හිඟුරක්ගොඩ භූමිතෙල් කරත්තය තබාගෙන සිටින්නේ ප්‍රදර්ශනයට

කරත්තකරුවන්ගේ මරණය සමඟ වෙළෙඳාම නැවතිලා

මිල ඉහළ යෑම සමග භූමිතෙල් පරිභෝජනය අඩුවෙලා

ගවයන් නඩත්තු කිරීමේ අසීරුතාව සමග කරත්තයට ආදේශක

සරසවියේදී මා සමග නිරතුරුවම සිටි මගේ එක් මිතුරියක් මා හැඳින්වූයේ භූමිතෙල් කරත්තය යනුවෙනි. ඊට හේතුව, කුමක් හෝ වැඩකට යන අතරමගදී යහළු යෙහෙළියන් හා කතාබහේ යෙදීමට මා දස වතාවක් පමණ නැවතීමයි. භූමිතෙල් කරත්තය ලෙස මා හැඳින්වුවද ඊට මගේ විරෝධයක් පළ නොවූයේ කුඩා වියේ පටන් භූමිතෙල් කරත්තය මට සමීප මෙන්ම ආස්වාදනීය අත්දැකීමක් වූ නිසාය. මගේ බාල කාලයේදී භූමිතෙල් කරත්තයේ සීනු හඬ ඇසුණු විට එළියට බැස “භූමිතෙල්, භූමිතෙල්” යනුවෙන් කෑගසමින් පිම්මේ දිව ගියේ මගේ මව භූමිතෙල් ගැලුම ගෙනෙන තෙක් කරත්තය නවත්වා ගැනීමටය.

එදා භූමිතෙල් කරත්තය නවත්වා ගැනීමේ රාජකාරියටත් වඩා කරත්තය පිටුපස ඇති කරාමයෙන් තෙල් ගෙන මනින අයුරු දැකබලා ගැනීමෙන් මා ලැබූ ආස්වාදය, ඩබල් ඩෙකර් බසයක ඉහළ තට්ටුවේ ගමන් කිරීමෙන් ලැබූ සතුටට නොදෙවනි තරම්ය. භූමිතෙල් කරත්තයක් නැවැත්වූ විට අහල පහළ කුඩා ළමුන් පවා ඒ වටා එක්රොක් වූයේ මා මෙන්ම යම් ආස්වාදයක් එයින් අත්වින්ද නිසා විය යුතුය.

භූමිතෙල් කරාමයෙන් වෑස්සෙන බිඳු එකතු කර ගනු පිණිස කරත්තයේ පිටුපස එල්ලා තැබුණු පනිට්ටුවට එකතු වූ භූමිතෙල් ස්වල්පය සෙල්ලම් ගෙවල් සඳහා ඉල්ලාගත් ළමෝ ද එදා සිටියහ.. ඒ අතරේදී ගම්වල විසූ උපාලි ගිනිවැල්ලෙලා හා දඟදාසලා කරත්තයේ පිටුපස කරාමය විවරකොට මඟදිගට වැක්කෙරෙමින් ගලා ගිය භූමිතෙල් දෙස බලා විනෝද වූහ.

එහෙත් එදා අප කුඩාවියේදී අත්විඳ ගත් විනෝදය සහ සොඳුරු ආස්වාදය අද ළමුන්ට විඳගැනීමට ඉඩකඩක් නැත. අද ළමුන්ට ළමා කාලය අහිමි වීම ඊට බලපෑ එක් හේතුවකි. අනෙක් හේතුව, ලංකාවේ අද වන විට භූමිතෙල් කරත්ත තුරන් වී යන දෙයක් වී තිබීමය. එසේ වුවද භූමිතෙල් කරත්තය දිගු ඉතිහාසයකට හිමිකම් පාන්නකි. එනම් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ උත්පත්තියටත් වඩා භූමිතෙල් කරත්තය පැරණිය.

අතීතයේදී ලංකාවේ භූමිතෙල් බෙදාහැරීම සමාගම් 4කට පැවරී තිබුණි. ඒ සුද්දාගේ කාලයේදීය. ෂෙල්, කැල්ටෙක්ස්, මොබිල් සහ එසෝ මෙම සමාගම් 4 විය. පෙට්‍රල්, ඩීසල්වලට අමතරව භූමිතෙල් අලෙවිය සිදු කළ මෙම සමාගම් විසින් එදා භූමිතෙල් පරිභෝජනය සඳහා ජනතාව තුළ පෙළඹවීමක් ඇති කරනු ලැබීය.

එහි ප්‍රතිඵලයක් වශයෙන් පොල්තෙල් පහන් වෙනුවට භූමිතෙල් ලාම්පු භාවිතයට පැමිණියේය. එපමණක් නොවේ, දර ළිප් වෙනුවට භූමිතෙල් ළිප් ද භූමිතෙල් උඳුන් (oven), භූමිතෙල් ශීතකරණ පවා වෙළෙඳපොළට පැමිණියේය. භූමිතෙල් පරිභෝජනය ඉහළ ගියේ එබැවිනි. ඉන්ධන පිරවුම්හල්වල භූමිතෙල් අලෙවියට අමතරව භූමිතෙල් කරත්ත මගින් පාරිභෝගික ජනතාවගේ නිවසටම ගොස් භූමිතෙල් අලෙවි කිරීම එදා ප්‍රචලිතව පැවතිණි. තවද භූමිතෙල් අලෙවිය සඳහාම පමණක් භූමිතෙල් පොළවල් ද ආරම්භ කෙරිණි.

දෙහිවල හිල් වීදියේ පිහිටි ධර්මසිරි දලුගොඩ ලංකා භූමිතෙල් පොළ එසෝ සමාගම යටතේ ආරම්භ වූවකි. මීගමුව බෞද්ධ මන්දිරය ඉදිරිපිට ඇති එස්. බෙන්ජමින් සිල්වාපුල්ලේ සහ පුත්‍රයෝ සහ කොළඹ ආමර්වීදියේ පිහිටි චින්තක කරුණාරත්න භූමිතෙල් පොළ ෂෙල් සමාගම යටතේ ආරම්භ කරන ලද්දකි.

එහෙත් 1961දී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇරඹීමත් සමග සමාගම් යටතේ තිබුණු ඉන්ධන පිරවුම්හල්, භූමිතෙල් පොළවල් සහ ඒවා සතුව තිබූ භූමිතෙල් කරත්ත ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පවරා ගැනිණි. ඒ සමගම ඉන්ධන පිරවුම්හල්, භූමිතෙල් පොළවල් සහ භූමිතෙල් කරත්ත සංඛ්‍යාත්මකව ඉහළ දමමින් අලෙවිය වඩාත් ප්‍රචලිත කරගැනීමට පියවර ගැනිණි.

“මීට අවුරුදු 30කට විතර ඉස්සෙල්ලා භූමිතෙල් බවුසරයක තෙල් පැය 4න් විකිණුනා. සමහර වෙලාවට බවුසර් එනකම් බලාගෙන ඉන්න වුණා.” යනුවෙන් පැවසුවේ කොළඹ ආමර් වීදියේ බණ්ඩාරනායක මාවතේ චින්තක කරුණාරත්න භූමිතෙල් පොළ අධිපති චින්තක කරුණාරත්න ය.

තෙල් බවුසරයක් තෙල් ලීටර් 6,600 ක ධාරිතාවකින් යුක්තය. භූමිතෙල් කරත්තවල තෙල් ටැංකි ධාරිතාවන් කිහිපයකින් තිබේ. ලීටර් 420, 590, 600, 720 එකී පරිමාවන් හතර වේ.

ධර්මසිරි දලුගොඩ ලංකා භූමිතෙල් පොළට වසර 30කට පමණ පෙර දිනපතා භූමිතෙල් බවුසරයක් පැමිණි නමුදු ක්‍රමක්‍රමයෙන් එය පල්ලම් බැස්සේ භූමිතෙල් පරිභෝජනය අඩු වී ඇති බැවිනි. භූමිතෙල් පරිභෝජනය අඩු වීමත් සමඟ ධර්මසිරි දලුගොඩ ලංකා භූමිතෙල් පොළ සතුව තිබුණු භූමිතෙල් කරත්ත ප්‍රමාණය 12 සිට 3 දක්වා පහත වැටී අද වන විට නැත්තටම නැති වී තිබේ. අද ධර්මසිරි දලුගොඩ ලංකා භූමිතෙල් පොළ වසා දමා ඇත. එහෙත් චින්තක කරුණාරත්නගේ භූමිතෙල් පොළ සතු කරත්ත සංඛ්‍යාව සැලකිය යුතු මට්ටමේ වෙනසක් වී නැත. එය පහත වැටී තිබෙන්නේ 20 සිට 17 දක්වා පමණි. එහෙත් කරත්තය වෙනුවට ආදේශකයක් පැමිණ ඇත. ඒ, ඩීසල් ත්‍රීවීලර්වල පිටුපස භූමිතෙල් ටැංකිය තබාගෙන භූමිතෙල් වෙළෙඳාම් කිරීමයි. එබැවින් අද චින්තක කරුණාරත්න භූමිතෙල් පොළේ වෙළෙඳාමේ යෙදෙන ගවයන් බැඳි භූමිතෙල් කරත්ත ගණන 4කට සීමා වී තිබේ.

“අද ගොන්නු නඩත්තු කරන්න ලේසි නැහැ. වියදම වැඩියි. අනික අද ඉන්න තරුණයන් ගවයන් හසුරුවාගන්න දන්නේ නැහැ. ඒ නිසා තමයි ත්‍රීවීලර් එකට ටැංකිය තියාගෙන යන්නේ. කොහොම වුණත් මට නම් භූමිතෙල් විකුණන්න ලේසියි. සමහර හෝටල්වලින් ලීටර් 500 වගේ ප්‍රමාණයක් ගන්නවා. බූන්දි හදන, තිනර් හදන වගේ පොඩි පොඩි ව්‍යාපාර කරන අය භූමිතෙල් ගන්නවා.” යනුවෙන් සඳහන් කළේ චින්තක කරුණාරත්නය.

කොළඹ තත්ත්වය එසේ වුවද ලංකාවේ අනෙක් පළාත්වල නම් අද වන විට භූමිතෙල් කරත්ත දක්නට නොලැබෙන තරම් ය.

“ඉස්සර අපිට භූමිතෙල් කරත්ත 2ක් තිබුණා. කරත්තවලින් තෙල් විකුණන එක නවත්තලා අවුරුදු 40කට වැඩියි. ඒ කරත්තත් අපි සංස්ථාවට භාර දීලා තියෙන්නේ. මේ ප්‍රදේශවල අය වුණත් දැන් භූමිතෙල් පාවිච්චි කරනවා හුඟක් අඩුයි..” යනුවෙන් හිඟුරක්ගොඩ ඇස්. ඇන්ඩ් ජේ. ෆුවල් ඩිස්ට්‍රිබියුටර්ස් හී කළමනාකරු පැවසීය. අනුරාධපුර විවිධ සේවා සමූපකාර සමිතියට අයත් භූමිතෙල් කරත්තයක් තිබුණු මතකයක් ගැන පැවසුවේ අනුරාධපුර ලංකා ෆිලින් ස්ටේෂන් හී කළමනාකරු ය. එහෙත් වසර 30කින්වත් එය නුදුටු බව ඔහු සඳහන් කළේය.

සමූපකාරවලට අයත් ඉන්ධන පිරවුම්හල් ගැන කතා කිරීමේදී බදුල්ල විවිධ සේවා සමූපකාර සමිතියට අයත් ඉන්ධන පිරවුම්හළ සතුව එක් භූමිතෙල් කරත්තයක් මෑතක් වන තුරු තිබිණි. බදුල්ල නගරය, බදුලුපිටිය, දුන්හිඳ, පිංඅරාව, ඉඟුරුගමුව, කණුපැලැල්ල, මයිලගස්තැන්න වැනි ප්‍රදේශවල භූමිතෙල් ප්‍රවාහනය කළේ මෙම කරත්තයෙනි.

“භූමිතෙල් කරත්තකරු මියගිහින් දැන් අවුරුදු 3ක් 4ක් විතර වෙනවා. ඊට පස්සේ ගොනාව හසුරුවාගන්න කෙනෙක් නැතුව ගියා. අනික දැන් කරත්තයත් අබලන්. ඒ නිසා කරත්තය පැත්තකට දාලා තියෙනවා. භූමිතෙල් මිල ඉහළ නිසා දැන් භූමිතෙල් පරිභෝජනයත් අඩුයිනෙ. පහුගිය ගෑස් නැති කාලේ නම් භූමිතෙල්වලට ඉල්ලුම තිබුණට භූමිතෙල් සීමා කරලා දෙන්න සිද්ධ වුණා. ඒ කාලේ භූමිතෙල් තිබුණෙත් නැහැනෙ.” යනුවෙන් පැවසුවේ බදුල්ල විවිධ සේවා සමූපකාර සමිතියට අයත් ඉන්ධන පිරවුම්හලේ කළමනාකරු ය.

හිඟුරක්ගොඩ විවිධ සේවා සමූපකාර සමිතියට අයත් ඉන්ධන පිරවුම්හළ භූමිතෙල් කරත්ත මගින් භූමිතෙල් වෙළෙඳාම් කළද අද වන විට නැවතී තිබෙන්නේ කරත්තය අබලන් වීමත් ජනතාවගේ භූමිතෙල් පරිභෝජනය අඩු වීමත් නිසාය.

“භූමිතෙල් කරත්තය අපි ෂෙඩ් එකේ පැත්තක තියාගෙන ඉන්නවා ඉස්කෝලේ යන ළමයින්ට බලන්න. නැත්නම් අද කාලේ ළමයි මෙහෙම දෙයක් තිබුණා කියලා දන්නේ නැහැනේ.” යනුවෙන් හිඟුරක්ගොඩ විවිධ සේවා සමුපකාර සමිතියේ ඉන්ධන පිරවුම්හළේ කළමනාකරු සඳහන් කළේය.

ගාල්ල අබේසේකර පිරවුම්හල සතුවද එක් භූමිතෙල් කරත්තයක් පමණක් තිබුණද එය ලංකා ඛනිජතෙල් සංස්ථාවට භාර දෙන ලෙස කළ දැනුම්දීමකට අනුව වසර 3කට පමණ පෙර මාගාල්ල කාර්යාලයට භාර දුන් බව පිරවුම්හළේ කළමනාකරු පැවසීය.

“ඉස්සර අපිට භූමිතෙල් කරත්ත 3ක්ම තිබුණා. කරත්ත දෙකක්ම කැඩිලා අබලන් නිසා අන්තිමට ඉතුරු වුණේ එක කරත්තයයි. ඒ කරත්තෙ නම් සංස්ථාවට භාර දෙනකම් ගාල්ල නගරේ වැඩ කළා. ඒ කරත්තෙන් වැඩිපුරම තෙල් මිල දී ගත්තෙ මුස්ලිම් කට්ටිය. ඒ හැර ධීවරයෝ භූමිතෙල් ගත්තා. දැන් කරත්තය නැති නිසා ඒ හැමෝම ෂෙඩ් එකට ඇවිත් භූමිතෙල් අරන් යනවා. අද කාලේ කොයි ගෙදරත් මෝටර් සයිකලයක් ත්‍රීවීලර් එකක් තියෙනවානේ. ඒ නිසා කරත්තයේ අඩුව ඒ අයට දැනෙන්නේ නැහැ.” යනුවෙන් ගාල්ල අබේසේකර පිරවුම්හලේ කළමනාකරු සඳහන් කළේය.

ධීවර බෝට්ටුවලට අවශ්‍ය භූමිතෙල් අලෙවි කරන තවත් භූමිතෙල් පොළක් වන්නේ මීගමුවේ බෙන්ජමින් සිල්වාපුල්ලේ සහ පුත්‍රයෝ භූමිතෙල් පිරවුම්හලයි. ධීවර ජනතාව වැඩි වශයෙන් ජීවත්වන මුන්නක්කරය ඔවුන්ගේ හොඳ වෙළෙඳපොළකි. 1978 දක්වා එස්. බෙන්ජමින් සිල්වාපුල්ලේ සහ පුත්‍රයෝ භූමිතෙල්පොළ සතුව කරත්ත 25ක් තිබුණ නමුදු පසුකාලීනව එකම කරත්තයක්වත් නොමැති වීමට බලපෑ ප්‍රධාන හේතුවක් වූයේ ගොනුන් නඩත්තු කිරීමේ අපහසුවයි. ලෑන්ඩ්මාස්ටර් 5කින් තෙල් වෙළෙඳාම ඇරැඹුණේ ඊට පිළියමක් වශයෙනි. මීගමුවේ සිල්වාපුල්ලේ ඉන්ධන පිරවුම්හල අත්ට්‍රැක්ටර්වල තෙල් ටැංකිය තබාගෙන වැඩි වශයෙන් භූමිතෙල් අලෙවි කළේ මුන්නක්කරයේ ධීවර පවුල්වලට හා ආඬිඅම්බලම ප්‍රදේශයේ නේවාසිකව ජීවත්වන ඇඟලුම් කම්හල් සේවක සේවිකාවන්ට ය.

“ලෑන්ඩ්මාස්ටර් 5කින් කරපු භූමිතෙල් වෙළෙඳාම, කොරෝනා වසංගතයෙන් පස්සේ 1ට බැස්සා. දැන් ඒ එකත් නැහැ. පහුගිය කාලේ තෙල් පෝලිම් කලබල එක්ක භූමිතෙල් නැතුව ගියා. ඉස්සර නම් භූමිතෙල් වෙළෙඳාම් කරන අයට තෙල් ණයට දුන්නා, එයාලා විකුණලා ඉවරවෙලා අපිට සල්ලි බේරුවා. ඒත් දැන් භූමිතෙල් මිල ඉහළයි. ඒ නිසා ණයට තෙල් දෙන්න බැහැනෙ. ඒ නිසා ලෑන්ඩ්මාස්ටරයෙන් කරපු තෙල් වෙළෙඳාමත් නැවතුණා. දැන් භූමිතෙල් අවශ්‍ය අය අපේ ෂෙඩ් එකට ඇවිත් ගෙනියනවා.” යනුවෙන් බෙන්ජමින් සිල්වාපුල්ලේ සහ පුත්‍රයෝ භූමිතෙල් පිරවුම්හල අධිපති සඳහන් කළේය.

භූමිතෙල් අලෙවිය ගැන සලකා බැලීමේදී එය ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස්වේ. ගාල්ලේ මුස්ලිම් ජනතාව වැඩි වශයෙන් භූමිතෙල් මිල දී ගත් බව ගාල්ල අබේසේකර පිරවුම්හලේ කළමනාකරු සඳහන් කරද්දී දෙහිවල භූමිතෙල් කරත්ත වැල්ලවත්ත සහ දෙහිවල දමිළ පවුල් තාවකාලිකව පදිංචි වී සිටින ප්‍රදේශවල වෙළෙඳාමේ යෙදුණු බව පැවසුවේ ධර්මසිරි දලුගොඩ ය. මීගමුව කොච්චිකඩේ පිහිටි ජෝ පෙරේරා ඇන්ඩ් සන්ස් ඉන්ධන පිරවුම්හල සතුව තිබුණු එකම භූමිතෙල් කරත්තයෙන් භූමිතෙල් වැඩි වශයෙන් අලෙවි කර තිබෙන්නේ උළු මෝල්වලටය. එහෙත් චින්තක කරුණාරත්න සතු භූමිතෙල් කරත්ත 17 කොළඹ ප්‍රදේශයේම වෙළෙඳාමේ යෙදෙන්නේ සුළු ව්‍යාපාරිකයන්ට අමතරව ඊට වෙනස් පාරිභෝගික පිරිසක් ඔවුන්ට සිටින නිසාය. එනම් මට්ටක්කුලිය, දෙමටගොඩ, තොටළඟ, මෝදර, කොටහේන, මාළිගාවත්ත, පෑලියගොඩ වැනි කොළඹ තදාසන්න ප්‍රදේශවල පිහිටි පේළි ගෙවල්වල, වතුවල ඇති නිවාසවල භූමිතෙල් ළිප් භාවිතයෙන් ඉවුම්පිහුම් කටයුතු කිරීම ඊට හේතු වී තිබේ.

“මේ පැතිවල භූමිතෙල් වැඩිපුරම පරිභෝජනය වෙන්නේ හේන් කුඹුරු වැඩවලට අවශ්‍ය වතුර පොම්ප, ජෙනරේටර් ක්‍රියාත්මක කරන්න. හැම තැනකම දැන් ලයිට් ගිහින් තියෙන නිසා මේ පැතිවල භූමිතෙල් පරිභෝජනය දැන් හුඟක් අඩුයි. ලයිට් නැති ගෙවල්වල වුණත් බැටරියෙන් හෝ සූර්ය බලයෙන් හෝ ලයිට් අරං තියෙනවා..” යනුවෙන් තණමල්විල කුඩාඔය ඒජන්සි හී අයිතිකරු වන ඒ. ඇම්. වැලිගමගේ පැවසුවේය.

බදුල්ල බල්ලකැටුව සී. එෆ්. ඒ. ලිමිටඩ් ඉන්ධන පිරවුම්හල ද භූමිතෙල් ටැංකිය අත්ට්‍රැක්ටරයේ තබාගෙන ඇල්ල, හාලිඇල, නමුණුකුල වැනි ප්‍රදේශවල අලෙවි කළද දැන් අවුරුදු 4, 5ක සිට එය නවතා දමා තිබෙන්නේ ගම් මට්ටමෙන් බෙදීමට තරම් භූමිතෙල්වලට ඉල්ලුම නැති නිසාය. බදුල්ල බල්ලකැටුව සී.එෆ්.ඒ. ලිමිටඩ් ඉන්ධන පිරවුම්හලේ කළමනාකරු සඳහන් කළේ වර්තමානයේ භූමිතෙල් පරිභෝජනය ඉතා අඩු මට්ටමක පවතින බවයි.

මීගමුව කොච්චිකඩේ පිහිටි ජෝ පෙරේරා ඇන්ඩ් සන්ස් ඉන්ධන පිරවුම්හළ සතුව භූමිතෙල් කරත්ත 3ක් තිබුණ නමුදු එකක් අබලන් වීම නිසා සංස්ථාවට භාරදී ඇත. එක් කරත්තයක ටැංකිය හොඳ නිසා ලෑන්ඩ්මාස්ටරයක තබාගෙන වෙළෙඳාම කළ අතර අනිත් කරත්තයද මෑතක් වන තුරුම භූමිතෙල් වෙළෙඳාමේ යෙදුණේ මෙම ඉන්ධන පිරවුම්හළ අයි. ඕ. සී. සමාගමට අයත් වීමත් සමඟ කොච්චිකඩේ පිහිටි අනෙක් ඉන්ධන පිරවුම්හළෙන් භූමිතෙල් රැගෙන යෑමෙනි. එහෙත් දැන් ඒ කරත්තය ද නැත.

