රටට ඩොලර් ගේන “ඇපරල්” රටින් පිටට

800

ලක්ෂ ගණනකට රැකියා අහිමි වෙයි

ඇඟලුම් කර්මාන්තශාලා රැසක් වැසෙයි

ලෝකයේ රෙදිපිළි කර්මාන්තය සම්බන්ධව දීර්ඝතම ඉතිහාසයක් ඇත්තේ ශ්‍රී ලංකාවටය. එය අවුරුදු විසිහය දහසක් එපිට පැවැති මහා සම්මත රාජ වංශයටත් වඩා පැරණිය. එකල ලංකාවේ දක්ෂිණ දේශයෙහි ජීවත් වූ “මනු” නම් හැඩිදැඩි තරුණයකු මන්නාරමේ පැවැත්වූ පරීක්ෂණයකින් සමත් වී “මහාසම්මත” නමින් රාජාභිෂේකය ලබද්දී දක්ෂිණ දේශයේ නිපදවන ලද කපු පිළියක් පළඳා ඔහු පිළිගන්නා ලද බව පැරණි වෘත්තාන්තවල සඳහන්ය. ලංකාවේ එකල පැවති යක්ෂ, නාග, රාක්ෂ, අසුර යන හෙළයින් සතර වර්ගය එකතුකොට සිව්හෙළය නිර්මාණය කළේ මහා සම්මත රජුය. නොයෙකුත් ශාකවලින් ලබා ගන්නා කෙඳි වර්ග පිළිවෙළට තබා සකස් කොට ඉන් පිළියක් තැනීම තනි පුද්ගලයකුට කළ හැකි දෙයක් නොවේ. මෙය සාමූහික ප්‍රයත්නයක් වන බැවින් හා නොයෙකුත් ආකාරයේ යන්ත්‍ර සූත්‍ර උපකරණ අනිවාර්ය වූ හෙයින් ඒ යුගයේ පටන්ම මෙය කර්මාන්තයක් විය. විජය ලංකාවට පැමිණෙන විට හෙළ රාජිනියක් වූ කුවේණිය රෙදිපිළි කර්මාන්තයට අවශ්‍ය කපු නූල් තනමින් සිටිය බව මහාවංශයේ සඳහන්ය. භාරතයේ කසී රට හා තම්බපණ්ණිය හෙවත් නූතන ශ්‍රී ලංකාව ලෝකයේ ඉස්තරම්ම රෙදිපිළි නිපදවන්නන් බවට අතීතයේ පටන් නම් දරා පැවැතියේ ය. එනම් ඒ යුගයේ සිටම අපනයන ඇඟලුම් කර්මාන්තය ශ්‍රී ලාංකිකයන්ට හුරුය. එවන් දිගු ඉතිහාසයකට උරුමකම් කියන ඇඟලුම් කර්මාන්තය අප රටෙන් බැහැරව යාවිද?

● ඇඟලුම් සලාක ක්‍රමය (Quota System)

වර්තමානයේ ඇඟලුම් කර්මාන්තයේ ශීඝ්‍ර වර්ධනයක් ඇති වූයේ ජේ. ආර්. ජයවර්ධන මහතාගේ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය යටතේ බිහිවූ නිදහස් වෙළෙඳ කලාප තුළය. ඇමෙරිකා එක්සත් ජනපදය සහ යුරෝපා රටවල් තමන්ගේ ඇඟලුම් අවශ්‍යතාවය නිෂ්පාදනය කරවා ගැනීමට හා ඇඟලුම් නිපදවන දිළිඳු රටවල්වලට සහනයක් ලබාගත හැකිවන පරිදි “කෝටා” (සලාක) ක්‍රමයක් හඳුන්වා දුන්නේය. ඇමෙරිකාවෙන් දුන් මෙම සලාකවලින් 4% ක් ශ්‍රී ලංකාවටද ලැබුණි. වැඩිම ප්‍රමාණයක් ලැබුණේ චීනයටය. එය 55%කි. ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇඟලුම් අවශ්‍යතාවය පියවීමට අප නිෂ්පාදනය කරන මෙම 4% කොටසත් අත්‍යවශය හෙයින් ලෝකයේ අනෙකුත් රටවල් සමඟ අපට තරගයක් තිබුණේ නැත. රටට ලැබුණු මෙම සලාකය එක් එක් කර්මාන්ත ශාලා වෙත බෙදා දීම ඇඟලුම් සලාක මණ්ඩලය මගින් සිදුකරන ලදී. දූෂණ, අක්‍රමිකතා, දේශපාලන අතපෙවීම් හේතුවෙන් එය සාධාරණව සිදුවූයේ නැත. ඇඟලුම් කර්මාන්තශාලා කිසිත් නැති දේශපාලන හිතවතුන්ට පවා සලාක ලැබුණ අතර කර්මාන්ත ශාලා හිමියන්ට ඔවුන් ඒවා විකුණා යහමින් මුදල් උපයා ගත්හ. එම සලාක කිසිවකුට පලක් නොවී අපතේ ගිය අවස්ථා නිතර අසන්නට ලැබිණ.

ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා ඇඟලුම් කර්මාන්තය ප්‍රාදේශීයකරණයෙන් රටේ විවිධ ප්‍රදේශවල කර්මාන්ත ශාලා සියයකට වැඩි ප්‍රමාණයක් ස්ථාපනය විය. මේ හැම කර්මාන්ත ශාලාවකටම එතුමාගේ නියමයෙන් නිසි පරිදි සලාක ලබා දීමෙන් රටට ලැබී තිබූ සලාකයෙන් වැඩි ප්‍රමාණයක් අපතේ නොයවා රැක ගැනීමට හැකි විය.

● ලෝකයේ ඉස්තරම්ම Made In Sri Lanka ඇඟලුම්

ඉහළ සාක්ෂරතාවයකින් යුත් ශ්‍රී ලාංකික ඇඟලුම් සේවක සේවිකාවන් ඇඟලුම් නිෂ්පාදනයේදී අදාළවන තාක්ෂණික ක්‍රමවේදයන් ක්ෂණිකව වටහා ගැනීම හා ඊට අනුගතව ක්‍රියා කිරීම අප නිෂ්පාදන ලෝකයේ ඉහළින් තැබීමට හේතු විය. අනෙක් රටවල් සමඟ තරග කිරීමට උසස් තත්ත්වයේ ඇඟලුම් නිෂ්පාදනයට ඇති හැකියාව ශ්‍රී ලංකාවට ආශීර්වාදයකි. කලට වෙලාවට වැඩ කිරීම අතිනුත් ලංකාවේ ඇඟලුම් කර්මාන්ත ශාලාවලට ඇත්තේ ප්‍රමුඛ ස්ථානයකි. ඇඟලුම් ඇණවුමක් කලට වෙලාවට නිම කිරීම සඳහා ඉරිදා පෝයදා, තමන්ට හිමි නිවාඩු පවා නොගෙන සමහර දිනවල රෑ බෝ වනතුරු සේවය කරන සේවක මහත්ම මහත්මීන් අපි දැක ඇත්තෙමු. ජාත්‍යන්තර උපදෙස් පිළිපැදීම ගැන ද ශ්‍රී ලංකාව පෙරමුණේ සිටින්නේ ඉහළ සාක්ෂරතාවය නිසාය. මේ හේතු නිසා තමන්ගේ ඇඟලුම් ව්‍යාපාරය රැක ගැනීම පවත්වාගෙන යෑම එතරම් අසීරු කටයුත්තක් වුණේ නැත. එහෙත් බොහොමයක් අනෙකුත් ආසියානු රටවල් හා චීනය සමග සංසන්දනය කර බැලීමේදී අප මුහුණ දෙන බරපතළ ගැටලුවක් වී ඇත්තේ රට තුළ ඇඟලුම් නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය මෙහිම නිෂ්පාදනය නොවීමයි. අලුත් ඇණවුමක් ආරම්භ කිරීමට පෙර එයට යොදන අමුද්‍රව්‍යයන් ගැනුම්කරුවන්ගේ අනුමැතියට ඉදිරිපත් කළ යුතුය. ඒවා අනුමත නොවුණහොත් යළි යළි වෙනස්කම් කොට අනුමත කරවාගත යුතුය. මෙහි නිෂ්පාදනය නොකරන අමුද්‍රව්‍යය පිටරටින් ගෙන්වා ගැනීමට අමතර කාලයක් ගත වීම අමුද්‍රව්‍ය ඇති ඇඟලුම් නිෂ්පාදනය කරන රටකට වඩා අපට ඇති අවාසියකි. සියලුම අමුද්‍රව්‍ය අප රට තුළ නිපදවීමට අපට හැකියාව තිබියදී එසේ නොකිරීම කනගාටුවට කරුණකි. බටහිර රටවල සෘතුවෙන් සෘතුවට ඔවුන්ගේ කාලගුණය ශීතල හා උෂ්ණත්වය වෙනස් වන නිසා නියමිත වේලාවට නොලැබෙන ඇඳුම් පැළඳුම්වලට එම රටවල වෙළෙඳපොළක් ඇත්තේ නැත. ඊළඟ වසරේ එම වෙළෙඳපොළට කලින් වසරේ ඇඳුම් නොගැළපෙන්නේ ඔවුන්ගේ මෝස්තර ද වසරින් වසර වෙනස්කම්වලට භාජනය වන හෙයිනි. කෝටා ක්‍රමය අහෝසි වීමෙන් පසුව අපනයනයෙන් වැඩි කොටසක් චීනය වෙත ගලා ගියේ ඉඳිකටුවේ සිට සියලුම වර්ගයේ මහන යන්ත්‍ර දක්වාත්, අවශ්‍ය අමුද්‍රව්‍ය, බොත්තමේ සිට ඕනෑම රෙදි වර්ගයක් දක්වාත් පහසුවෙන් හා ගැණුම්කරුවන්ට අවශ්‍ය පරිදි ලබා ගැනීමට නිෂ්පාදකයාට ඇති හැකියාව නිසාය. මේ හේතුවෙන් දිළිඳු රටවල ඇඟලුම් කර්මාන්තය අනතුරේ වැටෙනු දුටු ඇමෙරිකා එක්සත් ජනපදය හා යුරෝපා රටවල් GSP + නමින් ක්‍රමවේදයක් (Generalised Scheme of Preferences Plus) හඳුන්වා දුන්නේය.

● GSP+ (Generalised Scheme of Preferences) ක්‍රමවේදය හඳුන්වා දීම.

ඇමෙරිකාව හා යුරෝපීය රටවල් තම රටට භාණ්ඩ ආනයනය කිරීමේදී ආනයන බද්දක් පනවා ඇත. ජීඑස්පී + සහනය යනු තෝරාගත් රටවල් කීපයක් සඳහා මෙම ආනයන බද්දෙන් යම්කිසි ප්‍රමාණයක් නිදහස් කිරීමයි. ලංකාවට ද මේ සහනය ලැබිණි. එවිට එම රටවල්වල ගැනුම්කරුවකු අප රටෙන් ඇඟලුම් ලබාගන්නා විට ඔහුට බදු සහනයක් ලැබේ. එවිට එම රටවල්වල ගැනුම්කරුවන් ජී එස් පී සහනය ඇති ලංකාව වැනි රටකින් ඔහුගේ රටට ආනයනය කරන විට වෙනත් රටකින් ගන්නවාට වඩා ලාභදායී විය. මේ හේතුව නිසා ජී එස් පී + සහනය ඇති රටවල් වෙත ගැනුම්කරුවන් යෑමට වඩාත් උනන්දු විය. අවුරුදු හතළිහකට එපිට හා වර්තමානය සංසන්දනය කිරීමේදී පෙනෙන ලොකුම ගැටලුව 1982 වසර වන විට ඩොලරයක අගය වූයේ රුපියල් විසි පහකි. අද වන විට එය රුපියල් 364 ක් දක්වා ඉහළ ගොස් ඇත. ආසන්න වශයෙන් 14 ගුණයක වැඩි වීමකි. එදා ඩොලරයක් ගෙවූ ඇඟලුමකට අදද ගෙවන්නේත් ඩොලර් එකක් හෝ ආසන්න මුදලකි. හේතුව බොහෝ විට බටහිර රටවල්වල භාණ්ඩ මිලෙහි වැඩි වෙනසක් ඇති නොවන නිසාය. රුපියල් වලින් ගත්කළ 1982 දී මෙන් 14 ගුණයක් කර්මාන්තකරුවාගේ ආදායම ඉහළ ගොස් ඇත. 1982 දී මහන යන්ත්‍ර ක්‍රියාකරවන්නියකට ගෙව්වේ රුපියල් තුන්සීයක වැටුපකි. අද වන විට එය රුපියල් හතළිස්දාහක් පමණ වේ. එනම් ආසන්න වශයෙන් 133 ගුණයක වැඩි වීමකි. මෙම වැටුපට ගැළපෙන සේම ආයතනයක අනෙකුත් සියලු වියදම් ද ඉහළ ගොස් ඇත. එලෙස බැලූ කළ ඇඟලුම් ක්ෂේත්‍රයේ ආදායම 14 ගුණයකින් ඉහළ යද්දී වියදම 133 ගුණයකින් ඉහළ ගොසිනි. ඇඟලුම් කර්මාන්තය පවත්වාගෙන යෑමට අද කෙතරම් සකසුරුවම් විය යුතු දැයි මින් වටහාගත හැක.

ඇඟලුම් කර්මාන්තය වැනි කර්මාන්ත තුන්වැනි ලෝකයේ රටවල්වලට ලැබෙන්නේ ඒවා ශ්‍රමය මූලික කොටගෙන ක්‍රියාත්මක වන හෙයිනි. අනෙකුත් කර්මාන්තමෙන් අඩු ශ්‍රමයක් යොදාගෙන නිෂ්පාදන කටයුතු කිරීමට ඇඟලුම් කර්මාන්තයකට නොහැක. එබැවින් මෙම කර්මාන්තය ගැළපෙන්නේ ඉතාමත් අඩු මුදලට ශ්‍රමය ලබාගත හැකි රටවල්වලට පමණි. බොහෝදුරට ලංකාවේ තිබුණු කර්මාන්ත බංගලාදේශයටත් ඉන්පසු වියට්නාමයට හා ඉතියෝපියාව වැනි ඉතාමත්ම අඩු ගෙවීම් සහිත රටවල් වලටත් සංක්‍රමණය වේ. එහෙත් එම රටවල් වල කාර්යක්ෂමතාවය බැලූ කල ලංකාවේ ඇගලුම් කර්මාන්තය පවත්වාගෙන යෑම තවමත් සාධනීය බව පෙනේ. ලංකාවේ වැටුප් ඉහළ නැඟීමට හේතුව රට දියුණු වීම නොව දිගින් දිගටම ගත් විදේශ ණය වලින් රටේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා පිරිමැසීම ය. කිසියම් ව්‍යාපෘතියක් සඳහා ගත් විදේශ ණය මුදල්ද අවසානයේ වැයවී ඇත්තේ මහජනතාවගේ පාරිභෝජනය වෙනුවෙනි. දිගින් දිගටම ණය ගැනීම නිසා මහජනයාගේ අතේ මුදල් ගැවසුණද රුපියලේ අගය පහළ වැටීමෙන් මහජනයාට සෙතක් සැලසුනේ නැත. ඇඟලුම් කර්මාන්තය වැනි ශ්‍රම මූලික කර්මාන්තයක් ඔස්ටේ්‍රලියාව වැනි රටක ආරම්භ කළේ නම් එහි ශ්‍රමිකයකුට පැයකට ඕස්ටේ්‍රලියානු ඩොලර් 20 ක් ගෙවිය යුතු වේ. එනම් ශ්‍රී ලංකා රුපියල් 5000 කි. පැය 8 ක් සහිත දින 25 ක මාසයක් සඳහා රු 1,000,000/ ක් ගෙවිය යුතුවේ. එබැවින් එවැනි රටවල කිසිසේත් ඇඟලුම් කර්මාන්තයක් පටන් ගන්නේ නැත.

● වර්තමානයේ ක්ෂේත්‍රයේ ඇති බලපතළම අර්බුද

මේ වනවිට රට විශාල ආර්ථික අර්බුධයකට තල්ලු වෙමින් පවතී. රටේ දේශපාලන ස්ථාවරත්වයක්ද නැත. සාමය කඩවීමේ සිද්ධීන් බහුලව වාර්තාවේ. මේ සියලු කරුණු විදේශීය ඇඟලුම් ගැනුම්කරුවකු අප රටට ඇණවුමක් ලබා නොදීමටත් ඔහුගේ අවශ්‍යතා වෙනත් රටකින් කරවා ගැනීමටත් පොළඹවන හේතු වේ. පැය තුනක පමණ දෛනික විදුලි බල කප්පාදුව විදුලි ජනක යන්ත්‍ර නොමැති කුඩා කර්මාන්තකරුවාගේ නිෂ්පාදනය 30% කට වඩා වැඩි ප්‍රමාණයකින් පහත හෙළා ඇත. මේ හේතුවෙන් එම කර්මාන්ත ශාලා ක්‍රමයෙන් වැසී යමින් පවතී. ඔවුනට අවශ්‍ය විදුලි ජනක යන්ත්‍ර මිලදී ගැනීමට වෙළෙඳපොළේ නැත. ඒවා තිබුණත් ඊට අවශ්‍ය ඉන්ධන ලබාගැනීම ඊටත් වඩා අපහසුය. ඉන්ධන පිළිබඳ නීති රීති දිනපතා වෙනස් වේ. අද බැරල් හා කෑන්වලට ලබා ගතහැකි ඉන්ධන හෙට තහනම්ය. සමහර විට එසේ ඉන්ධන ලබා ගැනීමට දින ගණන් පෝළිමේ සිට පිරවුම්හල වෙත ළඟා වනවිට නීතිය වෙනස්වී ඇත. මහා පරිමාණ කර්මාන්තකරුවාගේ තත්ත්වය මීටත් වඩා ශෝචනීය වී ඇත. ඩොලරයේ වටිනාකම ඉහළ යෑම අපනයන කර්මාන්ත හිමියා දිරිගන්වන සුළු යැයි අයෙක් තර්ක කළද ඒ හා සමානව හෝ ඊටත් වැඩියෙන් ඔවුන්ගේ දේශීය වියදම් ඉහළ ගොස් ඇත. සේවක සේවිකාවන් තම වැඩපළට ගෙන්වා ගැනීමට ප්‍රවාහන පහසුකම් සැපයීමට අවශ්‍ය ඉන්ධන සපයාගැනීමේ අපහසුතාවයද පාරේ තැනින් තැන ඇති උද්ඝෝෂණ නිසා ඇතිවන්නා වූ ප්‍රමාද ද අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීමේදී හා නිමි ඇඳුම් ප්‍රවාහනයේදී ඇතිවන්නා වූ ප්‍රමාදද කර්මාන්තකරුවා හෙම්බත්කොට ඇත. මේ හේතූන් නිසා මහා පරිමාණ කර්මාන්තකරුවන් තම යන්ත්‍රසූත්‍ර ද රැගෙන හෝ එසේ නොමැතිව වෙනත් රටවල් කරා යෑමට පටන්ගෙන ඇත.

● දේශීය වෙළෙඳපොළ සඳහා නිමි ඇඳුම් සපයන කර්මාන්තකරුවා ද අමාරුවේ!

දේශීය වෙළෙඳපොළට ඇඟලුම් සපයන බොහෝ දෙනෙක් ඉතා කුඩා කර්මාන්ත ශාලා හිමි අය වෙති. තම නිවසේ මහන යන්ත්‍ර දෙක තුනක් යොදාගෙන පවුලේ අය එකතුව කරන කුඩාම ඒකක ද තිබේ. මීට වසර ගණනකට එපිට මේවාට හොඳ ඉල්ලුමක් ද පැවතිණ. පසුගිය පාස්කු ප්‍රහාරය, කොවිඩ් වසංගතය නිසා දේශීය පාරිභෝගිකයා මිලදී ගැනීම අඩුවීමේ හේතුවෙන් මෙම කර්මාන්තකරුවන්ගේ ආදායම ශීඝ්‍ර ලෙස පහත වැටිණ. වර්තමානයේ ගෑස් සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල දෙගුණයකටත් වඩා ඉහළ යෑමෙන් මහජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව විශාල ලෙස පහළ බැස ඇත. දේශීය වෙළෙඳපොළ සඳහා ඇඟලුම් නිෂ්පාදකයාගේ යන්ත්‍ර සූත්‍රද ඔවුන් ඉතා අඩුමිලට විකුණා දමමින් සිටී. දේශීය හා අපනයන කර්මාන්තකරුවන් දෙකොට්ඨාසයටම පොදුවේ බලපාන අහිතකර කරුණු අතර අමුද්‍රව්‍ය ආනයනය කිරීමේ බාධාවන් ප්‍රමුඛස්ථානය ගනී. ලංකාවේ සියලුම වර්ගයේ අපනයන පහත වැටී ඇති නිසා ලංකාවට පැමිණෙන බොහොමයක් නැව්, භාණ්ඩ ගොඩබෑමෙන් අනතුරුව ලංකාවෙන් රැගෙන යන්නේ ඉතා අල්ප භාණ්ඩ ප්‍රමාණයකි. මේ හේතුවෙන් මෙහි පැමිණීමට නැව් සමාගම් අකමැත්ත පළකරන අතර මෙහි ගොඩබෑමට රැගෙන එන භාණ්ඩවලටද වෙනදා මෙන් තුන්ගුණයක් පමණ ගාස්තු ගෙවීමට සිදුව ඇත. පැමිණෙන නැව් සංඛ්‍යාවද බෙහෙවින් අඩුවී තිබේ. ලංකාවෙන් ගෙනයෑමට භාණ්ඩ නොමැතිවීමේ හේතුවෙන් කොළඹ වරායේ ගොඩ බෑ යුතු භාණ්ඩ සිංගප්පූරුවේ හෝ ඉන්දියාවේ වරායක දමා ගිය අවස්ථාද වාර්තාවේ. එය කලට වෙලාවට භාණ්ඩ අපනයනය කිරීමට අපහසු කරවන අතර ආනයනික වියදමද බෙහෙවින් ඉහළ යෑමට හේතුවී ඇත. අපනයන කර්මාන්තකරුවා මේ අමතර වියදම් තමාම දරාගතයුතු අතර දේශීය කර්මාන්තකරුවා එය පාරිභෝගියා දෙසට යොමුකොට ඇඟලුම් සඳහා ඇති ඉල්ලුම තවත් පහළට බස්සවාගෙන ඇත.

● ඇඟලුම් කර්මාන්ත හිමියා රැක ගැනීම

බංගලාදේශය, වියට්නාමය වැනි රටවල් ඇඟලුම් කර්මාන්තයට අවශ්‍ය සියලුම අමුද්‍රව්‍ය තම රට තුළම නිපදවාගෙන මෙම කර්මාන්තයේ ඉදිරියටම ගොස් ඇත. ඔවුන් ඇඟලුම් කර්මාන්තය පටන්ගත්තේ ලංකාවට වඩා පසුකාලීනව වන අතර ඔවුන්ට අවශ්‍ය සියලු ගුරුහරුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලාංකික කළමනාකරුවන් ඉතා ඉහළ වැටුප් හා ඉහළ පහසුකම් ලබා දී තම රටට ගෙන්වා ගත්හ. ඔවුන්ට ඉදිරියට යෑමට හැකිවූයේ කොමිස් ගැනම නොසිතා ක්‍රියා කරන රටට ඇල්මක් ඇති දේශපාලන මණ්ඩලයක් රට තුළ පැවතීම හේතුවෙනි. මෙම කරුණු ගැන වහා ක්‍රියාත්මක නොවුනහොත් රටට ඩොලර් ගෙන එන විශාලතම ප්‍රභවයක් විනාශ වීමෙන් රටේ විසඳිය නොහැකි මට්ටමට ඩොලර් අර්බුධය වැඩිවනු ඇත.

රැකියා අහිමිවූ විශාල ජනකායක් අරගල භූමිවලට එක්රොක් වනු ඇත. අවුරුදු විසිහය දහසක් පැරණි අප රටේ ඇඟලුම් කර්මාන්තය අතුගා දැමීමේ සම්මානය වර්තමාන රජය ඇතුළු මැති ඇමැතිවරු ලබා ගනීවිද?

චිත්‍රාන් මොරකන්දෙ ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment