දේශබන්දුට එරෙහි පෙත්සම් 7ක් යළි සලකා බලයි

160

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයට පත්කිරීම හා වැඩබලන පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු ඇතුළු පාර්ශ්ව හතක් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් හත නැවත සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (27දා) තීරණය කළේය.

ඉහත කරුණු දෙක සම්බන්ධයෙන් මෙන්ම ඔහුව පොලිස්පති ධුරයට පත්කිරීමට අදාළව කිසිදු පියවරක් ගැනීම වළක්වන ලෙස ඉල්ලා ගොනුකර තිබූ එම පෙත්සම් ඊයේ ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙන්ගප්පුලි හා මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේදී කැඳවිණි.

එම පෙත්සම් අධිකරණය හමුවේ කැඳවා අදාළ පාර්ශ්ව විසින් මූලික විරෝධතා හා ප්‍රති විරෝධතා ගොනුකර තිබියදීත් ජනාධිපතිවරයා විසින් පෙරේදා (26) 12 වන වගඋත්තරකාර දේශබන්දු තෙන්නකෝන් මහතාව පොලිස්පති ධුරයට පත්කර ඇති බවත් ඊයේ එම පෙත්සම් කැඳවීමට නියමිතව තිබියදී සහ වැඩබලන පොලිස්පති ධුර කාලය අවසන් වීමටත් පෙර එලෙස පොලිස්පති ධුරයට පත් කිරීම නීතියේ ආධිපත්‍යයට එල්ල කළ පහරක් බවත් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ජනාධිපති නීතිඥ ජෙෆ්රි අලගරත්නම් යන මහත්වරුන් ඇතුළු පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරු අධිකරණයට පැවසූහ.

වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතාව පොලිස්පති ධුරයට පත්කර ඇත්තේ ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ඇතිව දැයි සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විමසා සිටි අතර ඒ සඳහා කථානායකවරයා ප්‍රමුඛ ව්‍යවස්ථාදායක සභාවේ බහුතර සාමාජිකයන්ගේ අනුමැතිය ලැබී ඇතැයි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ සහ දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ආචාර්ය රොමේෂ් ද සිල්වා යන මහත්වරු පැවසූහ.

සියලු පාර්ශ්ව විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල වර්තමාන තත්ත්වය මත එනම් දේශබන්දු තෙන්නකෝන් මහතාව පොලිස්පති ධුරයට පත් කිරීම ප්‍රමුඛ කරුණු මත එම පෙත්සම් නැවත සලකා බැලීමට තීරණය කළේය. පෙත්සම්කරුවන්, බහුතරයගේ මූලික ඉල්ලීම වනුයේ දේශබන්දු තෙන්නකෝන් මහතාව වැඩබලන පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමේ නියෝගයක් වන බවත් ජනාධිපතිවරයා විසින් මේ වනවිටත් ඔහුව පොලිස්පති ධුරයට පත්කර ඇති බවත් අධිකරණයට පෙන්වා දුන් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා සහ දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ආචාර්ය රොමේෂ් ද සිල්වා මහතා එබැවින් එම පෙත්සම් තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවක් නොමැති බව පැවසූහ.

කාදිනල්තුමා විසින් ජනාධිපතිවරයා පත් කළ පොලිස්පති ධුරය වැනි ප්‍රධාන තනතුරක් සම්බන්ධයෙන් පෙත්සමක් ගොනු කිරීම ආගමික මැදිහත්වීමක් බවට පෙනී යන බැවින් එම පෙත්සමට මැදිහත්වී කරුණු දැක්වීමට බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා හත් නමක් ද අවසර ඉල්ලා සිටින බැවින් ඒ සඳහා අවසර දෙන ලෙස ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා ඉල්ලා සිටියේය. මහාචාර්ය කොටපිටියේ රාහුල, උඩුවේ ධම්මාලෝක, මහාචාර්ය අකුරැටියේ නන්ද, මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන, මහාචාර්ය අගලකඩ සිරිසුමන, මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හා බෝදාගම චන්දිම යන හිමිපාණන් වහන්සේලා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා කළ එම ඉල්ලීමට අවසර ලබාදෙන්නේ ද නැති ද යන නියෝගය ද ලබන අප්‍රේල් 2 වැනිදා නිකුත් කිරීමට ද විනිසුරු මඬුල්ල තීරණය කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment