සුරා බදු ඇවිළෙයි – නිවන්න ජනපති කතා කරයි

767

සංශෝධනය කරනවා – ජනපති ලේකම් සමන් ඒකනායක

සුරා බදු බලපත්‍ර ගාස්තු සංශෝධනය කරමින් නිකුත් කර තිබෙන ගැසට් පත්‍රය අවුල් සහගත තත්ත්වයක් පවතින බව පෙනී යෑම නිසා එය සංශෝධනය කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමාට උපදෙස් දුන් බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ‘දිවයින’ට ඊයේ (15 දා) පැවසීය.

නව සුරාබදු බලපත්‍ර ලබාගැනීමට විවිධ පුද්ගලයන්ගෙන් ඉල්ලීම් ලැබෙන අතර එය අධෛර්යමත් කිරීමට නව බලපත්‍ර ලබාගැනීමේ දී විශාල මුදලක් අය කිරීමට රජයේ අවධානය යොමුවී ඇත. නව බලපත්‍ර ලබාදීම අධෛර්යමත් කරන ලෙස ආගමික නායකයන් ඇතුළු විවිධ පාර්ශ්ව රජයෙන් ඉල්ලීම් කර තිබූ අතර ගැසට් පත්‍රය නිකුත් කිරීමට පෙර ඒ ගැන අවධානය යොමුකරන ලෙසද ජනාධිපතිවරයා බලධාරීන්ට උපදෙස් දී තිබූ බවද ලේකම්වරයා කීය. අලුතින් නිකුත් කළ ගැසට් පත්‍රය පිළිබඳ බලපත්‍ර ලාභීන් රජයට අප්‍රසාදය පළකර තිබීම රජයේ අවධානයට යොමුවී තිබේ.

සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධනය කරමින් නිකුත් කර තිබෙන ගැසට් පත්‍රය සංශෝධනය කිරීමට තමා අදාළ අංශ දැනුවත් කළ බවත් ජනාධිපතිවරයා රටට පැමිණි පසු එය ඔහුගේ අවධානය යොමුකරන බවත් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පැවසීය.

සුරාසැල් පවත්වාගෙන යෑමේදී ව්‍යාපාරිකයන්ට මුහුණ පෑමට සිදුවන බලපෑම් කෙරෙහි ද අවධානය යොමුකර නව ගැසට් පත්‍රය සකස් කරන ලෙස ජනාධිපතිවරයා ඔවුන්ට උපදෙස් දී තිබූ බවද ලේකම්වරයා කීය.

2024 වර්ෂය සඳහා මේ වනවිට බොහෝ පිරිසක් සුරාබදු බලපත්‍ර ලබාගෙන තිබෙන අතර 2025 වර්ෂයේදී බලපත්‍ර ගාස්තුවල සංශෝධනයක් සිදුකළ හැකිද යන්න රජයේ අවධානයට යොමුවී තිබේ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment