පොලිසියට අරක්ගත් ත්‍රාඩ කල්ලියක් සමාජ ප්‍රශ්න ගැන හඬ නගන විශ්වවිද්‍යාල සිසුන් මර්දනයට වෙනමම වැඩපිළිවෙළක් දියත් කරලා

53

වැඩිපුර ඇතුළත් කරගත් ශිෂ්‍යයන්ට පහසුකම් සැපයීමට බැරිවීමෙන් ප්‍රශ්න උග්‍ර වෙලා – එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක

බලධාරීන්ගේ ප්‍රතිපාදන කප්පාදුව රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය ස්වභාවික මරණයට පත්කිරීමක් – අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත්

පොලිසියට අරක්ගෙන සිටින ත්‍රාඩ කල්ලියක් සමාජ ප්‍රශ්න ගැන හඬ නගන විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු පිරිස් මර්දනය කිරීම සඳහා වෙනමම වැඩපිළිවෙළක් දියත් කර ඇති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේය.

බොහොම නින්දිත ආකාරයේ අණපනත් සම්මත කිරීම එහි එක් කොටසක් බවත් මෙම තත්ත්වය පරාජය කළ යුතු බවත් හෙතෙම කීවේය.

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පසුගියදා 30 වැනිදා එම අදහස් පළකළේ එම පෙරමුණ සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය අතර පැවැති විශේෂ සාකච්ඡාවක් පසු මාධ්‍ය අමතමිනි.

ජනරජ පෙරමුණු මූලස්ථානයේ දී මෙම සාකච්ඡාව පැවැත්විණි.

එහිදී අදහස් දැක්වූ එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා :

මේ රටේ ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස විශ්වවිද්‍යාලවලට වෙන් කරන ප්‍රතිපාදන අඩු වෙලා තියෙනවා. විශේෂයෙන් ප්‍රාග්ධන ප්‍රතිපාදන සීමාවෙලා තියෙනවා. ඒ නිසා විශ්වවිද්‍යාල ව්‍යාප්ත වෙන්න භෞතිකව තියෙන ඉඩකඩ සීමා වෙලා තියෙනවා. නමුත් අනිත් පැත්තෙන් ආණ්ඩුව එක දිගටම වැඩිපුර ශිෂ්‍යයන් විශාල වශයෙන් බඳවා ගැනීමක් කරනවා. මේ නිසා ඒ ශිෂ්‍යයන්ට පහසුකම් සපයන්න බැරිවීම නිසා ඇතැම් තත්ත්වයන්වලදී ඇතැම් විශ්වවිද්‍යාලවල ප්‍රශ්න ඇති වෙලා. විශේෂයෙන් නැගෙනහිර විශ්වවිද්‍යාලය, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය වැනි විශ්වවිද්‍යාලවලින් කොටසක් කරන්න ආණ්ඩුව කටයුතු කරනවයි කියන චෝදනාව එල්ල වෙලා තියෙනවා. ඊට අමතරව විශ්වවිද්‍යාල ගුරුවරු පිරිසක් විදේශ ගතවීමත් ඒ වගේම වැඩියෙන් ශිෂ්‍ය ප්‍රජාව විශ්වවිද්‍යාලවට බඳවා ගැනීම නිසා ගුරු හිඟයක් පවතිනවා. ඊළඟට අනධ්‍යන, අධ්‍යයන මේ කාර්ය මණ්ඩල දෙකේම මේ ජීවන වියදමට සරිලන වැටුපක් පිළිබඳ අසහනයක් පැතිරිලා තියෙනවා. ඒ වගේම මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් ඇතුළු මේ පිළිබඳව රටේ මේ සමාජ ප්‍රශ්න ගැන හඬ නගන පිරිස් මර්දනය කිරීම සඳහා බොහොම නින්දිත ආකාරයේ අණපනත් සම්මත කිරීම්, ඒ වගේම ක්‍රියාමාර්ග ගැනීම් විශේෂයෙන්ම මේ පොලිසියට අරක්ගෙන ඉන්න ත්‍රාඩ කල්ලියක් විසින් දියත් කර තියෙනවා.

ඉතින් මෙන්න මේ කරුණු ගැන තමයි අපේ අවධානය යොමු කළේ. මේ රට ඉදිරියට ගෙනියන්න නම් දැනුම පදනම් කරගත්ත ආර්ථිකයක් අවශ්‍යයි. රටේ අනාගතය එතැනයි. ඒකෙදි ඉතාමත්ම වැදගත් මෙහෙවර කරන්නේ මේ රටේ විශ්වවිද්‍යාල, මේ රටේ පර්යේෂණ අංශ. ඉතින් ඒවා අමතක කරලා කටයුතු කරන්න හැකියාව ඒ වගේම මේ හැමදේම පෞද්ගලික අංශයට දුන්නම වඩා හොඳින් කාර්යක්ෂමව සිදුවෙයි කියන මුලාවට මේ විශ්වවිද්‍යාල පද්ධතියත් හසුවෙමින් තියෙනවා.

ඇතැම් පාඨමාලා පෞද්ගලික අංශයෙන් හොඳින් කලාට විශ්වවිද්‍යාල නමින් පවත්වාගෙන යන ඇතැම් ආයතනවල ප්‍රමිතිය පිළිබඳව කිසිම සොයාබැලීමක් නැති නිසා විශාල පිරිසකගේ දරුවන්ගේ ධනය අහිමි වෙලා තියෙනවා. ඒ වගේම අපි අමතක කරන්න හොඳ නෑ

පසුගිය වසරේ විතරක් ඕස්ටේ්‍රලියාවට පහළොස් දහසකට අධික ලාංකික ශිෂ්‍ය පිරිසක් ගිහින් තියෙනවා. ඩොලර් මිලියන පනහකට වැඩි ධනයක් මේ රටෙන් ඕස්ට්‍රේලියාවට ඇදිලා ගිහින් තියෙනවා. ඉතින් අපි සංචාරක ව්‍යාපාරය ඒවගෙන් ලැබෙන ඩොලර් ආදායම ගැන කතා කරද්දී දරුවෝ රට දාලා යනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරු රට දාලා යනවා. වෘත්තීයවේදීන්, ඉංජිනේරුවෝ, වෛද්‍යවරු ඇතුළු පිරිස් රට දාලා යනවා. බරපතල තත්ත්වයක් තියෙනවා. දශක ගාණක් තිස්සේ නිදහස් අධ්‍යාපනය විසින් බිහිකරපු වැදගත්ම සමාජ සාරයක් රටට අහිමි වෙමින් තියෙනවා. මේක ගැන මා හිතන්නේ මුළු සමාජයක් හැටියටම, අවධානය යොමුකළ යුතුයි. ඒ ගැන කටයුතු කළ යුතුයි.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් මහතා;

අද දවසේදී අපි, මේ විදිහට, එක්සත් ජනරජ පෙරමුණත් සමග සාකච්ඡාවකට එන්න හේතු වුණු ප්‍රධානතම කාරණය තමයි, විශ්වවිද්‍යාලවලට වෙන් කරන ප්‍රතිපාදන විශාල වශයෙන් කප්පාදු කරමින්, රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය ස්වභාවික මරණයකට ඇද දැමීමේ ක්‍රියාවලියක රනිල් වික්‍රමසිංහලා නිරත වෙලා ඉන්නවා. ඒ වගේම තමයි, මෙන්න මේ ප්‍රශ්නයත් එක්ක අපිට

බලාගන්න පුළුවන් මේ වෙද්දි, නේවාසිකාගාර අර්බුදය උග්‍ර වශයෙන් වැඩි වෙලා තියෙනවා. රජරට, නැගෙනහිර, සබරගමුව, අග්නිදිග වගේ විශ්වවිද්‍යාල ගත්තට පස්සේ ශිෂ්‍යයින් දහදාහකට ආසන්න ප්‍රමාණයක්

නේවාසිකාගාරවලින් එළියට දාලා. ඔවුන්ව මාර්ගගත ක්‍රමවේදයකට යොමු කර තියෙනවා. එතකොට මේ නිසා, ඔවුන්ගේ අවුරුදු හතරේ උපාධියෙන්, අවුරුද්දක පමණ කාල සීමාවක් නිශ්චිතවම මාර්ගගත ක්‍රමයට, එහෙම නැත්නම් ඔන්ලයින් ක්‍රමවේදයට ඉගෙන ගන්න සිද්ධවෙලා තියෙනවා. විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට දරන්න සිද්ධවෙන මාසික වියදම විශාල වශයෙන් වැඩි වෙලා තියෙනවා. නේවාසිකාගාර ගාස්තුව බෝඩිං කුලී කාමර හොයාගෙන යන්න ශිෂ්‍යයෙක්ට රුපියල් හත් අටදාහක මුදලක් වියදම් කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම තමයි ආහාරපාන සඳහා අවම වශයෙන් රුපියල් දොළොස්දාහක විතර මුදලක් වියදම් කරන්න සිද්ධ වෙලා තියෙනවා. සෞඛ්‍ය ආරක්ෂක වියදම්, ඒ වගේම මුද්‍රණ ගාස්තු, අධ්‍යයන කටයුතු සඳහා මේ වියදම් කරන්න සිද්ධ වුණේ රුපියල් විසි පන්දාහෙන් ඉහළ මුදලක් වැය කරන්න සිද්ධ වෙනවා විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයින්ට. එතකොට මේ වගේ තත්ත්වයක් ඇතුලේ මහපොළ ශිෂ්‍යාධාර වාරිකය විදිහට හම්බවෙන්නේ සොච්චම් රුපියල් පන්දාහක අගයක් විතරයි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ හිඟය මේ වෙද්දී 50%කටත් වඩා වැඩි වෙලා තියෙනවා. එතකොට ගැටලු සම්බන්ධවත් අපි ඔවුන්ගේ අවධානය යොමු කළා. ඒ වගේම තමයි මේ වෙද්දි රටක් විදිහට අපිට දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට මේ ආර්ථික අර්බුදය හේතුවෙන් රටේ විවිධ ක්ෂේත්‍රවල විවිධ ජනතාවට විවිධ ආකාරයේ අර්බුද ප්‍රමාණයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. මෙන්න මේවට විරුද්ධව

ජනතාවගෙන් ඇතිවෙන්න තියෙන ප්‍රතිරෝධය මර්දනය කරන්න මීට දවස් කිහිපයකට කලින් පාර්ලිමේන්තුව ඇතුලේ සමාජ මාධ්‍ය වාරණ පනතක් සම්මත කරගන්න. ඒ වගේම තමයි මීට දවස් කිහිපයකට කලින් රනිල් වික්‍රමසිංහ කියනවා. අපි පාර්ලිමේන්තුව ඇතුළේ මේ සමාජ මාධ්‍ය වාරණ පනත සම්මත කරගත්තා වගේම, ත්‍රස්ත විරෝධී පනතත් පාර්ලිමේන්තුව ඇතුළේ සම්මත කරගන්නවා කියලා. කවුරු විරුද්ධ වුණත්, අපි මේවා සම්මත කරගන්නවා කියලා ඔහු සඳහන් කළා. එතකොට මෙන්න මේ මර්දනීය අණපනත් සම්මත කරගැනීමේ අවශ්‍යතාව, මර්දනීය අණපනත්වල ක්‍රියාකාරීත්වය අවශ්‍ය වෙලා තියෙන්නේ, රටේ ජනතාවට මේ වෙද්දි මුදාහරින, දැවැන්ත බදු බර, ඒ වගේම රටේ ජනතාවට මුහුණ දෙන්න සිද්ධවෙලා තියෙන, දැවැන්ත ප්‍රශ්න හේතුවෙන් තමයි, මෙන්න මේ වගේ මර්දනීය අණපනත් අවශ්‍ය වෙලා තියෙන්නේ. ඒ නිසා මේ සම්බන්ධවත් අපි සාකච්ඡා වටයක් සිද්ධ කළා. එතකොට අපි බලාපොරොත්තු වෙනවා දේශපාලන පක්ෂ විදිහටත්, ඔවුන්ට නිශ්චිත වගකීමක් තියෙනවා. මේ සම්බන්ධව පාර්ලිමේන්තුව ඇතුළේ වගේම, පාර්ලිමේන්තුවෙන් එළියේ පවා විශ්වවිද්‍යාලවල ප්‍රශ්න, ඒ වගේම රටේ පොදු මර්දනයට විරුද්ධව හඬක් නගන්න ඕනේ කියලා. එතකොට මෙන්න මේ සම්බන්ධව ඔවුන්ගේ අවධානය යොමු කරන්න තමයි අද දවසේ අපි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විදිහට මේ සාකච්ඡාව සිද්ධ කළේ.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment