පොලිසිය – එස් ටී එෆ් පාතාල මර්දන මෙහෙයුම් අරඹයි

319

බස්නාහිරට – දකුණට විශේෂ යතුරුපැදි ඒකක සහ අධිඋපක්‍රම ඒකක

ශීඝ්‍රයෙන් වැඩිවන පාතාල ක්‍රියාකාරකම් මර්දනය කිරීම සඳහා පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය මෙහෙයුම් ආරම්භ කර තිබේ.

පාතාල ලෝකයේ කුලී මිනීමරුවකු පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් ඇඹිලිපිටිය වැලිකඩයාය ප්‍රදේශයේ දී එල්ල කළ ප්‍රහාරයකින් මරුමුවට පත්වන්නේ මෙම පාතාල මර්දන මෙහෙයුම්වල ප්‍රතිඵලයක් ලෙසය.

මේ අතර පාතාල ක්‍රියාකාරකම් විශාල වශයෙන් ඉහළ ගොස් ඇති දකුණු සහ බස්නාහිර පළාත්වල ආරක්‍ෂාව සහ මෙහෙයුම් සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ ඒකක කීපයක් අනුයුක්ත කිරීමට කටයුතු කර ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරීන් නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතා කියා සිටියේ දකුණේ සහ බස්නාහිර පළාත්වල පාතාල මර්දනය සඳහා විශේෂ යතුරුපැදි ඒකක සහ විශේෂ අධි උපක්‍රම ඒකක කීපයක් පිහිටුවූ බවයි.

පාතාල සන්නද්ධ කණ්ඩායම්වල ක්‍රියාකාරීත්වය මර්දනය කිරීමේ මෙහෙයුම් දිවා රාත්‍රි සිදුකරන අතර ඉදිරි දින කීපය තුළ ඔවුන් සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට කටයුතු කරන බවද ජයසුන්දර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මේ අතර පොලිසිය භාර ඇමැති ටිරාන් අලස් මහතාද පසුගියදා කියා සිටියේ මෙම පාතාල කල්ලි මර්දනය කිරීමට දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

පාතාල කල්ලි මර්දනය කිරීමේ මෙහෙයුම් පසුගිය කාලයේ සම්පූර්ණයෙන්ම බිඳවැටී තිබූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස දකුණු සහ බස්නාහිර පළාත්වල පාතාල ක්‍රියාකාරකම් ශීඝ්‍රලෙස වර්ධනය විය.

පසුගිය මාස කීපයේදී දකුණු සහ බස්නාහිර පළාත් දෙකේ පමණක් පාතාල ප්‍රහාරවලින් පුද්ගලයන් 50 කට ආසන්න පිරිසක් ඝාතනයට ලක්වී තිබිණි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන දේශබන්දු තෙන්නකෝන්, සජීව මැදවත්ත යන මහත්වරුන්ගේ සහ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment