වත්තේගම රෝහලට පැනලා දොස්තරට ගහලා

61

වෛද්‍යවරයා රෝහලේ: තිදෙනෙක් අත්අඩංගුවට

වත්තේගම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගියකු බැලීම සඳහා පෙරේදා (21 දා) රාත්‍රියේ පැමිණි පුද්ගලයන් හය දෙනකු විසින් සිදුකරන ලද බව කියන පහරදීමක් හේතුවෙන් එම රෝහලේ රාත්‍රි සේවයේ නිරතව සිටි හරින්ද්‍ර සෙනාල් විජේරත්න නමැති වෛද්‍යවරයා තුවාල සහිතව ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම පහරදීමෙන් වෛද්‍යවරයාගේ මුහුණේ සහ පපු ප්‍රදේශයේ තැලීම් සමඟ පැලීම් කිහිපයක් ද දක්නට ලැබෙන බව වෛද්‍යවරු පවසති.

අදාළ තරුණයන් පිරිස පෙරේදා (21) රාත්‍රී 8.50 ට පමණ රෝහල තුළට බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සහ කළ අවස්ථාවේ කනිෂ්ඨ සේවකයකු එය වැළැක්වීමට පියවර ගෙන තිබේ. එම අවස්ථාවේ ඔවුන් කනිෂ්ඨ සේවකයාට බැණ වැදී තර්ජනය කරද්දී වෛද්‍යවරයා පැමිණ වාට්ටුවෙන් පිටතට යන ලෙස දැනුම් දී ඇත.

කලහකාරී ලෙස හැසිරෙමින් සිටි පිරිස වෛද්‍යවරයාගේ මුහුණට හා පපුවට පහර දී තිබේ. එම අවස්ථාවේ බිම ඇද වැටුණු තමන්ව පාගමින් කකුල්වලින් පහර දුන් බව වෛද්‍යවරයා පැවසීය.

අදාළ පිරිස වෛද්‍යවරයා සතුව තිබූ රෝහලට අයත් වෙද නළාව ද පැහැරගෙන ගොස් තිබේ.

සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් අතරින් තිදෙනකු වත්තේගම පොලිසිය විසින් ඊයේ (22) අත්අඩංගුවට ගෙන තිබේ.

වෛද්‍යවරයා විසින් තමන්ට පහරදුන් බව කියමින් අදාළ පුද්ගලයන් අතර සිටි එක් අයකු ප්‍රතිකාර සඳහා මාතලේ රෝහලට ඇතුළත්ව සිටින බව පොලිසිය පවසයි.

පලාගිය සෙසු සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි.

සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment