නුවර එළියේ විතරක් වැවෙන එළවළු මුලු රටේම වවන කවුද මේ තිස්සේ තුඹයා

1009

ගෙදරට අවශ්‍ය එළවළු පර්චස් එකකත් හදන්න පුළුවන්…
රෝහල්, ආරක්‍ෂක අංශ, බන්ධනාගාරවලට අවශ්‍ය එළවළු වගාකර දෙන්න පුළුවන්…
එළවළු වගාවට රසායනික අවශ්‍ය නොවන බව ඔප්පු කර තිබෙනවා…
රට පුරා අක්කර තිහ හතළිහක් වගා කරන චින්තකට බිම් අඟලක්වත් නෑ…

ගෝවා, කැරට්, බෝන්චි, ලීස්, චයිනීස් එළවළු සහ ස්ට්‍රෝබෙරි පාත්ති වටා කරල් බර වූ බඩඉරිඟු ගස්ය. ඒ අතර කන්ද උඩරටට ආවේණික නානාප්‍රකාර මල් සහිත ගස් ය. රාජ පොහොට්ටු, සීනියාස් ගස් මල් පොකුරුවලින් පිරී ගොස්ය. හරිම ලස්සන ය. විසල් කොරටුවේ එළවළු, මල් පලතුරු වගා කර ඇති අපූර්වත්වය දකින විට දෙනෙත් පිනා යන්නේය. හදවත විකසිත වන්නේය. සිත විමතියට පත් වන්නේ අප සිටින මේ කොරටුව පිහිටා තිබෙන්නේ නුවරඑළිය, බදුලු, බණ්ඩාරවෙල ප්‍රදේශයක නොවන නිසා ය. බස්නාහිර පළාතේ, කළුතර දිස්ත්‍රික්කයේ, දොඩන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අක්කර දහඅට ප්‍රදේශයේ වීමය.

කන්ද උඩරට හැදෙන සියලුම එළවළු, මල්, පලතුරු මෙන්ම වියළි කලාපයේ හැදෙන තුඹ කරවිල, බඩඉරිඟු සරුවට පල බර වී තිබේ. පාතෝල, වැටකොළු, පුහුල් මැසි යට එල්ලී තිබෙන ලතාව වත්තට කලඑළියකි. මෑකරල්, දඹල, කරවිල වැල් දරා සිටින ලී දඬු ඇළ වී ඇත්තේ ඵල බරට ය. ගෙඩි පිරුණු වම්බොටු, බටු ගස් දකිනවිට හිත ද පිරෙන්නේය. බණ්ඩක්කා, විවිධ මිරිස් ගස් පොළොවට පහත් වෙන තරමට කරල් බරය. ගොටුකොළ, මුකුණුවැන්නා, කංකුං ඇතුළු විවිධ පලා වර්ග මැදි කොටගෙන පුංචි ඇළ කාණුවක් පහළට ගලා බසිති. දිය පිරුණු ඇළ කාණුව දිගට වැඩුණු නෙළුම්, මානෙල් පත්‍ර අතර තිත්ත පැටවුන්ගේ දාංගලය දකින සිත ප්‍රීති ප්‍රමෝදයට පත් විය. උඩරට, පහතරට එළවළු, මල්, පලතුරු මෙන්ම යාපනයට, කිළිනොච්චියට, වව්නියාවට පමණක් ම ආවේණික රතුලූනු එකම කොරටුවක සරුවට වගා කර තිබෙන විවිධත්වය දකින්නට තරම් අපිදු වාසනාවන්ත වීමු.

එළවළු මැහි, කෙසෙල් පඳුරු තුළින් නැඟෙන කුරුලු කිචිබිචිය දෙසවනට ගෙන දෙන්නෙ අමුතු මිහිරකි. මල්වල රොන් උරා බොන, මී මැස්සන්ගේ ගුමු, ගුමු නාදයෙන් පිරුණු කොරටුව විටෙක කුරුලු උද්‍යානයක් වැනිය. හිමිදිරි පාන්දර මේ දකින සුන්දරත්වය විටෙක සිහිනයක් වැනිය. අදහගැනීමට නොහැකි මින් කිසිදිනෙක මෙවැනි කොරටුවකට පැමිණ නොසිටි නිසා ය.

“පුදුමයි නේද අයියේ. තිස්සමහාරාමයේ තියෙන අපේ කොරටුව මීට වඩා ලස්සනයි. සරුසාරයි. කොළඹ, බත්තරමුල්ලේ කොරටුව බලන්න සුද්දොත් එනවා…” පසුපසින් නැඟුණු ඒ හඬට මම නතර වෙමි. රැවුල, කොණ්ඩය දිගට වවපු කැහැටු කොල්ලෙකි.

කෝ මල්ලි තුඹයා…? මම ඔහුට කෙටි පැනයක් යොමු කළේය.

“මම තමයි තුඹයා…” මම තිගැස්සිණි. හිස් මුදුනේ සිට යටි පල්ලට නැවත ඔහුව නිරීක්‍ෂණය කළෙමි. හේ සිනාසී ය.

තරුණ ගොවියෙක් ලෙස මුහුණු පොතේ ජනප්‍රිය ‘තුඹයා’ නමින් චින්තක කුමාර ය. වයස අවුරුදු තිස් තුනකි. උපන්ගම මතුගම, කළුපහන ඩොටේ ය. කටේ කිරි සුවඳ යන්නත් මත්තෙන් මවුපිය දෙපළ ම අතහැර දමා යන පුංචි චින්තකව හදා වඩාගෙන ඇත්තේ නැන්දා කෙනෙකි. තරමක් උස් මහත් වනවිට නැන්දා චින්තකව වැඩකාරකමට පාවිච්චි කිරීමට පටන්ගෙන ඇත. තාඩන, පීඩන, අනේකවිධ සැහැසිකම් ඉවසා දරාගෙන, කරුණාබර ගුරුවරු ලබාදෙන බත් පත කමින් එකේ පන්තියේ සිට කළුපහන විද්‍යාලයේ සිප් සතර හැදැරූ චින්තක සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිය ද සමත්වීමට වරම් නොතිබිණි. එහෙත් ආරක්‍ෂක හමුදාවට බැඳෙන්නට තරම් ඔහු විභාගය සමත් විය. නැන්දාගේ හිර කූඩුවෙන් නිදහස් වී හේ 2008 වර්ෂයේ දී ගුවන් හමුදාවට බැඳිණි. ගුවන ආරක්‍ෂා කරන රැකියාවේ දී ඇති වූ යම් ගැටලුවක් හේතුවෙන් හේ නීත්‍යානුකූලව ගුවන් හමුදාවෙන් ඉවත් වී ඇත. අනතුරුව විවිධ ආයතනවල රැකියා කොට අවසානයට පානදුරේ ප්‍රදේශයේ නූල් සායම් කරන ආයතනක නතර වී තිබිණි. එම ආයතනයේ වසරකට වැඩි කාලයක් සේවය කරගෙන යන අතරතුර එම ප්‍රදේශයේ ම ප්‍රසිද්ධ ඇඟලුම් ආයතනයක සේවය කරමින් සිටි තරුණියක් චින්තකගේ ඇස ගැටිණි. පළමු වරට ම දෙනෙත් එකිනෙක පැටළෙන විට සංසාර බැඳීමක මතක ඇවිස්සිණි. දින, සති ගෙවෙනවිට එකිනෙකා නොදැක ඉන්න බැරි තරමට ලෙන්ගතු විය. තරුණ හදවත්වල සෙමෙන් වැඩුණු කුළුඳුල් ආදරය වැඩි කාලයක් යන්නට මත්තෙන් විවාහ ජීවිතයට පෙරළිණි. 2016 වර්ෂයේ දී ඔවුහු විවාහ වූහ.

නූල් කොම්පැනියෙන් ලැබෙන සොච්චම් පඩිය කාලා ඇඳලා ජීවත්වීමට ප්‍රමාණවත් නොවන පසුබිමක තිස්සමහාරාමයට ගොස් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට දෙදෙනා කථිකා කරගත්හ. තිස්සමහාරාමය රන්මිණිතැන්න චින්තකගේ බිරිඳගේ ගම ය. කථිකා කරගත් ආකාරයට කතරගම වන්දනාවේ යන බැතිමතුන් ඉලක්ක කොටගෙන ප්‍රධාන පාර අද්දර පලතුරු කඩයක් පටන් ගත්හ. එම ව්‍යාපාරයෙන් මහ ලොකු ලාභයක් නොලැබෙනවිට බිරිඳ කඩේ තබා වගා කරන්නට චින්තක අදහස් කළේය. ඒ වනවිටත් බිරිඳගේ පියා තුඹ කරවිල වගාවක් කරගෙන ගියේය. ජීවත්වීමට කරගෙන ගිය වගාවෙන් ලොකු ආදායමක් නොලැබිණි. මාමණ්ඩිය සමග වචනවලින් ගිවිසුම්ගත වූ චින්තක ගුවන් හමුදාවේ දී ඉගෙනගත් විනයත් කැටි කොට තුඹ වගාව කලඑළි කළේය. උනන්දුව, කැපවීම සහ චින්තකගේ පෙර පින මතු වී තුඹ වගාවෙන් සරු පළදාවක් ලැබෙන්නට පටන් ගත්තේය. වගාව දකින මිනිසුන්ගේ සිත් වසඟයට පත් වන තරමේ සුන්දරත්වයක් කොරටුව තුළින් විද්‍යාමාන විය. ඒ අල්ලපනල්ලේ රසායනික පොහොර අර්බුදය කරළියට පැමිණියේය. කාලයක සිට සමාජ මාධ්‍ය සමග ලොකු ගනුදෙනුවක් තිබූ චින්තක කල් යල් බලා තුඹ කරවිල අස්වැන්න නෙළන පින්තූර කිහිපයක් මුහුණුපොතට එකතු කළේය. රසායනික වස විස නැතිව ලොකු අස්වැන්නක් ලබාගන්නා ආකාරය ගැන තේරෙන භාෂාවෙන් මුහුණු පොත හරහා පැහැදිලි කිරීමට ද චින්තක අමතක නොකළේය. දවසට, දෙකට එම පෝස්ට්ටුව සමාජ මාධ්‍ය කළඹන ප්‍රවෘත්තියක් විය. චින්තකගේ තුඹ වගාව සොයාගෙන යූ ටියුබ් චැනල්, ෆේස්බුක් පේජ්කාරයන් එක පෙළට තිස්සමහාරාම රන්මිණිතැන්නට පැමිණියේය. වත්තට පැමිණෙන ඕනෑම කෙනෙක්ව සුහදව පිළිගත් චින්තක අහන සියලු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ලෙන්ගතුව සම්මුඛ විය. ඒ සෑම සම්මුඛ සාකච්ඡාවකින්ම නිරහංකාර ‘සූර තුඹයා’ ජනතා ප්‍රසාදය සොරා ගත්තේය.

“අයියේ මේ තියෙන්නෙ රතු රාබු. අධික මිලයි. සංචාරක හෝටල්වලට විතරයි ගන්නෙ. නුවරඑළියෙත් වගා කරන්නෙ අඩුවෙන්. අපි ඇට ගෙන්වන්නෙ ඉන්දියාවෙන්. අර තියෙන්නෙ චයිනිස් ගෝවා. මේ බැසිල්. සාලද කොළ හදන්නෙ ඇට ගන්න. ස්ට්‍රෝබෙරි පැළ වෙනම බිස්නස් එකක් යනවා. ඕනෑම පරිසරයක මේවා වගා කරනවා. ඒත් අපි වගා කරන්නෙ අපේ සිස්ටම් එකට. වස, විස යොදන්නෙ නෑ. අපි විසින්ම නිෂ්පාදනය කරන කාබනික දියර පොහොර තියෙනවා. අපි සොයාගත් විවිධ ක්‍රම තියෙනවා. ඒවා අනුගමනය කරමින් ඕනෑම බෝගයක් වගා කරනවා…” මහ ලොකු විභාග සමත් නොවුණාට, කෘෂිකර්ම විෂය පිළිබඳ පොතපතේ දැනුම නොලැබුවාට භූමියේ දැනුමෙන් හේ පාරම්පරික ගොවි රජෙක් වැනිය. වගාවට පිවිසි 2017 වර්ෂයේ සිට 2021 වර්ෂය වන තෙක් හේ දිනකට නිදාගෙන ඇත්තේ පැය තුනක් වැනි කෙටි කාලයකි. ඔහු පොළොවත් සමග ඔට්ටු වෙමින්, වගාව ගැන විවිධ පර්යේෂණ කර ඇත්තේය.

“එළවළු, පලතුරු, මල් කලවමේ වගා කරනකොට විවිධකාර කුරුල්ලෝ වත්තට එනවා. ඒ සත්තු පණුවො, වගාවට අහිත කර කුමි සතුන්ව කනවා. එහෙම වෙනකොට කෘමි හානිවලට කියලා වෙනම තෙල් බෙහෙත් යොදන්න ඕන නෑ. ඒ වගේම බෝගයක් මැරෙන්න එනවා නම් එළකිරිවලින් සුවපත් කරන්න පුළුවන්. කොහොඹ කුඩු විවිධ කැලෑ කොළ කුඩු කර පළිබෝධ නාශක විදිහට භාවිත කරන්න පුළුවන්. මල් ගස්වල කොළ උදේට පොඩි කරන්න ඕනෙ. ඒවායේ සුවඳට සතුන් යනවා. මේ නුවරඑළියේ හැදෙන මල්
ගෝවා. අපි බෙහෙත් බිඳක් දාන්නෙ නෑ. එක කොළයක් සත්තු කාලා තියෙනවද? ගෝවා මලේ පුල්ලියක්වත් තියෙනවද…” චින්තක මල් ගෝවා පාත්තියක් අසල නතර වී ගෝවා මලක් කඩාගෙන කෑල්ලක් අමුවෙන් කෑවේය. මම නැවත ඔහුව තිස්සමහාරාමයේ තුඹ වගාවට කැඳවාගෙන ගියේය.

“මම වගාව පටන් ගත්තෙ තුඹ පැළ විස්සකින්. ඒක ඩබල්, ටිබල් වෙනකොට තුඹ පැළ බිස්නස් එක පටන් ගත්තා. ‘තුඹයා’ නමින් ෆේස්බුක් පේජ් දෙකක් හදලා මම කරන වගා කටයුතු ගැන නිතර පෝස්ට් දැම්මා. ඒ හැම පෝස්ට් එකක්ම දාලා පැයක්, දෙකක් යනකොට දාහක් දෙදෙහක් බලන තත්ත්වයට ‘තුඹයා පේජ්’ ජනප්‍රිය වුණා. ඒ එක්කම තිස්සමහාරාමයේ සෑම් මහත්තය මාව හොයාගෙන ආවා. කාබනික පොහොර භාවිතයෙන් නුවරඑළියේ එළවළු වගා කරන්න ගිහින් සෑම් මහත්තයා හොඳටම ඇන ගෙන හිටියේ. ඒ වෙනකොටත් කොටුව කරගෙන ගියේ ලක්‍ෂ හතරක්, පහක් පාඩුවට. ඒ කොටුව මට කරගෙන යන්න භාර දුන්නා. මගේ සිස්ටම් එකට එළවළු වගා කරගෙන ගිහින් මාස තුනකින් රුපියල් ලක්‍ෂ දහඅටක අස්වැන්නක් ගත්තා. සෑම් මහත්තයත් පුදුම වුණා. ඒකත් සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධ වුණා. මැති, ඇමැතිවරු මාව හොයාගෙන එන්න පටන් ගත්තා. ඒ ඇමැතිවරු මට උදවු කරන්න උත්සාහ කළත් නිලධාරීන් කකුලෙන් ඇද්දා. නිලධාරීන්ගේ කඹ ඇදිල්ල නිසා අදටවත් මට රජයෙන් කියලා කිසිදු උපකාරයක් නෑ. මගේ වාසනාවට නායක හාමුදුරුවෝ මට කතා කරලා ලොකු, ලොකු ව්‍යාපාරිකයන්ව හඳුන්වා දුන්නා. ඒ හරහා සම්බන්ධතා ජාලයක් ඇති වුණා…” චින්තකගේ දුරකථනය නාද විය. සමාව යදින අයුරින් හේ මගේ මුහුණ දෙස බැලුවේය.

2017 වර්ෂයේ හා, හා පුරා තුඹ වගාව ආරම්භ කළ චින්තක මේ වෙනකොට රන්මිණිතැන්න ප්‍රදේශයේ අක්කරයක වගාබිමක උඩරට, පහතරට මල්, පලතුරු එළවළු වගාවක් කරගෙන යන්නේය. තිස්සමහාරාම තුඹ වගාව අක්කර ගාණකට පුළුල් කර තිබෙන්නේය. මේ මොහොතේ අප සිටින දොඩන්ගොඩ එළවළු කොරටුව, කොළඹ බත්තරමුල්ලේ එළවළු කොරටු ඵලදාව ලබන සරුසාර වගා බිම් ය. රත්නපුරේ ගුරුගේ මැණික් ව්‍යාපාරිකයන්ගේ වතු, පයින් විලා, කටුනායක ගුවන් තොටුපළ ඉදිරිපිට හෝටලය අවට එළවළු සහ මල්
වගාවලින් හැඩ කර ඇත්තේ චින්තක ය. නම් වශයෙන් සඳහන් කිරීමට නොහැකි තරමට රට පුරා අක්කර තිහ, හතළිහක එළවළු කොරටු කරගෙන යන්නේය. ඒ කිසිදු වගාබිමක් චින්තකගේ නොවේ. ඔහුගේ රාජකාරිය වගා කරදීම ය. සූර ගොවියෙක් වුවද චින්තකට තවම උපන් රටේ බිම් අඟලක්වත් නැත. එහෙත් කාලයකට පෙර සිට දුටු තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සිහිනය කෙටි කාලයකින් සැබෑ කරගෙන සිටින චින්තක කුමාර මේ වනවිට ව්‍යාපාරයක හිමිකරුවෙකි. සේවකයන් තිස්පස්දෙනකු නඩත්තු කරගෙන, නැති බැරි පවුල් දෙතුන් සියයකට මාස් පතා එළවළු මාළු ලබාදෙන මිනිසුන්ගේ දුක හඳුනන ජනහිතකාමී ව්‍යාපාරිකයෙකි. ඉතාලියට, කොරියාවට තුඹ කරවිල අපනයනය කිරීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර අවසාන ය. එමෙන්ම කෙටි කාලයකින් කොළඹ ඇතුළු මෙරට සෑම ප්‍රධාන නගරයක ම තුඹයා වෙළෙඳ සැල් ජාලයක් විවෘත කිරීමට චින්තක සැලසුම් සකස් කරමින් සිටී. කැරට් කොළවලින් පානයක් නිෂ්පාදනය කිරීමත් චින්තකගේ එක් ව්‍යාපාරික සැලසුමකි. මේ වනවිටත් සියලුම එළවළු විජලනය කර තුඹයා වෙළෙඳ නාමය යටතේ වෙළෙඳ පොළට නිකුත් කරන්නේය.

එමෙන්ම ජීවන ගැටලුවලින් හෙම්බත් වී සිටින ජනතාව වෙනුවෙන් ‘පර්චස් එකක පුංචි ඉඩක වුවද පවුලේ සාමාජිකයන්ගේ කෑමට අවශ්‍ය එළවළු වර්ග වගා කරදීමට චින්තක කැමැත්තෙන් සිටී. රජයේ වගකිවයුතු බලධාරීන් සමග සම්මුතියකට පැමිණ රටේ රෝහල්, ආරක්‍ෂක අංශවලට සහ බන්ධනාගාරවලට අවශ්‍ය එළවළු වගා කරදීමට චින්තක සතුව පුළුල් වැඩපිළිවෙළක් තිබේ. සරුසාර අක්කර තුනක වගාවකින් පන්දහසගේ එළවළු අවශ්‍යතාව සම්පූර්ණ කළ හැකි බව චින්තක පැහැදිලි කරන්නේ ය. මේ රටට ආදරය, දුක්විඳින ජනතාවගේ ජීවන බර අවම කිරීමට ජන දුක හඳුනන මැති, ඇමැතිවරු සිටී නම් චින්තක සමග සාකච්ඡා කොට එළවළු ගැටලුවට විසඳුම් සෙවිය හැකිය. ගැටලුව චින්තක කියන හරුපය තේරුම් ගැනීමට තරම් ජන දුක හඳුනන දේශපාලන නායකයන් මේ රටේ නොසිටීම ගැනය. නැවත මම චින්තකට සවන් දුන්නෙමි.

“වගාවක් මේ තත්ත්වයට ගන්න පුදුමාකාර කැපකිරීමක් කරන්න ඕනෑ. මේ වගාව පටන්ගන්නකොට අවුරුදු දොළහක් මහණ වෙලා හිටපු හාමුදුරුනමක් සිවුර ඇරලා මා ළඟ වැඩට ආවා. එතකොට මේ වත්ත මහ මූකලාන. ඒ දවස්වල මහ වැස්ස. අපි රෑට හිටියේ පොල්අතු මඩුවක. වැස්සට තෙමෙනවා. පට්ට කට්ට. සිවුරු ඇරලා ඇවිත් හිටිය කෙනා දවස් තුනකට පස්සෙ මට කතා කරලා ‘ඇත්තට ම දැන් තමයි සසර කලකිරුණේ… මම නැවත මහණ වෙන්න යනවා…’ කියලා එයා ගියා. දැන් පන්සලක මහණ වෙලා ඉන්නවා. මේ වෙනකම් එයා හිටියා නම් ගිහිගෙය අතහැරලා යන්නෙ නෑ. මේ තත්ත්වයට එන්න මම කරපු කැප කිරීම දන්නෙ බිරිඳ විතරයි. ඒ මනුස්සයා මගේ සෙවනැල්ල වගේ හිටියා. ඒත් දැන් තමයි ප්‍රශ්න වැඩි. රසායනික ගොවිතැන කියන්නෙ මාෆියාවක්. ඒ ගොවිතැනට හරස් වෙන ඕනෑම කෙනෙක්ව නිහඬ කරන්න වස විස විකුණන සමාගම්, ව්‍යාපාරිකයන් විවිධාකාර බලපෑම් කරනවා. ඒත් තර්ජන, ගර්ජන මැද මේ වෙනකොට රසායනික නැතිව අක්කර ගණන් වගා කර සරු සාර අස්වැන්නක් ලබාගෙන රටට විතරක් නෙමෙයි, ලෝකයට අපි පෙන්නලා තියෙනවා. මේ කොරටුවේ කිසිම බෝගයකට අපි හදන පොහොර ග්‍රෑම් පනහක් දාලා නෑ. පොළොව කළුවට පොහොර තියෙනවා නම්, ඒ පොළොවට වෙනත් පොහොර අවශ්‍ය නෑ…” චින්තක කතා කරනුයේ ඔහුගේ දහඩිය මහන්සියෙන්, කැපවීමෙන් රසායනික නැතිව වගා කර පෙන්වමිනි. පහත රට මෑ, වම්බොටු නොව රසායනියක පොහොර, තෙල් බෙහෙත් නැතිව කිසිසේත්ම වගා කිරීමට නොහැකි යැයි නුවරළියේ ගොවීන් කෑමොර දෙන උඩරට එළවළුත් රසායනික නොමැතිව ඕනෑම පරිසර පද්ධතියක වගා කර පෙන්වමිනි. ‘තුඹයා’ සැබෑ දක්‍ෂයෙකි.

චින්තකගේ ගමන පැහැදිලිය. එහෙත් බාධක වැඩිය. රසායනික වස, විස විකුණන බහුජාතික සමාගම් පමණක් නොව, අනුන්ගේ දියුණුව බලා සිටීමට නොහැකි ‘සිංහල අපතයන්’ පවා චින්තකට නිතර බාල්දි පෙරළති. එහෙත් යහගුණ වපුරන චින්තක කුමාරට සොබදහමේ ආරක්‍ෂාව නොඅඩුව ලැබෙන බව හේ විශ්වාසයෙන් යුක්තව අප සමග පැවසීය.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment