රංගන වින්‍යාසයේ හිරාන් මානය

169

ලන්ඩනයේ වෘත්තීය රංග කලාවේ විශිෂ්ටත්වය අගැයීම වෙනුවෙන් පැවැත්වෙන ‘ලෝරන්ස් ඔලිවියර්’ සම්මාන උළෙල හෙවත්, ‘ඔලිවියර්’ සම්මාන උළෙල පසුගියදා ලන්ඩන් අගනුවර දී උත්සවාකාරයෙන් පැවැත්විණි.

නාට්‍ය, සංගීතය, නැටුම්, ඔපෙරා ඇතුළු කාණ්ඩ ගණනාවක් ආවරණය කරමින් ලන්ඩනය පදනම් කරගත් නිෂ්පාදන සහ අනෙකුත් ප්‍රමුඛ පෙළේ වාණිජ නොවන සිනමාහල්වලට සම්බන්ධ පුද්ගලයන්ට මෙම සම්මාන පිරිනැමේ. ඊට අමතරව එහි විනිසුරු මඬුල්ලේ අභිමතය පරිදි තරගකාරී නොවන අංශයක් සඳහා ද විශේෂ ‘ඔලිවියර්’ සම්මානයක් සෑම වසරකම පිරිනමනු ලැබේ.

චිත්‍රපට සහ රූපවාහිනිය සඳහා වන ‘බැෆ්ටා’ සම්මාන උළෙල සහ සංගීතය සඳහා වන ‘බි්‍රට්’ සම්මාන උළෙලට සමානව පැවැත්වෙන ‘ඔලිවියර්’ සම්මාන උළෙල ලන්ඩන් රංගන ක්ෂේත්‍රයේ ඉහළම ගෞරවාන්විත සම්මාන උළෙල ලෙස ජාත්‍යන්තරව පිළිගැනේ. එසේ ම මෙම ‘ඔලිවියර්’ සම්මාන උළෙල ඇමෙරිකාවේ බ්‍රෝඩ්වේ රඟහල වාර්ෂිකව පිරිනමන ‘ටෝනි’ සම්මාන ප්‍රදානයට සහ ප්‍රංශයේ ‘මොලියර්’ සම්මාන උළෙලට ද නොදෙවැනි ය.

මෙම සම්මාන උළෙල 1976 දී ලන්ඩන් රඟහල සංගමය විසින් ‘සොසයිටි ඔෆ් වෙස්ට් එන්ඩ් තියටර්’ සම්මාන උළෙල ලෙස ප්‍රථම වරට පවත්වන ලද අතර, එය නිර්මාණය කරන ලද්දේ චිත්‍ර ශිල්පී ටොම් මෙරිෆීල්ඩ් විසිනි. මෙහි පළමු සම්මාන උළෙල පැවැත්වූයේ 1976 දෙසැම්බර් මාසයේ දී ලන්ඩන් නුවර ‘රෝයල් කැෆේ’ හි දී ය.

1984 දී බ්‍රිතාන්‍ය නළු ලෝරන්ස් ඔලිවියර් මෙම සම්මාන උළෙල තමාට ගෞරවයක් ලෙස තමා ගේ නමින් නැවත නම් කිරීමට සිය කැමැත්ත ලබා දුන් අතර, ඉන්පසු එය ‘ලෝරන්ස් ඔලිවියර්’ සම්මාන උළෙල ලෙස ප්‍රසිද්ධයට පත්වී ය. පසුගිය අප්‍රේල් 10 දා පැවැති මෙවර ‘ඔලිවියර්’ සම්මාන උළෙළේ හොඳම නළුවාට හිමි සම්මානය ශ්‍රී ලංකීය රංගන ශිල්පියකු වන හිරාන් අබේසේකර වෙත පිරිනැමිණි. ඒ, මැක්ස් වෙබ්ස්ටර් නිෂ්පාදනය කළ Life of Pi වේදිකා නාට්‍යය සඳහා ඔහු දැක්වූ විශිෂ්ට රංග කුසලතාව වෙනුවෙනි. එම සම්මාන උළෙලේ ඔහු සමඟ එම සම්මානයට නිර්දේශ වූ අනෙකුත් රංගන ශිල්පීන් වූයේ, Constellations වේදිකා නාට්‍යයේ රඟපෑ ඔමාරි ඩග්ලස්, The Normal Heart වේදිකා නාට්‍යයේ රඟපෑ බෙන් ඩැනියෙල්, Best of Enemies වේදිකා නාට්‍යයේ රඟපෑ චාර්ල්ස් එඩ්වර්ඩ්ස් ය. ඔවුන් තිදෙනාම ඉංග්‍රීසි ජාතික රංගන ශිල්පීන් වීම මෙහි තවත් විශේෂත්වයකි.

එංගලන්තයයෙහි රාජකීය නාට්‍ය කලා ඇකඩමියෙහි (Royal Art & Drama Academy) උපාධිලාභියකු වන හිරාන් අබේසේකර කොළඹ නාලන්ද විද්‍යාලයේ ආදි සිසුවෙකි.

ශ්‍රී ලංකාවේ ‘ළමා හා යොවුන් රඟහල පදනම’ මගින් නාට්‍ය හා රංග කලාව පිළිබඳ ඩිප්ලෝමාවක් ලබා ඇති ඔහු 2007 වසරේ කොළඹ බි්‍රතාන්‍ය කවුන්සිලයේ නිෂ්පාදනය වූ Peter Shafferzs Equus වේදිකා නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපෑවේ ය. මේ හේතුවෙන් ඔහුට ‘එක්සත් රාජධානියේ නාට්‍ය පාසල’ට ඇතුළත්වීමට හැකි වූ අතර, ඉන් පසුව ඔහුට ලන්ඩනයේ පිහිටි ‘රාජකීය නාට්‍ය කලා ඇකඩමිය’ට ඇතුළත්වීමට හැකිවී ය. 2011 දී ඔහු එම නාට්‍ය කලා ඇකඩමියෙන් උපාධිය ලබාගත්තේ එවැන්නක් කළ දෙවැනි ශ්‍රී ලාංකිකයා බවට පත්වෙමිනි.

2011 දී ‘ඉංග්‍රීසි සංචාරක රඟහල’ සමඟින් තම වෘත්තීය වේදිකා නාට්‍ය දිවියට ඔහු පිවිසෙන්නේ Valere in Tartuffe වේදිකා නාට්‍යයේ රඟපාමිනි. එහි රඟපෑම වෙනුවෙන් ඔහු එම වසරේ හොඳම සම්භාව්‍ය වේදිකා රංගනයට හිමි ‘ඉයන් චාර්ල්සන් රඟහල සම්මානය’ සඳහා නිර්දේශ වී ය.

2015 දී ඔහු ලන්ඩන් වේදිකාවේ රංගගත වූ Peter Pan වේදිකා නාට්‍යයේ රඟපෑවේ ය. 2016 දී ඔහු ‘රාජකීය ෂේක්ස්පියර් රඟහල’ට සම්බන්ධ වූ අතර, එහි දී චරිත ගණනාවකට රංගනයෙන් දායකත්වය ලබාදෙන්නට ඔහුට හැකි වීය.

ඔහු රඟපෑ Puck in A Midsummer Nightzs Dream වේදිකා නාට්‍යය රූපවාහිනි චිත්‍රපටයක් සඳහා අනුවර්තනය කරන ලද අතර, එය BBC රූපවාහිනිය සේවය ඔස්සේ විකාශය වී ය. තව ද, ‘රාජකීය ෂේක්ස්පියර් රඟහල’ නිෂ්පාදනය කළ වේදිකා නාට්‍ය වන Cymbeline හි පොස්තමියුස් ලෙසත්, Hamlet නාට්‍යයේ හොරාෂියෝ ලෙසත් ඔහු චරිත නිරූපනය කළේ ය.

2011 සිට මේ දක්වා වේදිකා නාට්‍ය 08 කට රංගනයෙන් දායක වී ඇති හිරාන් අබේසේකර 2018 දී සුප්‍රකට Hulu රූපවාහිනි කතා මාලාවේ Find Me in Paris හි පෙනී සිටීමට පටන් ගත් අතර, 2019 දක්වා එහි ‘ඩෑෂ් කෑන්’ගේ චරිතය නිරූපණය කළේ ය. ඔහු 2019 වසරේ ලොලිටා චක්‍රබාර්ති විසින් අනුවර්තනය කරන ලද Life of Pi නාට්‍යයේ මංගල දර්ශනයේ පයි පටෙල් ලෙස රඟපෑ අතර, ඒ සඳහා ඔහු ‘එක්සත් රාජධානියේ රඟහල’ සම්මානය දිනා ගත්තේ ය. 2021 දී එම නාට්‍යය ‘වෙස්ට් එන්ඩ්’ රඟහල වෙත මාරු වූ විට ඔහු නැවත එම චරිතයට පිවිසි අතර, එහි දී ඔහු දැක්වූ විශිෂ්ට රංගන දායකත්වය වෙනුවෙන් මෙවර හොඳම නළුවාට හිමි ‘ඔලිවියර් සම්මානය’ දිනා ගැනීමට ඔහුට හැකි වී ය.

මීට අමතරව, Lion in the Tent කෙටි චිත්‍රපටයටත්, Midsummer Nightzs Dream රූපවාහිනි සිනමාපටයටත්, Supervized සිනමාපටයටත් ඔහු රංගනයෙන් දායක වී තිබේ. ශ්‍රී ලාංකීය රංගන ශිල්පියකු ලෙස 2022 ‘ඔලිවියර්‘ සම්මානය දිනාගනිමින් ඔහු අප රටට අත්කර දුන් කීර්තිය නාට්‍යලෝලීන් වන අප බෙහෙවින් අගය කර සිටිමු.

අනුර බී. සෙනෙවිරත්න

advertistmentadvertistment
advertistmentadvertistment