ළමා රෝහලේත් පළමු වරට වෛද්‍ය වර්ජනයක්

105

ඉතිහාසයේ ප්‍රථම වරට බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඊයේ (19 දා) පැය 4 ක් තිස්සේ වෛද්‍යවරුන් ආරම්භ කර තිබූ වැඩ වර්ජනයක් හේතුවෙන් සිය දෙමාපියන් සමඟ ප්‍රතිකාර ගැනීමට දිවයිනේ නන්දෙසින් පැමිණි දරුවෝ රැසක් දැඩි අපහසුතාවයට පත්වූහ.

වෛද්‍යවරුන්ට බැණවදින බව කියන ළමා රෝහලේ විශේෂඥ වෛද්‍යවරියට විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, ඇගෙන් බැනුම් ඇසීමට ලක්වන බව කියන වෛද්‍යවරුන් තිදෙනා රෝහලේම වෙනත් වාට්ටුවකට මාරු කරන ලෙසත් රෝහල් අධ්‍යක්‍ෂවරයා ගෙන් කර තිබූ ඉල්ලීමට ප්‍රතිචාරයක් නැති නිසා ඊයේ මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසීය.

“මේ විශේෂඥ වෛද්‍යවරියගේ නොමනා සහ පිළිගත නොහැකි හැසිරීම් සම්බන්ධයෙන් තියෙන ගැටලුවක් මෙතන තියෙන්නේ. දැන් මේක දිගින් දිගටම දික්ගැසෙමින් යනවා. රෝහල් අධ්‍යක්‍ෂවරයා මේ ගැටලුව විසඳන්න අසමත්වීම නිසා අප සංගමයට සිදුවුණා මේ ගැටලුව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙත රැගෙන යන්න. ඔහු මේක විසඳන්න සතියක පමණ කාලයක් ඉල්ලුවා. දැන් සති තුනක් ගතවෙලා. ඒ දුන්නු පොරොන්දුව ඉටුකරන්න සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සමත්වෙලා නැහැ. අන්න ඒ නිසයි මේ වැඩවර්ජනය ක්‍රියාත්මක කළේ.

මේ සම්බන්ධයෙන් අප ළමා රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතාගෙන් විමසූ විට මෙසේ කීය.

“වෛද්‍යවරු පිරිසක් වැඩ වර්ජනය කළා කියලා ආරංචියි. ඒ වුණාට රෝහලේ වැඩ කටයුතු වලට බාධා වුණේ නැහැ. ඔය කියන අපහසුතාවයට දරුවන් පත් වුණේ නැහැ.

අදාළ විශේෂඥ වෛද්‍යවරියට විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් තාඩන පීඩන වලට ලක්වන බව කියන වෛද්‍යවරුන් තිදෙනා රෝහලේ වෙනත් වාට්ටුවකට මාරු කිරීමට පියවර ගන්නා ලෙසත් සෞඛ්‍ය ලේකම්වරයා ලිඛිතව එම රෝහල් අධ්‍යක්‍ෂවරයා වෙත දැනුම් දී ඇත. ඒ අනුව වර්ජනය අත්හිටුවා ඇත. එය තාවකාලිකව නතර කළ ද අදාළ ගැටලුවලට විසඳුම අද සිට ක්‍රියාත්මක නොවන්නේ නම් යළිත් වැඩ වර්ජන ක්‍රියා මාර්ගයකට එළැඹෙන බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment