන ප‍්‍රතිචාර එතරම් යහපත් නොවන බව ගොවි නායකයෝ කියා සිටිති. ඇතැම් අවස්ථාවල ගොවි ඉල්ලීම් නොසලකා හැර බිහිරි අලි පිලිවෙත් අනුගමනය කෙරෙන බවද ඔවුන් පෙන්වා දෙන්නේ ඉමහත් කණස්සල්ලෙන් යුතුවය. මේ තත්ත්වයන් දිගින් දිගට පැවැතුණහොත් මේ රටේ වී ගොවිතැනට අත්වන ඉරණම ඉතාමත් ඛේදනීයවනු ඇතැයි ද ඔවුහු පෙන්වා දෙති. එහෙයින් කල් නොයවා ගොවියාත් ගොවිතැනත් සුරක්‍ෂිත කෙරෙන වැඩපිළිවෙළකට යොමු නොවුණහොත් දිගටම රට හාලේ බතටම ආවඩන්නට අපේ රටේ ජනතාවට සිදුවනු ඒකාන්ත බවද කියා සිටිති.

කරුණාරත්න ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment