සුසාන භූමියේ පස් දමා ඩෝසර් කර වැනසූ මඩකලපුව මහා නගර සභාවේ බැකෝ සහ වාහන සහ සේවකයන් තවමත් අත්අඩංගුවට ගෙන නැහැ…

උතුරු නැගෙනහිරින් වසර සිය දහසක අතීත මහා උරුමය අතුගා දමන්නට අන්තවාදී නරුමයන් මහා වෙහෙසක් ගනිමින් සිටිති. ඉපැරණි දාගැබ් ඩෝසර් තලයට යටකොට බිමට සමතලා කරති. ගල් කණු උගුල්ලති. කුළු ගෙඩිවලට සහ බෝර පහරට හසුවූ බෝහෝ ඉපැරණි පුරා වස්තුන් මේ වන විටත් මිනිස් ඇසෙන් සැඟව ගොස් ඇත. දාගැබ් ගල්කණු බිමට සමතලා වී කෝවිල් පල්ලි ඉදි වෙමින් තිබේ.

මඩකලපුව යනු ලංකාවේ නීතිවලට වලංගු නැනි අමුතුම කැලෑ නීතිය ඇති පුරවරයකි. සිංහල කමට, බෞද්ධ උරුමයන්ට ඇඩ්‍රස් නැතිවම ගිය පුරවරයකි.

මඩකලපුව සිංහල ගම් බවට පත්වන්න සිංහල රජ දවස සිටය. යුද්ධයට පෙරද සිංහල ජනයා දහස් ගණනින් මඩකලපුවෙහි වාසය කළහ. යුද සමයේ නරුම කොටියන් සිංහලයන්ව බෝම්බ ගසා, වෙඩි තබා, පෙති පෙති ගසා කිරි දරුවන් පවා මරා දමමින් සමූල ඝාතනය කරද්දි මඩකලපුව සිංහල ජනයාගෙන් තොර පා`ඵ පුරවරයක් බවට පත්වූහ. යුද්ධයෙන් පසුව මඩකලපුව සිංහල ජනයා කල්ලතෝනියන් බවට පත්වන්නට වූහ.

මඩකලපුව ජයන්තිපුර ගම්මානය පිහිටා තිබෙන්නේ නගරයේ සිට කිලෝ මීටර් තුන හතරක් දුරිනි. ජයන්තිපුර බෞද්ධ මධ්‍යස්ථානයට නුදුරින් එක පෙළට හින්දු, ඉස්ලාම්, කතෝලික සහ බෞද්ධ ජනයාගේ සුසාන භූමි පිහිටා ඇත. එම සුසාන භූමි දකිද්දී පවා මඩකලපුවේ සිංහල ජනයාට තිබෙන කුඩම්මාගේ තැන ගැන පැහැදිලිවම පෙනෙයි. ඒ අනෙක් සුසාන භූමි වලට තාප්ප වැටවල් ගසා මහා ඉහළින් සකස් කර තිබේ.

නමුත් සිංහල සුසාන භූමියේ තාප්ප වැටවල් නැත. අක්කර පහක් පමණ තිබුණ සිංහල සුසානය මේ වන විට අඩකටත් වඩා අහිමිව ගොස් තිබේ. එම ඉඩමේ ජල කුලුනක් ඉදිව ඇත. ඒ සමග ගොඩනැගිලි කිහිපයක්ද ඉදිරිව ඇත. මෙම සුසානය මැදින් පාරක් සාදා තිබෙන නිසා ඉතිරිව ඇත්තේ අක්කර එකහාමාරක පමණ ප්‍රදේශයකි. මඩකලපුව සිංහල සුසාන භූමිය වසර සියයකට අධික ඉතිහාසයක් ඇති සුසානයකි. මඩකලපුවේ දිස්ත්‍රික්කයේ වාසය කළ පරම්පරා දෙක තුනක ජනයා එම සුසානයේ පස් තුළ අතීත මතකයත් සඟවාගෙන සිටින්නේ මහා වේදනාවෙනි. ඒ තම නිසල දේහය තැන්පත්කළ සුසාන භූමියේ සොහොන් තෙක් පවා මේ වන විට අන්තවාදි නරුමයෝ ඩෝසර් කර දමන නිසාවෙනි.

වසර සියයකට වඩා පැරණි මඩකලපුව සොහොනත් ඩෝසර්

මේ වන විට පණ ඇති මිනිසුන්ට සහ මිය ගිය සිංහල මිනිසුන්ටද ඉඩක් නැති පුරවරයක් බවට පත්ව අවසන්ය. ඒත් පාලකයන්ගේ ඇස් පොට්ටව ගොසිනි. මීට දින කිහිපයකට ඉහතදී මඩකලපුව සිංහල සුසාන භූමියේ එක් පසකින් පුද්ගලික කොන්ත්‍රාක් කරුවෙක් පස් පුරවන බවටත් මඩකලපුව මහා නගර සභාවේ ටි්‍රපර් රථ වලින් අනෙක් පස් සහ ගොඩනැගිලි වලින් සුන්බුන් ඉවත් කර ගොඩ ගසද්දි ජයන්තිපුර බෞද්ධ මධ්‍යස්ථානයේ වැඩ වාසය කරන හිමි ඇතු`ඵ ප්‍රදේශවාසීන් මඩකලපුව මූලස්ථාන පොලිසියට මඩකලපුව මහා නගර සභාවේ කොමසාරිස්වරයාට විරුද්ධව පැමිණිලි කර තිබේ.

සුසානයේ පස් දමා සොහොන් කොත් ඩෝසර් කරන්නට අධිකරණයේ අවසර නොමැතිව නොහැකිය. නමුත් මඩකලපුව පොලිසිය මහා නගර සභා කොමසාරිස්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන ලදි.

පොලිසිය මගින් පරීක්ෂණයක් කරනකම් මෙම ස්ථානයට දැමූ පස්වලට මොනවත් කරන්න එපා යැයි පැමිණිලි පාර්ශ්වය පොලිසියෙන් ඉල්ලා සිටියහ. නමුත් ඉන් පසු දින කිහිපයක් එම ස්ථානයට ගෙනවිත් තිබූ පස් වලින් කොටස් නැවත ඉවත් කරන්නට පිරිසක් කටයුතු කරද්දි මඩකලපුව පොලිසියේ නීතිය වඳ බැහැ තිබුණි. පසුගිය 25 වැනදා මඩකලපුව මංගලරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් මෙම ස්ථානයට වැඩම කළ විට උන්වහන්සේ දුටු දෙයින් මහා වේදනාවට පත් වූහ. උන්වහන්සේගේ මෑණියන්ගේ දේහය තැන්පත් කර තිබුණ සොහොන් කොත ඇතුළු සොහොන් කොත් විශාල ප්‍රමාණයක් ඒ වන විටත් ඩෝසර් තල පහරට වැදී කැඩී බිඳී ගැලවී ගොස් තිබුණි.

පූජ්‍ය අම්පිටියේ සුමනරතන නා හිමියන් මෙලස ‘දිවයින’ට අදහස් දැක්වූවේය.

මගේ වයස අවුරුදු 04 දි මගේ පියාව කිසියම් පිරිසක් විසින් මරා දැම්මා. ඊට පස්සේ අපේ පවුලෙන් මව සහ සහෝදරියයි සහෝදරයිනුයි වෙන් වෙලා ගිහින් තිබ්බා. ඊට පස්සේ අපි තැන් තැන්වල හැදුනේ. මට අවුරුදු ගාණනක් මගේ අම්මවයි සහෝදර සහෝදරියයි හැම තැනකම හෙව්වා. මට අම්මා හම්බ වුණේ අවුරුදු 40කින් පස්සෙ වත්තල හැඳල හංදියේ ප්‍රාදේශීය රෝහලේදි. එතකොට අම්මට දියවැඩියාව හැදිලා කකුල් දෙකම කපලා දාලා තිබ්බේ. අම්මා රැකගන්න කවුරුත් හිටියේ නැහැ. මම අම්මව මඩකලපුව මංගලාරාමයට ගෙනවිත් රැකබලා ගත්තා.

2010 මාර්තු 16 මගේ මව මිය ගියාම මම ඇයගේ දේහය ජයන්තිපුර සිංහල සුසාන භූමියේ මා උපන් දිනය යෙදී තිබුණ මාර්තු 18 තැන්පත් කරා.

එතන බෞද්ධ, ඉස්ලාම්, කතෝලික, හින්දු ජනතාවගේ දේහයන් තැන්පත් කරන්න වෙන වෙනම සුසාන භූමි තිබෙනවා. පසුගිය කාලයක සිට මෙම සිංහල සුසාන භූමිය අත්පත් කර ගන්න ඇතැම් පිරිස් උත්සාහ කළා. මා එයට ඉඩ දුන්නේ නැහැ. නමුත් වසර 40කින් මට මුණ ගැසුන මගේ අම්මාගේ දේහය තැන්පත් කළ සුසාන භූමිය අද වෙද්දි ඩෝසර් කරලා දාලා තිබෙනවා.

මට කුඩා කල සිටම මව් සෙනහස අහිමි වුණා. වසර කිහිපයයි මට මවගේ ඇසුර ලබන්නට හැකි වූවේ. මේ ආකාරයට මාගේ මවගේ සොහොන් කොත ඩෝසර් කිරීම ගැන මා දැඩි වේදනාවට පත් වෙලා ඉන්නේ.

මෙම සුසාන භූමියේ 1908 සිට මිය ගිය අයගේ දේහයන් තැන්පත් කර තිබෙනවා. පසුගිය දිනවල මා දිවුලපොතාන ගම්මානයේ තැන්පත් කළ බුදු පිළිම වහන්සේ අතුරුදන් කරලා තිබ්බා. දැන් මගේ මවගේ සොහොන් කොත ඩෝසර් කරලා දැම්මා. එන සතියේ මේ ආකාරයෙන් මාද මරා දමාවිදැයි සිතුවිල්ලක් ඇතිව තිබෙනවා. මඩකලපුවෙන් සිංහල ජනතාව පමණක් නොව, අපේ ඉපැරණි සිද්ධස්ථාන සහ සිංහල ජනතාවගේ සුසාන භූමි පවා විනාශ කර දමන්නට අන්තවාදීන් කටයුතු කරමින් සිටින බවද උන් වහන්සේ කීහ.

ජාතික ප්‍රතිපත්ති අධ්‍යයන හා උපාය මාර්ගික පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය දුලිප් පලිහවඩන මහතා මෙලෙස කීවේය.

ශ්‍රී ලංකාව යනු බෞද්ධ ශීෂ්ටාචාරයක් මත ගොඩනැගුණ සාරධර්ම වලින් පිරුණු සිංහල බෞද්ධ නිජබිමක්. දුටුගැමුණු රජතුමා සමග සටන් කර මිය ගිය ආක්‍රමණික එළාර රජුගේ සොහොනට පවා ගෞරව දක්වන්න කටයුතු කළ ජාතියක්. සතුරෙකුගේ සොහොනකට වුවද ගෞරව කළ යුතු යැයි සිතමින් සිංහල බෞද්ධයන් කටයුතු කරනවා. අප එලෙස කටයුතු කරද්දි මෙවැනි දේ සිදුවීම ඉතා කනගාටුදායකයි. මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තිය සහ 16 වන වගන්තිය අමු අමුවේ උල්ලංඝනය කිරීමක්. මේ සම්බන්ධයෙන් ඉරිදියපුරම් නැගෙනහිර ග්‍රාම සේවා වසමේ පදිංචිකරුවෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව 30 වැනිදා තෙක් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මඩකලපුව මහෙස්ත්‍රාත් පීටර් පෝල් මහතා නියෝග කර තිබේ.

නැඟෙනහිර ජාතික උරුමයන් සුරැකීමේ සංවිධානයේ සභාපති පූජ්‍ය ගම්පහ නාරද හිමිපාණන් මෙලෙස කීවේය.

වසර සියයකට අධික කාලයක් සිංහල ජනතාවගේ සුසානයක් ලෙස තිබුණ සුසාන භූමියක මඩකලපුව සුමනරතන හිමියන්ගේ මවගේ සොහොන් කොත ඇතුළු සොහොන් කොත් ඩෝසර් කර දැමීම අපි තරයේ හෙළා දකිනවා. මේ වන විට අන්තවාදී දේශපාලන නායකයන් මඩකලපු දෙමළ සහ මුස්ලිම් ජනතාවගෙන් ප්‍රතික්ෂේපව යන නිසා ඒ තුළින් අන්තවාදීන් ඉදිරි මැතිවරණය වෙනුවෙන් ජාතිවාදය අවුස්සා නැවතත් අහිංසක ජනයා අතර ජාතිවාදය අවුස්සන්නට මෙවැනි දේ සිදු කරන බව පේනවා.

රට සුරකින්නට මහා මෙහෙයක් කළ රණවිරුවෙකු වන ලූතිතන් ජනරල් ජගත් ඩයස් මහතා (විශ්‍රාමික) මේ සම්බන්ධයෙන් මෙලෙස කීවේය.

මම වසර ගණනාවක් මඩකලපුව ප්‍රදේශයේ රාජකාරි කළා. මම බල සේනා ආඥාපති ලෙස කටයුතු කරා. අපි ජාති බේදයෙන් තොරව රාජකාරි කටයුතු කළා. නමුත් මේ වන විට මඩකලපුව ඇතුළු නැඟෙනහිර සිංහල ජනයාගේ තත්ත්වය ඉතා කනගාටුදායකයි. යුද සමයේදි පණ බේරාගෙන ගිය සිංහල ජනයා නැවත යුද්ධයෙන් පසු මඩකලපුවට පැමිණි කල රජය ඔවුන් පදිංචි කිරීමට කිසිදු උනන්දුවක් ගත්තේ නැහැ. සිංහල ජනතාවගේ ඉඩම්වලට හොර ඔප්පු හැදුවා. සමහර ඉඩම් අන්තවාදී දේශපාලන නායකයන් සිය ජනතාවට ඒවා බෙදලා දුන්නා. සිංහල ජනතාව සමග සමගියෙන් සිටිනවාට රාසමානික්කියන්, සුමන්තිරන් වැනි දේශපාලන නායකයන් කැමති නැහැ. මේ ආකාරයට රට පුරා බොහෝ දෙනකු හඬගා කියන්නේ අන්තවාදීන්ට එරෙහි නීතිය ක්‍රියාත්මක කරන ලෙසය.

නමුත් කනගාටුවට කරුණ නම් මඩකලපුවට ලංකාවේ නීතිය වලංගු නැති බවය. ඇත්තේ කැලෑ නීතිය පමණක් බවය.

සුසන්ත අමර බන්දු

advertistmentadvertistment
advertistmentadvertistment