සාන්ත බස්තියම සිට දශක හතරක පත්තර මතක

238

කොත්මලේ සිරිසේන

කොත්මලේ සිරිසේන මෙරට පාඨකයන්ට අලුතෙන් හඳුන්වා දිය යුතු චරිතයක් නොවේ. පුවත්පත් කලාවේදියකු ලෙස දිගු ඉතිහාසයකට උරුම කියන ඔහු කවියකු ද කෙටිකතාකරුවකු ද පර්යේෂකයකු ද වෙයි. ඔහුගේ වෘත්තීය ජීවිතය කලාව හා බැඳුනකි. පුවත්පත් ලේඛනයේ යෙදී සිටිය ද ඔහු මහත් අභිරුචියෙන් බැඳී සිටියේ කලාව හා නිර්මාණ ජීවිතය සමඟය. පුවත්පත ද ඔහු භාවිතා කළේ කලාව පිළිබඳ නොතිත් ආශාව සමනය කර ගැනුමේ මාධ්‍යයක් ලෙසයි. වසර හතළිහකට වැඩි කාලයකට උරුම කියන වෘත්තීය අත්දැකීම් ඔහු සන්ත බස්තියම සිට ග‍්‍රන්ථයට ගොනු කරයි. (සන්ත බස්තියම යනු දවස කාර්යාලය තිබූ ස්ථානය හෙයින් එය මෙම කෘතියට අන්වර්ථ නාමයක් ද වෙයි.) මෙම ග‍්‍රන්ථය හුදෙක් කොත්මලේ සිරිසේනගේ සමරු සටහනක් නොවේ. අතීත සිදුවීම් එකිනෙක ගවේෂණය කරමින් ඒ හා බැඳුණු සමාජ දේශපාලන ගතිකයන් මැදහත් සිතින් විමසන ඇසූපිරූ තැන් බහුල ප‍්‍රාමාණිකයකු මේ අත්දැකීම් සම්භාරය තුළ සිටී. මෙම මතක ස්මෘතීන් මෙරට සමාජ ඉතිහාසයේ එක් හරස්කඩක් බවට පත්වන්නේ කොත්මලේ ඒ අරභයා පළ කරන දැක්ම නිසයි.

කොත්මලේ මුළුමහත් අධ්‍යාත්මයෙන් ම පත්තර කාරයෙකි. ඔහු අයත් වන්නේ පත්තරකාරයා වදන මහත් අභිමානයෙන් භාවිත වූ යුගයටයි. මේ අත්දැකීම් ඇරඹෙන්නේ ඔහුගේ පාසල් දිවියේ සිටයි. ප‍්‍රාථමික, ද්විතියික අධ්‍යාපනය ලබන සමයේ ඔහු කෙමෙන් කලා මාධ්‍යයන් වෙත යොමුවන ආකාරය ඉන් විවරණය වේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වුවද පත්තරකාරයකු වීමේ සිහිනය අතහැර දැමීම ඔහුට කළ හැක්කක් නොවීය. 1980 ජනවාරි පළමුවැනිදා ඔහු පුවත්පත්වේදයට අතපොත තබන්නේ විශ්වවිද්‍යාල ජීවිතයට සදාකාලික අවසානයක් ලබාදෙමින් නොවේ. කුමන වෘත්තියක හෝ ඵලදායීබව රැඳී පවතින්නේ අධ්‍යාපනය මත බව ඔහු අමතක නොකළ බව පෙනේ. 1993 දී තාවකාලිකව පුවත්පත්වේදයට සමුදී ගුරු වෘත්තියට එළඹුණ ද ඒ ජීවිතය ඔහු ගත කළේ දියෙන් ගොඩදැමූ මසෙකු ලෙස බව ඔහුගේ සටහන්වලින් පැහැදිලි වේ. 2000 දී ඔහු නැවත තම තිඹිරිගෙයට – පුවත්පත්වේදයට එකතුවෙයි.

පුවත්පත් මාධ්‍යයේ ලයිනෝ, පරිගණක, අංකිත, යුග තුනම සියැසින් දුටු ඒ පිළිබඳ පෘථුල අත්දැකීම් ඇති කොත්මලේ ගේ සමරු සටහන් ඒ ඉතිහාසය පිළිබඳ අපූරු කියැවීමක් ද වෙයි. ඔහු පළමුවෙන් මේ අවදිය තුළ සිදු වූ සමාජ ආර්ථික සංසිද්ධීන් පිළිබඳව තම අත්දැකීම් විවරණය කරයි. මේ මෙරට සමාජ දේශපාලන ආර්ථික ඉතිහාසයේ තීරණාත්මක වූත්, සංකීර්ණ වූත් විපරිවර්තන සිදු වූ අවධියකි. දේශපාලන භූමියේ සිදුවීම් පමණට ම ඒවාහි සමාජ බලපෑම් ද කොත්මලේට විෂය වේ. ඒ හා සමඟ සමාජ දේශපාලන ආර්ථික දේහයේ සිදුවන ගතිකයන් පිළිබඳ ඔහුගේ මතකයන් අපට වැදගත් වන්නේ ඔහු ඒ සංසිද්ධීන් සමඟ සෘජුව සබඳකම් පවත්වන නිසාය. පුවත්පත් මාධ්‍යවේදියකු ලෙස ඔහු මේ බොහෝ සංසිද්ධීන්ට පුද්ගලිකවම සම්බන්ධ වූවේය. ඒවා නිසා ඇති වූ කලබැගෑනිවලින් පීඩා වින්දේය. 80 දශකයේ සිදුවන උතුරේ කැරලිකාරී තත්ත්වයන් ද දකුණේ භීෂණය ද ඔහු විමසන්නේ සත්‍ය තොරතුරු ළඟ තබා ගනිමිනි. මේ සිදුවීම් ජන දේහයට – ජන අධ්‍යාත්මයට කළ බලපෑම් හා හානිය ද ඔහුගේ විමසුම් නෙතට හසුවෙයි. එහිදී ජනතා හැසිරීම ද සටහන් කිරීමට ඔහු අමතක නොකරයි. ඔහු දේශපාලන ලියුම්කරුවකු නොවුව ද මේ සංසිද්ධීන් දෙස ආපසු හැරී බලන්නේ කිසියම් දේශපාලන දැක්මක් ද සහිතවයි. දේශපාලන ක‍්‍රියාකාරකම් සමඟ ඔහු ගේ සම්බන්ධතා ගොඩනැෙඟන්නේ දේශපාලනඥයන් සමඟ කළ සම්මුඛ සාකච්ඡාවන් සමගිනි.

සාන්ත බස්තියම සිට දශක හතරක පත්තර මතක

සන්ත බස්තියම සිට හුදෙක් එක් වෘත්තිකයකුගේ අත්දැකීම් ඉක්මවා යන සමාජ දේශපාලන විග‍්‍රහයක් ලෙස අප දකිනුයේ මේ හැඩ නිසා ය. කොත්මලේ කිසිවිටෙක දේශපාලන සත්ත්වයකු වූයේ නැත. ඒ නිසාම ඔහුට බොහෝ තැන්පත්ව මැදහත්ව මේ විග‍්‍රහය කිරීමේ හැකියාව ලැබුණු බව සිතමි. මේ මතකාවර්ජනය අපට වැදගත් වන්නේ එහෙයිනි. එමගින් අපට යුගයක් හඳුනාගත හැකිය. ඒ යුගයේ දෘෂ්‍යමාන මෙන්ම යටිපෙළ ද අපට ස්පර්ශ කළ හැකිය. අප ප‍්‍රාමාණිකයකු ගේ මතක සටහන්වලින් අපේක්‍ෂා කරන්නේ ද එබඳු විවරණයකි. ඔහු මේ ග‍්‍රන්ථයේදී තමා හා බැඳුණු සහෘදයන් බොහෝදෙනකු අප ඉදිරියට ගෙන එයි. ඔවුන් හා පැවැත්වූ මිත‍්‍ර සන්ථව ද නොසඟවා හෙළි කරයි. එහෙත් ඒ කිසිවක් හුදු පුද්ගලික සම්බන්ධතා පමණක් බවට පත්කිරීමට ඔහු යත්න නොදරයි. ඒ චරිත ද ඔහු මෙන්ම දේශපාලනය, කලාව හා සමඟ බැඳුණු චරිත හෙයින් එම සබඳතා ද ඉතිහාසයේ විවිධ පැතිකඩ අනාවරණය කරන්නක් බවට පත්වේ.

ඒ අප කොත්මලේ ලේඛකයා හඳුනාගන්නේ ඔහුගේ අරුත්බර, නිර්මාණාත්මක බස ඇසුරෙ නිසාය. කෙත්මලේගේ මුද්‍රාව රැඳී පැවතියේ පුවත්පත තුළ ඔහු භාවිත කළ නිවැරදි සිංහලයේ ය. අවසන් සෝදුපත් විමසුම ඔහු වෙතින් ගිලිහී යන්නට ඇතැයි අනුමාන කරනුයේ එහෙයිනි.

කෙසේ වෙතත් මේ දුර්වලතාව ග‍්‍රන්ථයේ ඇතුළත් සාරගර්භ විග‍්‍රහයන් මරා නොදැමීමට හේතුවීම භාග්‍යයකි. එහෙයින් සන්ත බස්තියම සිට විපරිවර්තනීය යුගයක දේශපාලන, ආර්ථික, කලා සංගෘහිත සමාජ දේහයේ හැසිරීම පිළිබඳ අපූරු මතක සටහන් කියැවීමක් බවට පත්වන්නේය. ඒ තුළ අපි කොත්මලේ නම් සමාජ සවිඥනකත්වයෙන් යුත් පත්තරකාරයා දකිමු. සංවේදී හදවතකින් යුත් කවියා – කලාකරුවා දකිමු. සියල්ලටම වඩා අප‍්‍රතිහත ධෛර්යයකින් ඉලක්ක හඹා යන ස්ථිරසාර පුද්ගලයකු දකිමු. මතකාවර්ජනයකින් ඉටුවිය යුත්තේ ද එයයි.

ගාමිණී වේරගම

advertistmentadvertistment
advertistmentadvertistment