සා.පෙළ නොපවත්වා උ.පෙළට සහතිකයක් දෙන්න – උත්තර පත්‍ර ගැටලුවට ඩලස්ගෙන් විසඳුමක්

112

අපොස. උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාවට පැන නැගී ඇති ගැටලුකාරී තත්ත්වය මත මෙම වසරේ සාමාන්‍ය පෙළ විභාගය නොපවත්වා එම දරුවන්ට ‘උසස් පෙළ විභාගය හැදෑරීම සඳහා සියලු සුදුසුකම් සපුරා ඇත’ යනුවෙන් විභාග දෙපාර්තමේන්තුව මගින් සහතියක් දුනහොත් අසාධාරණයක් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (25දා) පැවසීය.

මේ වන විට සාමාන්‍ය පෙළ ප්‍රතිඵලවලින් යන්න පුළුවන් කිසිම රස්සාවක් නැතැයි කී මන්ත්‍රීවරයා කොවිඩ් සමයේදී ලන්ඩන් සාමාන්‍ය පෙළ නොපවත්වා උසස් අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව ලබා දුන් බව ද සඳහන් කළේය.

එහිදී මෙම යෝජනාව හොඳ යෝජනාවක් බව වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටියේ සාමාන්‍ය පෙළ විභාගය ලබන මැයි මස 29 දා ආරම්භ කිරීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් කර අවසන් බවය. ආචාර්යවරුන් පෙරේදා (24) උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සිදුකරන ප්‍රශ්න පත්‍ර 10ක එම කටයුතු ආරම්භ කළ බවත්, මෙවර උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනය පිළිබඳව කල්වේලා ඇතිව දැනුම් දෙන බවත් පැවසූ අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

“මම එක පැත්තකින් ස්තූතිවන්ත වෙනවා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයට (ෆුටා). ඒ අය මාත් එක්ක නිරන්තර සංවාදයෙන් හිටියේ. පෙරේදා එවපු ලිපියට පිළිතුරු මම ඊයේ යැව්වා. ඒ අය සාධනීය ලෙස ඒක ගැන බලයි. අද වෙද්දි ඒ ප්‍රශ්නය විසඳෙයි කියා බලාපොරොත්තු වෙනවා. ඊයේ පේපර් 10ක චීෆ්ලා ඇවිල්ලා ඒ කටයුතු ආරම්භ කළා. මේ විභාගයේ ප්‍රතිඵල ප්‍රමාදවීම වැළැක්වීමට අපි තව වැඩක් කළා. වෙනදාට න්‍යායාත්මක ප්‍රශ්න පත්‍ර පරීක්ෂාවෙන් පස්සේ තමා ප්‍රායෝගික පරීක්ෂණ පටන් ගන්නේ. මේ සැරේ ගුරු සංගම් එකඟ වුණ නිසා අපිට පුළුවන් වුණා ප්‍රායෝගික පරීක්ෂණ කලින් තියන්න.

ඒ වගේම විභාග දෙපාර්තමේන්තුව මධ්‍යස්ථාන ප්‍රමාණය වැඩිකරන්න කටයුතු කරගෙන යනවා. එතකොට විභාග ප්‍රශ්න පත්‍ර පරීක්ෂාවට ගතවෙන කාලය අඩුකරගන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍ය පෙළ විභාගය 29 වැනිදා පැවැත්වීමටත්, දින 10 කදී විභාගය අවසන් කිරීමටත් සියලු කටයුතු සූදානම් කරගෙන යනවා”

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment