මහ මැතිවරණය නිසා කොවිඩ් සහතිකයෙන් මෝදිගේ රූපය ගලවයි

252

මෙම දිනවල පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණය හේතුවෙන් ඉන්දියාවේ කොවිඩ් එන්නත් සහතික පත්‍රයේ මුද්‍රණය කර තිබූ ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිං මෝදිගේ ඡායාරූපය ඉවත් කිරීමට මැතිවරණ බලධාරීන් විසින් පියවර ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.

ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව මෙම දිනවල පැවැත්වෙන ඉන්දීය ලෝක් සභා පාර්ලිමේන්තු මැතිවරණයේදී අනුගමනය කෙරෙන හැසිරීම් ආකෘතිය හේතුවෙන් ඉන්දීය අගමැතිවරයාගේ ඡායාරූපය කොවිඩ් එන්නත් සහතිකපත්‍රයෙන් ඉවත් කර තිබේ.

කෙසේ වුවද ඉන්දීය අගමැතිවරයාගේ ඡායාරූපය කොවිඩ් එන්නත් සහතික පත්‍රයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් පසුගිය දිනවල ඉන්දීය සමාජ මාධ්‍ය ජාලවල දැඩි කතාබහක් මතුව තිබූ අතර බොහෝ දෙනකු පවසා ඇත්තේ අගමැති මෝදිගේ ඡායාරූපය අදාළ සහතික පත්‍රයෙන් ඉවත් කර ඇත්තේ ඉන්දියාවේ ‘කොවිෂිල්ඩ්’ නාමයෙන් නිපදවූ කොවිඩ් එන්නතේ නිෂ්පාදක සමාගම වන ඇස්ට්‍රාසෙනෙකා සමාගම එම එන්නතෙන් රුධිරය කැටි ගැසීමට හේතු වන ත්‍රොම්බෝසිස් ත්‍රොම්බෝස්යිටෝපේනියා සින්ඩ්රොම් නමැති රෝගය ඇති විය හැකි බව පිළිගැනීම නිසා බවයි. 2022 වසරේ ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්, උත්තර්කණ්ඩ්, පන්ජාබ්, මනිපූර් හා ගෝවා ප්‍රාන්තවල පැවැති මැතිවරණවලදී ද මෝදි අගමැතිවරයාගේ ඡායාරූපය කොවිඩ් එන්නත් සහතිකපත්‍රයෙන් ඉවත් කර තිබිණි.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment