වෛද්‍ය සදාචාරයත් ප්‍රශ්න කළ වෛද්‍ය දේශපාලන ගැටුම

697

පෝෂණය සම්බන්ධ විශේෂඥ වෛද්‍ය වරයකු වන මහාචාර්ය රනිල් ජයවර්ධන මහතා විසින් හිටපු ඇමැතිවරයකු වන ප්‍රසන්න රණතුංග මහතාට ප්‍රතිකාර කිරීම ප්‍රතික්‍ෂේප කිරීමේ සිද්ධියක් පසුගියදා වාර්තා වීම බොහෝ දෙනාගේ කථා බහට ලක්වූ පුවතක් බවට පත්විය.

මෙයට පාදක වූයේ මේ වන විට රට තුළ පවතින දේශපාලනඥයින් කෙරෙහි ඇති විරෝධයයි. දේශපාලනඥයින් රටේ ජනතාව ගැන සැලකිල්ලක් දක්වන්නේ නැතිව තම දේශපාලන පක්‍ෂය සහ නායකයන් ගැන පමණක් සිතමින් කටයුතු කරන නිසා රට දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව ඇතැයි ජනතාව චෝදනා කරති. ඇත්තෙන්ම මෙය සත්‍යයකි. වර්තමානයේ පමණක් නොව මේ දක්වා බහුතරයක් දේශපාලනඥයන් සහ දේශපාලන පක්‍ෂ සිදු කළේ රට ගැන නොව තම පක්‍ෂය සහ තමුන් ගැනය. එහි ප්‍රතිවිපාක මේ වන විට අපි අත්විඳින්නෙමු. ඒ සඳහා ජනතාව ප්‍රතිචාර දැක්විය යුත්තේ බුද්ධිමත්වය.

විශේෂඥ වෛද්‍ය රනිල් ජයවර්ධන මහතා විසින් ද ප්‍රසන්න රණතුංග මහතාට ප්‍රතිකාර කිරීම ප්‍රතික්‍ෂේප කරන්නට හේතු වූයේ මෙම දේශපාලන පරිහානියයි. නමුත් ඒ සඳහා වෛද්‍යවරයා භාවිත කළ ක්‍රියාමාර්ගය තම වෘත්තියේ සදාචාරාත්මක බවට පටහැනි වී තිබේ. වෛද්‍ය වරයකු ලෙස සේවයට එක්වන විට ප්‍රතිඥා දෙන්නේ තමා පුද්ගලයාගේ තරාතිරම නොබලා රෝගියකු ලෙස සිතා ප්‍රතිකාර ලබා දෙන බවයි.

මෙහි තවත් බරපතල ගැටලුවක් වන්නේ ප්‍රසන්න රණතුංග මහතා මෙම වෛද්‍ය වරයාගෙන් මීට පෙර අවස්ථා දෙකකදී ද ප්‍රතිකාර ගෙන තිබීම ය. එනිසා ඔහුගේ රෝග තත්ත්වය ගැන වෛද්‍ය වරයාට පූර්ව අවබෝධයක් ද තිබේ. එම තත්ත්වය මත පොදුවේ අප කවුරුත් හඳුනනවාට වඩා ප්‍රසන්න රණතුංග මහතා සම්බන්ධව වෛද්‍ය වරයාට විශේෂ අවබෝධයකුත් පවතී.

මෙම සිද්ධිය ගැන ප්‍රසන්න රණතුංග මහතා මාධ්‍ය වෙත පවසා තිබුණේ මෙලෙසිනි. “මම වෛද්‍ය රනිල් ජයවර්ධන මහතාගෙන් මීට පෙර අවස්ථා දෙකකදී ප්‍රතිකාර ලබාගෙන තිබෙනවා. මගේ සිරුරේ පවතින අධික ස්ථූලභාවය නිසා විටමින් සම්බන්ධ ගැටලුවලට ප්‍රතිකාර ලබා ගැනීමට වෛද්‍ය වරයා හමුවෙනවා. ඒ අනුව නැවත හමුවිය යුතු බවට පැවසූ කාලසීමාවට අනුව දිනයක් වෙන්කරවා ගත්තා. එම දිනය වෙන්කර ගත්තේ අදාළ දිනයට පෙර දින දෙකකට කලින්. මට ලැබී තිබුණේ අංක දෙක. ඒ අනුව මමත් බිරිඳත් නියමිත වේලාවට පෙර ලංකා රෝහලට පැමිණියා. වෛද්‍ය වරයා රෝගීන් බැලීම ආරම්භ කළ පසු හෙදියක් මගේ බිරිඳට කථා කර පවසා ඇත්තේ වෛද්‍ය වරයා දේශපාලනඥයන්ට ප්‍රතිකාර කිරීම ප්‍රතික්‍ෂේප කරන බවය. මම මීට පෙරත් වෛද්‍ය වරයාගෙන් ප්‍රතිකාර ලබාගෙන ඇති නිසා මෙවර මට මෙවැනි තීරණයක් ගත්තේ ඇයි කියා විමසුවා. නමුත් වෛද්‍ය වරයා ඊට පිළිතුරක් දුන්නේ නැහැ.”

මේ සම්බන්ධව කිසිවක් ප්‍රකාශ නොකරන බව වෛද්‍ය රනිල් ජයවර්ධන මහතාද සමාජ මාධ්‍ය ඔස්සේ පණිවුඩයක් නිකුත් කර ඇත.

මෙලෙස වෛද්‍ය වරයා හදිසියේම වෙනස්වන්නට ඇත්තේ ගෝල්ෆේස් පිටියේ පැවැත්වෙන තරුණ අරගලයට සහාය දීමක් ලෙස විය හැකි යැයි සමාජය තුළ විවිධ මත පළවේ.

මෙවැනි වැරදි පූර්වාදර්ශ සමාජයේ පිළිගත් වෘත්තිකයින් අතින් සිදුවන විට එය සමාජයේ පහළට ගමන් කරන්නේ ඉතා වේගයෙනි. එවැනි සිදුවීමක් ඉකුත් 09 වැනිදා කොළඹ ජාතික රෝහල ඉදිරිපිටදී දැකගත හැකි විය. ගාලු මුවදොර අරගල භූමියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දේශපාලනඥයින් පිරිසක් සහ ඔවුනගේ පාක්ෂිකයන් පිරිසක් පහරදීමත් සමග ඇතිවූ ගැටුමින් තුවාල ලැබූ ආරක්‍ෂක අංශ සාමාජිකයන් ප්‍රතිකාර සඳහා ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයට රැගෙන ආ විට ඔවුන් රෝහලට ඇතුළත් කර ගැනීම ප්‍රතික්‍ෂේප කරමින් රෝහලේ සෞඛ්‍ය සේවකයන් පිරිසක් විරෝධය පාන්නට වූහ.

තවත් පිරිසක් ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ගන්නා රෝගීන්ට පහර දෙන්නට වූහ. මෙහිදී වෛද්‍ය වරු පිරිසක් ඉදිරිපත්ව ඊට විරෝධය දක්වමින් පැවසුවේ රෝගීන්ට ප්‍රතිකාර කිරීම වෛද්‍ය වරු සතු වගකීමක් බැවින් ඊට විරෝධය පෑම සිදු නොකරන ලෙසය. මෙලෙස තම වෘත්තීය ගැන නිසි අවබෝධයෙන් යුතුව කටයුතු කරන අති බහුතරයක් පිරිස අතර සුළුතරයක් අතින් සිදුවන වැරදි ඉතා වේගයෙන් සමාජයේ ප්‍රචලිතවීමට තරම් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලා ප්‍රබල වී ඇත. මීට පෙර මෙවැනි සිද්ධීන් ඇති වූ විට එය සමාජය අතරට යන්නේ ඉතා සෙමිනි. නමුත් වර්තමානයේ එය සජීවීව සමාජය අතරට යෑමට තරම් තාක්‍ෂණය දියුණු වී ඇත. එනිසා අප කොයි කවුරුත් අපගේ වෘත්තීය නිවැරදි අයුරින් ඉටු කිරීමට දැන්වත් පියවර ගත යුතුය. විශේෂයෙන්ම දේශපාලනඥයන් එය දැඩිව සිතට ගත යුතුය. මේ වන විට ජනතාව අතරින් ඉතා වේගයෙන් ප්‍රතික්‍ෂේප වන්නට පටන් ගෙන ඇත්තේ දේශපාලනඥයන්ය. දේශපාලනඥයන් බහුතරයක් තම යුතුකම් වගකීම් නිසි ලෙස ඉටු නොකර පෞද්ගලික අරමුණු ඔස්සේ කටයුතු කරන්නට පටන් ගෙන ඇත. පසුගිය දින කිහිපයෙහි නැවත වරක් අපට එවැනි සිද්ධීන් දැක ගත හැකි විය. එසේම ඊට දැක්වූ ප්‍රතිචාරද දැක ගත හැකි විය. මේ කිසිවක් ශිෂ්ට සම්පන්න සමාජයක් අනුමත කරන්නේ නැත. එබැවින් දැන්වත් අප නිවැරදි විය යුතුය.

විශේෂඥ වෛද්‍ය රනිල් ජයවර්ධන යනු පෝෂණය සම්බන්ධව දැනුම් සම්භාරයක් සහිත වෛද්‍ය වරයෙකි. ඔහු බොහෝ පර්යේෂණ සිදු කර ඇත. ඒ සඳහා සම්මානයෙන් පවා පිදුම් ලබා තිබේ. එවන් කීර්තිමත් වෛද්‍යවරයකු විසින් සිදුකරන සුළු වරදකින් සමාජය තුළ අපකීර්තියට පත්වීම තුළින් බරපතල පාඩුවක් ජනතාවට සිදුවේ. එනිසා එවැනි වෛද්‍ය වරුන් දේශපාලනඥයන්ට දඬුවම් කළ යුත්තේ ප්‍රතිකාර කිරීම ප්‍රතික්‍ෂේප කිරීමෙන් නොව ජරාජීර්ණ වූ දේශපාලනඥයන්ට පවා ප්‍රතිකාර කිරීමට අපගේ වෘත්තීය උතුම් යැයි පවසමිනි. රජෙක් වුවත් ලෙඩෙක් වුවහොත් ඉන් විඳින වේදනාව දන්නේ ඔහු පමණි. එම තත්ත්වය දේශපාලනඥයන්ට වටහා දීමෙනි.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment