පාස්කු නඩු තීන්දුව අධිකරණ ස්වාධීනත්වයේ නව ඇරඹුමක් – කාදිනල්තුමා

300

සැබෑ ඝාතකයන් සොයා ගන්නා තුරු ව්‍යායාමය දිගටම
‘බී වාර්තාව සැඟවීමේ උත්සාහයකුත් තිබුණා’ – කාදිනල්තුමා
මෛත්‍රීලාට අපරාධ නඩු දමයි කියා විශ්වාස කරනවා – ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා

පාස්කු දින ප්‍රහාර නඩුවේ ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබාදුන් තීන්දුව නීතිය හා අධිකරණ ස්වාධීනත්වයේ නව යුගයක ඇරඹුමක් බව අති උතුම් මැල්කම් කාදිනල් රන්ජිත් කොළඹ අගරදගුරුතුමා ඊයේ (13 දා) ප්‍රකාශ කළහ.

පාස්කු නඩුවේ ‘බී’ වාර්තාව යට ගැසීමට දැරූ අසාර්ථක උත්සාහයක් පිළිබඳව ද තමන්ට දැනගන්නට ලැබුණු බවත් ඉහළ තනතුරක් දරන නිලධාරියකු ඊට සම්බන්ධවී ඇති බවට තමාට දැනගන්නට ලැබුණ බවත් කාදිනල්තුමා කීවේය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ සත් සාමාජිකයන් යුක්තිය හා සාධාරණත්වය තම තීන්දුව මගින් ලබාදුන් බවද කාදිනල්තුමා පැවසීය.

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් පෙරේදා ලබාදුන් නඩු තීන්දුවෙන් පසු ප්‍රථම වරට මාධ්‍ය වෙත කරුණු දක්වමින් කාදිනල්තුමා මේ බව සඳහන් කළේය.

ජනාධිපතිවරයාට හෝ කිසිදු ඉහළ නිලධාරියකුට නීතියෙන් පැන යෑමට නොහැකි බැව් වත්මන් පාලකයන් මෙන්ම අනාගත පාලකයන් හා සියලු රාජ්‍ය නිලධාරීන් දැනගත යුතු බැව්ද කාදිනල්තුමා සඳහන් කළේය.

මෙම පාස්කු ප්‍රහාරයේදී මියගිය හා තුවාල වූ ආබාධිත වූ මිනිසුන්ගේ බදු මුදලින් ජීවත් වන පිරිසක් සියලු දේශපාලන නායකයන් මෙන්ම රාජ්‍ය නිලධාරීන් යුක්තිය යට ගැසීම නොව මිනිසුන්ගේ තරාතිරම කුමක් වුවත් ඔවුන්ට සාධාරණය හා යුක්තිය ලබාදිය යුතුව ඇතැයිද කාදිනල්තුමා සඳහන් කළේය.

කාදිනල්තුමා මෙසේ ද පැවසීය.

හිටපු නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මෙම පාස්කු ඝාතනයන් පිටුපස කුමන්ත්‍රණයක් තිබෙනවා කීවා. එහි සත්‍ය සොයායන ගමනේ මෙම තීන්දුව ඉතාමත් වැදගත් සන්ධිස්ථානයක් වෙනවා. සැබෑ ඝාතකයන් කවුද? යන්න සොයා ගන්නා තුරු අපගේ ව්‍යායාමය ඉදිරියට ගෙන යනවා. මෙම ප්‍රහාරය පිළිබඳව ජනාධිපති කොමිෂන් වාර්තාවේ සමහර වැදගත් කරුණු යට ගැසුවා. හිටපු ජනාධිපතිවරයා බොරු පොරොන්දු දුන්නා ස්කොට්ලන්ඩ්යාඩ් ගෙන්වා වැඩිදුර පරීක්‍ෂණ කරනවා කීවා. නමුත් මේ කිසිවක් සිදුවුණේ නැහැ. ‘නීතිය’ බලවතාට එක විධියකටත්, දුබලයාට එක විධියකටත් ක්‍රියාත්මක කරන්න නොහැකියි.

නීතියේ ආධිපත්‍ය හා නිදහස දේශපාලන නායකයන්ගේ තීන්දු වෙනස් කරනවා. මෙම ප්‍රහාරයට වගකිවයුතු නිලධාරීන් වෙනත් ස්ථානවලට මාරුකර, වෙනත් නිලතල ලබාදී සත්‍ය යටගහන්න උත්සාහ කළා. මෙම දුෂ්ඨ ක්‍රමවේදයේ දූෂිතයන් බවට පත්වෙමින් පොලිසිය එසේ ක්‍රියා නොකරන ලෙසත්, දේශපාලකයන්ගේ පදයට නටන්නේ නැතිව ජීවිතය වෙනස් කර ගනිමින් ඔබත් වෙනස් වන ලෙසට මතක් කරනවා.

1970 වකවානුවේ සිට පැවැති රජයන් නීතිය හා අධිකරණය බාල්දු කරන්න ක්‍රියා කළා. අධිකරණයේ තීන්දු වෙනස් කරන්න රජයන්හි බලවතුන් ක්‍රියා කළා. අධිකරණයෙන් වැරදිකරුවන් වූ පුද්ගලයන්ගේ නඩු ගාස්තු රජය මගින් ගෙව්වා. මෙම වසරේ අප නිදහසේ 75 වැනි සංවත්සරය සමරමින් ජාතික ධජය ඔසවමින් ලොවට පෙනෙන්න පම්පෝරි ගැසීමෙන් වැඩක් නෑ.

බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දෙව්මැඳුරේ බෝම්බයක් ඇටවූවා කියා නිසි පරීක්‍ෂණයක් නොකර අහිංසක මිනිසුන් කීප දෙනකු කූඩු කළා. කිසි දෙයක් ඔප්පු කරන්න බැරිවුණා. ඔවුන්ව නිදහස් කළා. පොලිසියේ වගකීම මේකද? පොලිස්පතිවරයා හා පොලිසිය දේශපාලකයන්ට ඕනෑ විදියට වැඩ කිරීම වැරදියි. පාස්කු ප්‍රහාරය පිළිබඳව ජනාධිපති කොමිෂන් වාර්තාව නිකුත්වූ පසු ඇමැතිවරුන් සය දෙනකුගෙන් යුත් කමිටුවක් සාදා ඔවුන්ට වාසිවන නිර්දේශ ඇතුළත් කරන්න උත්සාහ කළා. සමහර නිර්දේශ වෙනස් කරන්න උත්සාහ කළා. මනුෂ්‍යයන්ගේ යුක්තිය වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් විශේෂ සේවයක් ඉටු කළා. තනතුරු නිසා නීතියෙන් එහාට යන්න නොහැකියි. ජනාධිපතිවරයකුට මුක්තිය අවශ්‍යය ඇයි? ජනතාවට බයද? යන ප්‍රශ්නය ඇති වෙනවා. විනිසුරුවන්ට මෙන්ම අහිංසක මිනිසුන්ගේ කඳුළු තම කඳුළු බවට පත් කරගත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ට මෙන්ම නීතිඥයන්ටද තම ස්තුතිය පුද කරනවා යැයිද අතිඋතුම් මැල්කම් කාදිනල් රන්ජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබාදුන් නඩු තීන්දුව පදනම් කර ගනිමින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් හා රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු අධ්‍යක්‍ෂ නිලන්ත ජයවර්ධන යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් අපරාධ නඩු ගොනු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බැව් අගරදගුරුතුමන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෂමිල් පෙරේරා සඳහන් කළේය.

කොළඹ අගරදගුරු පදවි මාධ්‍ය ප්‍රකාශක හා ‘ඥානාර්ථ ප්‍රදීපය’ පුවත්පතේ කර්තෘ සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා හා නීතිඥ දූතික පෙරේරා මහතාද මෙම මාධ්‍ය හමුවට එක්වූහ.

ජූඩ් ඩෙන්සිල් පතිරාජ,පිංතූර – නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment