රට ගියේ ගෙදරක් හදාගන්න සල්ලි හොයන්න

දරුවෝ අම්මා නැතිව හඬා වැටෙනවා

දරුවෝ තුන්දෙනා හදාගන්න මම බාල්දි හදනවා

බොහෝවිට අපට ඉතිරි වන්නේ වේදනාවේ මතකයන් පමණි. කතාවේ හැටියට මේ මතකය වේදනාවක් වුවත් තමන්ගේ පවුල රැක ගැනීමේ අරමුණින් ඉටුකළ මහඟු කාර්යයක් සේ මේ වේදනාව දැකිය හැකිය.

විදෙස්ගතව රෝගීව සිටින බිරිඳ ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීමට තමන්ගේ වකුගඩුවක් රුපියල් ලක්ෂ පහළොවකට විකිණීම සඳහා සූදානම්ව සිටින ඉෂාර සරත් චන්ද්‍ර නැමැති ස්වාමිපුරුෂයාගේ සත්ක්‍රියාව තවත් විටක වේදනාවක්මය.

දරුවන් දෙදෙනකුගේ මවක් වන සෙව්වන්දි මහේශිකා ජයවීර කුවේට් හි ගෘහ සේවයට ගොස් අනතුරකට ලක් වීමෙන් රෝගීව සිටින බවට ලද පණිවිඩයෙන් ඇයව ගෙන්වා ගැනීම සඳහා සිය ස්වාමි පුරුෂයා තමන්ගේ වකුගඩුවක් විකිණීමට තීරණය කළ බව අසන්නට ලැබීමම රටේ අභාග්‍යයක් නොවේද..?

ඔහු දිඹුලාගල මනම්පිටිය මහ වැව ගම්මානයේ පදිංචි ඉෂාර සරච්චන්ද්‍රය. විසි අට වියෙහි පසුවන ඔහු මහවැව කොළකනාවාඩිය ගමේ පදිංචියට යන්නේ සෙව්වන්දි මහේශිකා ජයවීර සමග විවාහ වීමෙන් පසුවය. විවාහ දිවියේ ඔවුන්ගේ එකම බලාපොරොත්තුව වූයේ සුන්දර කැදැල්ලක දරු මල්ලන් සමග කාටත් අත නොපා සතුටින් ජීවත් වීමය. නමුත් එය සිතන තරම්ම සුන්දර සිහිනයක් නොවීය. දිනෙන් දින ඉහළ යන බඩු මිලට සරිලන වැටුපක් හිමි නොවූ තරුණ යුවළ කලක් විදේශගතව හෝ හොඳ මුදලක් සොයාගෙන සතුටින් ජීවත් වීමේ බලාපොරොත්තු ගොඩනඟන්නට කල්පනා කර තිබිණි. ඔවුන්ගේ පුංචි කැදැල්ලට වරින් වර දරු සුරතල් මුසු වී මේ තරුණ යුවළ තිදරුවන් හිමි දෙමහල්ලන් වීය. එතැන් සිට හිසමත පිරි පවුල්බර දිනෙන් දින වැඩි වෙද්දී එය දරා ගැනීම දෙදෙනාටම අපහසු වූවා විය හැකිය. දන්නා කියන තැනකින් රට ගිහින් ලොකු මුදලක් එකවර සොයා ගැනීම දෙදෙනාගේම අරමුණ විය. හිසට හරිහැටි වහළක් නැති තැන හිතට හරි හැටි සැනසිල්ලක් නැති තැන එය සපුරන්නට නම් එකම විසඳුම සයුරෙන් එතරට යෑම යැයි සිතූ දෙමහල්ලෝ ආදරයේ දායාදයන් තනිකොට දමා නොහැකි වේදනාවෙන් මිරිකෙමින්ද කලක් කල් ගෙවූහ. එහෙත් දිනෙන් දින උග්‍රවන දරිද්‍රතාවයට පිළියම් ලෙස බිරිඳ යෑම හොඳ යැයි නිගමනයෙන් කුවේට් යන්නට මගක් සොයා දෙදෙනාම වෙහෙස විය. අවසානයේ ඒජන්සියක් හරහා සිය අපේක්ෂා ඉටුවන බවට තහවුරු වීමෙන් සෙව්වන්දි දෙසරයක් නොසිතා ගමනට සූදානම් වූවාය. වැඩිම වූවොත් වසර තුනකින්වත් අපට සතුටින් කල් ගෙවිය හැකි යැයි දෙදෙනා කතිකා කර ගත්තෝය.

“විවාහ වුණ මුල් කාලේ කොහෙත්ම විදේශගත වෙන්න අදහසක් අපි අතරේ තිබුණේ නැහැ. අපි බැලුවේ මේ රටේම සතුටින් ජීවත් වෙන්නයි. දරුවෝ දෙන්නා හදාගත්තට පස්සේ ඒ අයට ඕන එපා කම් සපුරන්න බඩ පිරෙන්න කන්න දෙන්න මුදල් උපයා ගන්න පුළුවන් වුණානම් කවදාවත් මේ වගේ තත්ත්වයකට පත්වෙන්නෙ නැහැ. නෝනා රට යන්න හිතුවේ ගෙදර දොර හදාගන්නයි දරුවන්ට උගන්වන්නයි මිස වෙන දේකට නෙවෙයි. නමුත් සිද්ධ වුණේ හිතපු දේ නෙවෙයි. …” ඉෂාර කියා සිටියේය.

ණය වී රට ගිය බිරිඳ ගෙන්වා ගන්නට ලක්ෂ පහළොවකට වකුගඩුව විකුණන ස්වාමියෙක්…

ඔහුගේ බිරිඳ විදෙස්ගතව ඇත්තේ 2013 දෙසැම්බර් 20 වැනිදාය. කුවේට්හි ගෘහ සේවයට ඇය පිටත්ව ඇත්තේ කුරුණෑගල ඒජන්සියක් මගිනි. එහි ගොස් ටික දිනකින් ලිස්සා ඇද වැටීම මත රෝගීව සිටින බවට තොරතුරු අපට කියන්නේ ඔහුගේ ස්වාමිපුරුෂයාය. 2024 ජනවාරි දෙවෙනි දින ජා /005/24/02 අංකය යටතේ කොළඹ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිල්ලක් කර ඇති බවද ඔහු කියයි. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන ඉෂාර මෙසේද කියා සිටි.

“ආරංචි වෙන විදිහට එයාට හරියට කන්නත් ලැබෙන්නේ නැහැ. දැන් මට වුවමනා කරන්නේ ඇයව ගෙන්වා ගන්න ඒ සඳහා රුපියල් ලක්ෂ හයහමාරක මුදලක් අවශ්‍ය බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් සඳහන් කළා. ඒ තරම් මුදලක් හොයනවා කියන එකත් මට හීනයක් වගේ. මට කරන්න පුළුවන් කියලා හිතෙන හොඳම දේ සඳහා තමයි මං මේ මුලපුරලා ඉන්නේ.

අපේ ලොකු දුවට දැන් වයස අවුරුදු එකොළහක් ලොකු පුතාට වයස අවුරුදු නවයක්, පොඩි පුතාට වයස අවුරුදු තුනක්. මේ තුන්දෙනාම ඉස්කෝලේ යනවා. ඒ අය ඉස්කෝලෙ යවන්න උවමනා කරන දේවල් දෙන්න කන්න අඳින්න, පළඳින්න ඒ හැම දෙයක්ම සපුරාලන්න මම බාල්දි හදනවා. යකඩ පෝරුවගේ තවත් එක එක දේවල් හදල දරුවන්ගේ ජීවිතය රැක ගන්න පුළුවන් තරම් මහන්සි වෙන එක තමයි දැනට කරන්නේ. එහෙම වැඩකරගෙන ඉන්න අතරේ මේ වගේ රුපියල් ලක්ෂ හයක් තරම් විශාල මුදලක් හොයන එක ලේසි වැඩක් නෙවෙයි. ඔහුගේ ජීවිතයේ ස්වභාවය පැහැදිලි කරයි.

මෙවන් පවුල්වල වෙසෙන දරුවෝ දරිද්‍රතාවයේ කටුක බව මත දෙමව්පියෝ විදෙස්ගත වූ බව නොදනිති. ඔවුනට අවශ්‍යව ඇත්තේ සතුටෙහි උපරිම ඵල නෙළා ගන්නටය. අගහිඟකම් නැති ජීවිතයක් ගත කරන්නටය. නමුත්, දරුවන් අද සිටින ජීවන තත්ත්වයද තවත් පහළට වැටෙන්නට මේ සිදුවීම් බලපාන වග කිසිවකුටත් නොදැනෙනවා විය හැකිය. විදෙස්ගතව රෝගීව පැමිණෙන මවත්, ඇයව ගෙන්වා ගැනීමට සිය වකුගඩුවක් විකුණන පියාත් තවත් වසරකින් ගත කරන්නට සිදුවන සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳව දරු තිදෙනාට වැටහෙන්නේ නැතිවිය හැකිය. එදිනෙදා බඩකට පුරවා ගන්නටත් ඇඳුම් ආයිත්තම් පොත්පත් ඕනෑ එපාකම් සපුරාලන්නටත් මගක් නැති තැන මේ අයුරින් සමස්ත පවුලෙන් වන්දි ගෙවන්නට පසුබිම සැකසෙන පවුල් කීයක් නම් මේ රට තුළ ඇත්ද….?

මේ කියවෙන්නේ සිරිලක් වැසියන්ගේ තත්ත්වයය. විඳින වේදනාවන්ගෙන් ගොඩයන්නට වන උත්සාහයෙන් තවදුරටත් ඇද වැටෙන්නට සිදුව තිබෙන මේ සිදුවීම් සෝචනීයය.

ඇයව නැවත ගෙන්වා ගැනීමට රුපියල් ලක්ෂ හයක මුදලක් අවශ්‍ය වන්නේ ඇයි දැයි අප ඉෂාරගෙන් විමසීමු. ඔහුගේ පිළිතුර වූයේ මෙයයි.

සෙව්වන්දි මේ වෙනකොට ඉන්නේ වැඩ කරපු දෙවැනි ගෙදර. මේ අනතුර සිදුවුණ බවට තොරතුරු ලැබුණයින් පසුව විදේශ නියුක්ති කාර්යාංශයට ගොස් පැමිණිල්ලක් කළා. එතනදි මට දැනුම් දුන්නා රට යන්න උදව් කළ ඒජන්සියට ඩිනර් දාහක් ඒ කියන්නේ රුපියල්වලින් ලක්ෂ දහයක මුදලක් ඕනේ කියනවා කියල. ඒ අය කියන විදිහට නෝනව ගෙදරට ගෙන්න ගන්න ඒ රටේ උදවිය ඒජන්සියට සල්ලි දීල තියෙනවලු. ඒ මුදල් ඒ අයට නැවත වුවමනා බවයි කියන්නේ. ඒ අය ඉල්ලන රුපියල් ලක්ෂ දහයට අමතරව නෝනා රට යවන්න වියදම් කරපු මුදලත් ආපහු ගෙවන්න සිද්ධ වෙනවා, අරගෙන තමයි රට ගියේ. මේ හැටි ලක්ෂ ගණන් ගෙවන්න මගේ ළඟ කොහෙත්ම සල්ලි නැහැ. ඒ හින්දම තමයි මගේ වකුගඩුව පරිත්‍යාග කරල ලැබෙන මුදලින් මේ සියල්ල පියවන්න කල්පනා කළේ. මගේ වකුගඩුව රුපියල් ලක්ෂ පහළොවකට විකුණ ගන්න මම මහනුවර කෙනකුට කතා කළා. ඒ හැම දෙයක්ම මම කරන්නේ මගේ පවුල ආරක්ෂා කරගන්න….” කඳුළු පිරි දෙනෙතින් යුතුව ඔහු කියා සිටී.

නිමල් ජයරත්න – මනම්පිටිය

advertistmentadvertistment
advertistmentadvertistment