ගෙම්බන්ගෙ ලේ විතරක් බොන මීරිගම මදුරුවා

366

ලංකාවේ අලුත්ම මදුරු වාර්තාව

“ලංකාවේ මදුරු ගහනයට නව මදුරුවකු සොයා ගෙන” මේ ආරංචිය මදුරුවන් කෑමෙන් ලේ රත්වී සිටින්නන්ට වාගේම ලේවලට මදුරුවා විසින් ශරීරගත කරන මාරාන්තික විෂබීජ ශරීරගත වී රෝගීවන පුද්ගලයන්ට උණ ගන්වන පුවතකි. එහෙත් ගම්පහ මීරිගමින් සොයාගත් අලුත් මදුරු විශේෂය රුධිරය උරා බොන්නේ ගෙම්බන්ගෙන්ම පමණය. මිලි මීටර් 2.3ක පමණ ප්‍රමාණයකින් යුක්ත වන අලුතින් හඳුනාගත් නව මදුරු විශේෂය සමග ශ්‍රී ලංකාවේ ජීවත් වන මදුරු විශේෂ සංඛ්‍යාව 156 දක්වා ඉහළ ගොස් තිබෙයි.

ලොව මදුරු විශේෂ 3500කට වැඩි ගණනක් මේ වන විට හඳුනාගෙන ඇත. මදුරුවන් නැත්තේ ඇන්ටාක්ටිකාවේ පමණය. මෙතරම් මදුරු විශේෂ ප්‍රමාණයක් ජීවත් වුව ද ඉන් මිනිසා මැලේරියා, ඩෙංගි, චිකුන්ගුන්යා, සිකා ආදී විවිධ ලෙඩ රෝගවලට බඳුන් කරන මදුරු විශේෂ ගණන ඉතා කුඩා ප්‍රමාණයක් බව වාර්තා වෙයි.

මිනිසා ගේ ඩ්‍රැකියුලා

ලෝක ඉතිහාසයේ මේ දක්වා මදුරුවන් දෂ්ටනයෙන් මියගිය ගණන බිලියන 52ක් පමණ වන බවට ගණන් බලා ඇත. වැඩි වශයෙන්ම මියගොස් තිබෙන්නේ දරුවන් ය.

වාසනාවකට ලොව වැඩිම මදුරු ගහනයක් සිටින රටවල් අතරට ශ්‍රී ලංකාවේ නම එක්වී නැත. බ්‍රසීලය, ඉන්දුනීසියාව, මැලේසියාව සහ තායිලන්තය වැඩි වශයෙන්ම මදුරුවන්ගෙන් බැටකන රටවල් වෙයි. එහෙත් වඩාත්ම මදුරුවන් නිසා රෝගී වන්නේ අප්‍රිකාව, දකුණු ඇමෙරිකාව සහ ආසියාව වීම නිසා ශ්‍රී ලංකා ප්‍රජාවට ද මදුරුවාගෙන් ගැලවීමක් නැත. කෙසේ වුවත් මදුරුවා, මිනිසා මෙන්ම පරිසරයට අත්‍යවශ්‍ය සතෙකි. මදුරු ගහනයේ විනාශය අපේ තුරුලිය පැවැත්මට සිදු කරන්නේ සුළුපටු බලපෑමක් නොවෙයි. සතුන් ගේ සහ මිනිසාගේ රුධිරය උරා බොන්නේ ඉතා සුළු මදුරු විශේෂ ගණනකි. එසේ රුධිරය උරා බොන්නේත් ගැහැනු මදුරුවන් පමණි. ඒ උන් ගේ පැවැත්මට අවශ්‍ය බිත්තර නිපදවීම සඳහා සත්ත්ව ලේ අවශ්‍ය බැවිනි. ශාක යුෂ, මල් පැණිවලින් යැපෙන පිරිමි මදුරුවකුගේ ආයු කාලය දින 6 .7 කට කෙටි වුවද සත්ත්ව රුධිරයෙන් යැපෙන ගැහැනු මදුරුවන් මාස 5කට වැඩි කාලයක් ජීවත් වන අවස්ථා ද තිබෙයි.

සෑම වසරකම මිනිස් ජනගහනයේ මිලියනයකටත් වඩා වැඩි ගණනක් මරු තුරුලට යවන Anopheles, Aedea and Culex’ Aedes aegypti වැනි මදුරු විශේෂවල ගැහැනු සතුන් මල් පැණි බොන තරමට අහිංසක කළ නො හැකිද ? @ Aedes aegypti (ඊඩිස් ඊජිප්ටි) මදුරු විශේෂය පමණක් බරවා, සිකා, ඩෙංගි, කහ උණ ව්‍යාප්ත කිරීමට හේතුවෙයි.

මදුරු ගහනය වැනසීම පිළියමක් නොවෙයි

මදුරු මර්දනයට පහසුම ක්ෂණිකම විසඳුම සමූල ඝාතනය කියා බැලූ බැලුමට පෙනුණ ද එයින් වන පරිසර හානිය මිනිසාට පමණක් නොව ලෝකයටම බලපායි. ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ජනපදයේ සිකා රෝගය ව්‍යාප්තවූ පසු කෘමිනාශක යොදා උන්ව මෙල්ල කිරීමට උත්සාහ ගනිද්දී මීමැස්සන්, සමනලුන් ඇතුළු පරාගන ක්‍රියාවලියට නැතිවම බැරි කෘමි විශේෂ ගණනාවක්ම විනාශ විය. එපමණක් නොව මදුරුවන් කෘමි නාශකවලට ප්‍රතිරෝධීතාවක් ද දක්වන්නට ද පටන් ගත්තේ ය.

අසූව දශකයේ අග භාගයේදී කෘමිනාශක ගල්වන ලද මදුරු දැල් නිපදවීම ඇරැඹීමත් සමග මිලියන ගණනක ජීවිත මාරාන්තික මදුරු රෝගවලින් ආරක්ෂා විය.

ජානමය විකෘති කිරීමේ සාර්ථක මෙහෙයුම

කෘමිනාශක ආලේපිත මදුරු දැල් පමණක් මදුරු උවදුරින් මිදීමට සාර්ථක පිළියමක් නොවන විට විද්‍යාඥයන්ගේ අවධානය යොමු වූයේ මදුරු ජාන විකෘති කිරීම මගින් මදුරු ගහනය අඩු කිරීම ය. ්ැග ්ැටහචඑස මදුරු විශේෂය බ්‍රසීලය, කේමන් දූපත්, පැනමා සහ ඉන්දියාවේ සාර්ථක ලෙස මර්දනය කෙරිණි. 2019 වසරේ සිට බිලියනයකට වැඩි මදුරු ගහනයක් මේ වන විට පරිසරයට නිදහස් කර තිබෙයි. ජානමය වශයෙන් විකෘති කළ මදුරුවන්ගෙන් මර්දනය වන්නේ ඉලක්කගත කරන මදුරු විශේෂය පමණි. අනෙක් මදුරු විශේෂ සඳහා ඒ මදුරුවන් බල නොපාන නිසා ජෛව පද්ධතියට බලපෑමක් සිදුවන්නේ නැත.

මිනිසාට වැළඳෙන රෝග පමණක් නොව ගහකොළවලට වැළඳෙන රෝග මැඬලීමටත් ජාන විකෘති කළ විලෝපිකයන් සාර්ථකව යොදාගත හැකිය.

රසායනාගාර ක්‍රියාවලියක්

මදුරු බිත්තර වර්ධන ක්‍රියාවලියේ එක් විශේෂ අවස්ථාවක ඩීඑන්ඒ කොටස් මයික්‍රො එන්නත් මගින් ඇතුළු කරනු ලැබෙයි. බිත්තර දහසකට පමණ එන්නත් කළ පසු ඒ බිත්තරවලින් සියයක් පමණ පූර්ණ ලෙස වැඩුණු විකෘති ජාන සහිත මදුරුවන් බවට පත්වෙයි.

පිරිමි මදුරු වන්ධ්‍යාකරණය

පිරිමි මදුරුවන් වන්ධ්‍යාකරණය ද කලක සිට සිදුවූවකි. මෙමගින් මදුරු ගහනයෙන් සියයට අනූවක් අඩුකළ හැකි ය. මෙවැනි ක්‍රමවලින් කෘමිනාශකවලින් මෙන් පරිසරයට හානියක් සිදුවන්නේ නැත.

ඩෙංගි මර්දනය සඳහා ලංකාවේ පළමු ජාන විකෘති කළ මදුරුවා (පළමු ජාන විකෘති කළ සත්ත්වයා) බිහිවෙයි

ඩෙංගි සාර්ථක ලෙස මර්දනය කළ හැකි ඖෂධයක් හෝ එන්නතක් තවම නිපදවා නැත. එබැවින් ඩෙංගි මැඬලීමට රෝග වාහක මදුරුවා මර්දනය කිරීම තරම් සුදුසු වෙනත් විසඳුමක් නොමැති තරම් ය. ඩෙංගි රෝගයේ ප්‍රභේද හතරක් ඇති අතර මේ ප්‍රභේද හතරින් එකකට වැඩි ගණනකට ජාන තාක්ෂණය ඔස්සේ ප්‍රතිරෝධය දක්වන්න පුළුවන් මදුරු විශේෂයක් මෙරට විද්‍යාඥයන් කණ්ඩායමක් විසින් බිහිකර ඇත. එවන් මදුරුවකු බිහිකළ ලොව ප්‍රථම අවස්ථාව ද මෙය වෙයි. කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රනිල් දසනායක, විද්‍යා පීඨයේ රසායන විද්‍යා අංශයේ කලිඳු රම්‍යසෝම, සහ කැලණි සරසවියේ මහාචාර්ය නිල්මිණී ගුණවර්ධන විසින් ශ්‍රී ලංකාවේ විද්‍යා ක්ෂේත්‍රයේ මේ හැරවුම් ලක්ෂ්‍යයේ පුරෝගාමීහු වූහ.

පරිසරයේ සාමාන්‍ය මදුරුවන් අල්ලා ගෙන රසායනාගාරවල බෝකර ලබා ගන්නා මදුරුවන්ගෙන් ලබා ගත් බිත්තර මගින් මේ පර්යේෂණයට මුල පිරිණි. බෝ කරන ලද මදුරුවන්ගෙන් ලබාගත් බිත්තරවලට විනාඩි 20 ක කාල රාමුවේදී විද්‍යාඥයන් නිර්මාණය කළ ඩෙංගිවලට ප්‍රතිරෝධී ජානය සහ මදුරුවා හඳුනා ගැනීමට අවශ්‍ය ජානය / රතු ප්‍රෝටීනය බිත්තරවල අපර කොටසට එන්නත් කරනු ලැබෙයි. බිත්තරයෙන් පිටවන මදුරුවා ගේත් සාමාන්‍ය මදුරුවාගේ බාහිරින් බැලූ විට කිසිදු වෙනසක් නැත.

බිත්තරවලින් පිටතට පියඹන මදුරුවන් සාමාන්‍ය මදුරුවන් හා මිශ්‍ර කිරීම සිදු වන්නේ ඉන් අනතුරුව ය. ජාන සුසංහිත මදුරුවා රුධිරය උරා බොන විට ඩෙංගි වෛරසය ශරීරගත වන අතර එය මදුරුවා ගේ ආමාශ ගත වන අතර එහිදී ඩෙංගි වෛරසය ගුණනය වෙයි. එවිට ඩෙංගි ප්‍රතිරෝධී ජානය ක්‍රියාත්මක වී ඩෙංගි වෛරසයේ ජාන සියල්ල විනාශකර දමයි. එවිට මේ මදුරුවාගෙන් තවත් මිනිසකුට රෝගය සම්ප්‍රේෂණය වීම නතර වෙයි. ඩෙංගිවලට ප්‍රතිරෝධී ජානය සහ මදුරුවා හඳුනා ගැනීමට අවශ්‍ය ජානය / රතු ප්‍රෝටීනය මුසු පිරිමි මදුරුවන් පමණක් පරිසරයට මුදාහරින අතර එසේ කරන්නේ ස්වාභාවිකවම ඊළඟ මදුරු පරපුරට ඩෙංගි පැතිරවීමේ හැකියාව නැති කිරීමටයි. ඉදිරියේදී ලංකාවෙන් ඩෙංගි රෝගය මුලනුපුටා දැමීමට ජාන විකෘති කළ අපේ මදුරුවා පිහිට වනු ඇත.

චම්පිකා දීපානි රණසිංහ
විශේෂ ස්තුතිය කොතලාවල රාජ්‍ය ආරක්ෂක විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ පීඨාධිපති ප්‍රසන්න ප්‍රේමදාස මහාචාර්යවරයාට කොතලාවල මහාචාර්ය ප්‍රසන්න ප්‍රේමදාස මහතාට

advertistmentadvertistment
advertistmentadvertistment