“මේ වෙනකොට භූමිතෙල් මිල ඉහළ ගිහින් තියෙන්නේ. ඒ නිසා ගොඩක් දෙනා භූමිතෙල් පාවිච්චිය අත්හැර දමලා. ඉස්සර අපෙන් භූමිතෙල් ගත්ත උළු මෝල් අද වැහිලා. ඒ නිසා ලෑන්ඩ්මාස්ටරයෙන් ගිහින් විකුණන්න තරම් තෙල්වලට ඉල්ලුමක් නැහැ. අනික් භූමිතෙල් කරත්තෙ කරත්තකරු මියගියාට පස්සෙ ඒ කරත්තෙන් කරපු වෙළෙඳාම එහෙම්මම නැවතුණා.” යනුවෙන් පැවසුවේ කොච්ච්කඩේ ඉන්ධන පිරවුම්හළේ වැඩ කරන සේවකයෙකි.

කරත්තකරුවන්ගේ මරණයත් සමඟ බොහෝ භූමිතෙල් කරත්ත වෙළෙඳාමෙන් ඉවත් වූයේ ඔවුන්ගෙන් පසු පරම්පරාවට ගවයන් හසුරුවා ගැනීමට නොහැකි වීම සහ පසු පරම්පරාව ඊට අකැමැත්තක් දැක්වීම නිසාය. මේ අතරේදී ගවයින් රැක ගැනීමට දුෂ්කර වීම යන කාරණය නිසාම භූමිතෙල්පොළ වසන්නට සිදු වූ සිද්ධියක් ද වාර්තා විය. ඒ, ප්‍රකට ශල්‍ය වෛද්‍ය විශේෂඥ පී. ආර්. ඇන්තනිස් මහතාගේ පියාට අයත් බම්බලපිටියේ භූමිතෙල් පොළය. එවකට ගවයින් විශාල ප්‍රමාණයක් සිටි බැවින් ආරම්භ කළ භූමිතෙල්පොළට අයත් භූමිතෙල් කරත්ත ද රාශියක් තිබිණි. නමුත් ගවයන් රෝගී වීමත් සමග එය වසා දැමුණේ මීට වසර 40කට පමණ පෙර ය.

“භූමිතෙල් කරත්තය ත්‍රීවීලර් එකට, ලෑන්ඩ්මාස්ටරයට මාරු වෙන්න බලපාපු හේතුව තමයි ගවයන් නඩත්තු කරන්න අධික වියදමක් දරන්නට සිදුවීම. අනික් කාරණාව උදේ වරුවෙ භූමිතෙල් විකුණලා හවසට හාඩ්වෙයාර් එකක් ළඟ ලෑන්ඩ්මාස්ටරය තියාගෙන හයර් එකක් යන්න පුළුවන්. ත්‍රීවිලරයත් එහෙමයි. අද කාලේ ගොනෙකුට කන්න දෙන්න කොයි තරම් වියදම් යනවාද?” යනුවෙන් භූමිතෙල් කරත්තයේ ආදේශකයන්ට හේතු පැහැදිලි කළේ චින්තක කරුණාරත්නය.

භූමිතෙල් කරත්තයට කරත්තකරුවන් සෙවීම ඉන්ධන පිරවුම්හළ අයිතිකරුවන් විසින් සිදු කළ යුතුය. කරත්තයට ගවයන් සොයාගැනීම කරත්තකරුවන් විසින් සිදු කළ යුතුය.

“භූමිතෙල් විකුණලා ලැබෙන කොමිස් මුදල් කරත්තකාරයාට ජීවත් වෙන්නවත් මදි. ඉතින් කොහොමද හරකුන් නඩත්තු කරන්නෙ? යනුවෙන් සඳහන් කළේ මීගමුව කොච්චිකඩේ ජෝ පෙරේරා ඇන්ඩ් සන්ස් ඉන්ධන පිරවුම්හලේ අයිතිකරුය.

නමුත් භූමිතෙල් වෙළෙඳාම සරු ප්‍රදේශවල කරත්තකරුවන්ගේ අතමිට ඉතා සරු ය. චින්තක කරුණාරත්න භූමිතෙල්පොළේ කරත්තකරුවකු වන මාළිගාවත්තේ අලගර් ඩොල්ෆින් වෑන් රථයක හිමිකරුවෙකි. ත්‍රිරෝද රථ හිමි කරත්තකරුවෝද එහි සිටිති. මාළිගාවත්තේ ජරීස් මසකට වරක් ඉන්දියාවේ ගොස් බඩු මිලදී ගෙනවුත් මෙරට විකුණන එහි සිටින තවත් කරත්තකරුවෙකි. අද වන විට අලගර්ගේ පුත්‍රයා ද ත්‍රීවිලරයක භූමිතෙල් වෙළෙදාමේ යෙදෙයි.

භූමිතෙල් කරත්තකරුවන් අසීරුතාවට පත් කළ තවත් කරුණක් වූයේ ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට අයත් ඇතැම් ඉන්ධන පිරවුම්හළ ලංකා අයි. ඕ.සී. සමාගම යටතට පත්වීම ය.

බම්බලපිටිය මංසන්ධියේ වර්ණ සංඥා පුවරුව ඉදිරිපිට ඇති ලංකා අයි. ඕ.සී. ඉන්ධන පිරවුම්හලේ ද භූමිතෙල් කරත්තයක් නවතා තිබුණු මතකයට අනුව ඒ පිළිබඳව විමසා සිටියේ අද වන විට එය දක්නට නොලැබෙන බැවිනි. ලංකා අයි. ඕ. සී. ඉන්ධන පිරවුම්හල්වල භූමිතෙල් අලෙවි නොවන බැවින් වැල්ලවත්ත රොක්සි උද්‍යානය අසල පිහිටි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හලෙන් භූමිතෙල් ගෙන වෙළෙඳාම් කිරීමට පුරුදු වී සිටි මෙම භූමිතෙල් කරත්තය අද දක්නට නොලැබෙන්නේ කරත්තකරු මියගොස් ඇති නිසාය.

දැන් ලංකා අයි. ඕ. සී. ඉන්ධන පිරවුම්හල්වලට අමතරව සයිනොපෙක් ඉන්ධන පිරවුම්හල් ද තිබේ. එහෙත් ඒවායේත් භූමිතෙල් අලෙවි කෙරෙන්නේ නැත. භූමිතෙල් අලෙවි වන්නේ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වල පමණි.

“මට හොඳ භූමිතෙල් ඉල්ලුමක් තියෙනවා. ෂෙඩ් එක කොළඹ ආමර්වීදියේ තිබීම මට විශේෂ වාසියක්. මේ භූමිතෙල් ෂෙඩ් එක මට අයිති වුණේ බාප්පාගෙන්. බිස්නස් එක හොඳ නිසා මමත් කරගෙන යනවා. ඒත් දැන් මට මේ බිස්නස් එක කරගන්න බැරිවෙයි කියලා හිතෙනවා. මොකද නොවැම්බර් මාසයේ ඉඳලා අපිට තෙල් ලැබෙන්නේ අඩුවෙන්. ඉල්ලුමට සරිලන සැපයුමක් නැහැ. තෙල් විකුණලා ඉවරවුණාම ෂෙඩ් එක වහන්න වෙනවා. මා ළඟ වැඩ කරන අයට වැඩ නැතිවුණාම වෙන ජොබ් හොයාගෙන යයි..” ලංකාවේ භූමිතෙල් කරත්ත එකම හිමිකරු, චින්තක කරුණාරත්න මතු කළ ප්‍රශ්නය සමග දැනට ඉතිරි වී ඇති භූමිතෙල් කරත්තයේ මළගම වැඩි ඈතක නොවේ යැයි මට සිතුණේ නිරායාසයෙනි.

හර්ෂා සුගතදාස

advertistmentadvertistment
advertistmentadvertistment