අපි හැමදෙනා එක හුස්මට වැඩකර මේ රට ගොඩනගමු – අනුර කුමාර දිසානායක (ජාජබ)

162

අපි හැමෝම එක අරමුණකට පොරබැදුවොත් මේ රට ගොඩනගන්න පුළුවන්. “මුහුදට එලන මා දැල වගේ, එක වීරියට ඇදලා, මහා අස්වැන්නක් ගොඩට ගන්නවා වගේ’ අපි හැමදෙනාම එක හුස්මට වැඩ කරලා මේ රට ගොඩනගමු යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවසීය

‘ගැහැනු අපි එක මිටට’ මැයෙන් පසුගියදා පැවැති ජාතික ජන බලවේගය, හම්බන්තොට කාන්තා සමුළුව අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසෙද පැවසීය

අපේ රටට අවශ්‍ය අලුත් දේශපාලනයක්. බෙදන දේශපාලනය වෙනුවට හදන දේශපාලනයක්. මේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ටිකිරි ගිණුම්, මහන මැෂිං, පිරිත් පොත්, මළ ගෙයක් වුණොත් හාල් මිටි එවන කප්පිත්තෙක් හිටියා. මේ බෙදන දේශපාලනය නැවැත්විය යුතුයි. අපේ රටේ මිනිසුන් යාචක තත්වයට පත්කරලා, තමන්ගේ ජීවිතය පවත්වාගෙන යෑමට අවශ්‍ය ආදායම නැති, ගෙයක් හදාගන්න, දරුවට රස්සාව ගන්න, ආදායම් මාර්ගයක් උපයා ගන්න බැරි තත්වයක් හදලා, එයාලා උඩින් ඉඳගෙන බෙදන සිටුවරු බවට පත්වුණා. ඒ දේශපාලනයේ අන්තිම අවස්ථාවට අපේ රට ඇවිත් තිබෙනවා. දැන් බෙදන්න එනකොට හූ කියන තත්වයක් ඇති වෙලා.

මහින්ද මහත්තයා කටුනායක ගුවන් තොටුපළ ඉඹිනකොට පපුව හෝස් ගාලා පත්තු වුණා කිව්වා. මේ මනුස්සයා මේ රටේ මාතෘ භූමියට මොනතරම් ආදරේද? කියලා හිතුවා. කාන්තාව තුළ තිබෙන ඒ හැඟීම එයාලා කූද්දනවා. දරුවෙක් වඩා ගත්තම බලන්ඩකෝ පීතෘ සෙනෙහස උතුරනවා. මේ වගේ නායකයෙක් තමයි අපිට ඕනෑ කියලා හිතුවා. එක පැත්තකින් දරුවා ඔසවා ගන්න ගමන් අනෙක් පැත්තෙන් දරුවාගේ අනාගතය විනාශ කළා. දරුවන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍යය කඩා වැට්ටුවා. දරුවාට රස්සාවක් නැති රටක්, ණය ගෙවාගන්න බැරි රටක්, නිර්මාණය කළා. ජනතාවගේ හිතට වඩා සමීප වචනය පාවිච්චි කර, ‘අප්පච්චී’ කියන පෝස්ටර් ගැහුවා. එදා අපි රැවටුණා. අද පේනවා අප්පච්චි කෙළපු කෙළිල්ල. එයා අප්පච්චි වුණේ, එයාගෙ දරුවන්ටයි, මැරෑටි දේශපාලකයන්ටයි, එයා වටා ඉන්න චෞර කණ්ඩායමටයි. පුරවැසියන්ට අප්පච්චි වුණේ නැහැ. අද බැරි බැරි ගානේ වේදිකාවට නගිනවා. කාවෙනුවෙන්ද? පුතා වෙනුවෙන්. පුරවැසියන් වෙනුවෙන් නෙවෙයි. මීටර් 20ක දුර පේන්නේ නැති එයා රෑ නිරීක්ෂණ චාරිකා යනවා.

මහින්ද රාජපක්ෂ, නැව් නොඑන වරායක්, මැච් නොගහන පිට්ටනියක්, සම්මන්ත්‍රණ නොතබන සම්මන්ත්‍රණ ශාලාවක් හැදුවා. සිරගෙයක් හැදුවා සෙනඟ පිරිලා. පොදු ප්‍රවාහනයේ ගමන් ගන්නා කාන්තාවන්ගෙන් 72%ක් කුමන හෝ ලිංගික අඩම්තේට්ටමකට ලක්වෙනවා. මේ ඛේදවාචකවල අවසන් ගොදුර බවට පත්වෙලා තිබෙන්නේ ඔබ. සමාජය වෙනස්කරන ගමනේදි සක්‍රීයව ඉදිරියට එන්න ඕනෙ ඔබ. මේ පීඩාවෙන් ගැලවෙන්න පළමුකොටම මේ දේශපාලනය වෙනස් කරන්න ඕනෑ. කළ යුතු අවශ්‍යම දේ තමයි දේශපාලන වෙනස. දේශපාලන වෙනස සඳහා අපි බලය ගන්න ඕනෑ.

සමහර රටවල් පරාජයෙන් නැගිටලා තිබෙනවා. ජපානය දෙවන ලෝක යුද්ධයේදි ජර්මනිය පැත්තෙ හිටියේ. ජර්මනිය පරාද වුණා. ජපානය පරාජය අභියස හිටියා. ඇමෙරිකාව විසින් පරමාණු බෝම්බ ජපානයේ හිරෝෂිමා, නාගසාකිවලට දැම්මා. මිනිස් ශිෂ්ටාචාරයේ සිදුකළ දැවැන්තම ඛේදවාචකය ඒ. අදත් එහි විකෘතිමය ප්‍රතිඵල අත්විඳිනවා. ජපානය පරාජයට පත්වුණා. නමුත් එම පරාජය ඔවුන් ජයග්‍රහණයේ මාවත බවට පත්කර ගත්තා. ආසියාවේ විශාලම තාක්ෂණික රාජ්‍යය බවට පත්කරන්න එම රටේ නායකයන්ට හැකියාව ලැබුණා. අපේ ගම්වල මතයක් තිබෙනවා “කන දේකට වස දාන්න හොඳ නැහැ’ කියා. හැබැයි සෞඛ්‍ය ඇමතිලා බෙහෙතට වස දානවා. දැන් හෙළිදරව් වෙලා තිබෙනවා, සමහර රෝගවලට ලබාගෙන තිබෙන ඉන්ජෙක්ෂන් එකෙන් දීලා තියෙන්නෙ වතුර. තව පරීක්ෂණයකින් හෙළිදරව් වී තිබෙනවා ඒ ඉන්ජෙක්ෂන්වල වෙනත් දිලීර වර්ගයක් තිබුණු බවට තොරතුරු. අප ගන්නා බෙහෙත්වලින් අප ලෙඩ ලබාගන්නවා. ඔබ හිතුවාද මෙහෙම පාලකයෝ ලංකාවේ අපට ලැබෙයි කියා. බෙහෙත් පෙත්තෙන් සොරකම් කරන පාලනයක්. මේ පාලකයන් පළවා හැර බලය අත්පත් කර ගැනීම අවසානය නොවෙයි. මේක වෙනස් කිරීමේ ආරම්භයයි. වැඩේ පටන් ගන්න ඕනෙ පාලකයන් පළවා හැර බලය අත්පත් කර ගැනීමේ ආරම්භයෙන්. දෙවනුව තිබෙන්නෙ මේ රට ගොඩනඟන එක.

පළමුකොට අපි පුරවැසියන්ට අවශ්‍ය මූලික දේවල් සහතික කරනවා. ආහාර පාන, අධ්‍යාපනය, සෞඛ්‍යය පහසුකම්, අපි ලබාදෙනවා. අපි ඔබ එකතු වෙලා හදමු, මේ රට. ගොවියා කුඹුරට යන්නේත්, ධීවරයා මුහුදට යන්නේත්, තමන්ට පමණක් පුද්ගලිකව යමක් ලබා ගැනීම සඳහා පමණක් නොවෙයි රටේ ආර්ථිකය පෝෂණය කරනවා යන අරමුණින්. දරුවා ඉගෙන ගන්නේ, තමන්ට පමණක් පෞද්ගලිකව යමක් ලබා ගැනීම සඳහා පමණක් නොවෙයි රටක් හැටියට ඉස්සරහට ගෙනයාමේ අරමුණින්. ක්‍රීඩකයා ක්‍රිකට් ගහන්නේ අයි.පී.එල්. ගහන්න බලාගෙනම නොවෙයි; රටට කීර්තිය, අභිමානය ගේනවා කියන අරමුණින්. තරුණයා නව සොයා ගැනීම් කරන්නේ තමන්ට කීර්තිය ලබාගැනීම සඳහා පමණක් නොවෙයි රාජ්‍යය ගොඩනැගීමේ අරමුණින්, දේශපාලකයා රට පාලනය කරන්නේ තමන්ට යමක් උපයා ගැනීමේ අරමුණෙන් නොවෙයි, මේ රට කීර්තිමත් රජ්‍යයක් බවට පත්කර ගැනීමේ අරමුණෙන්. අපි හැමෝම එක අරමුණකට පොරබැදුවොත් මේ රට ගොඩනගන්න පුළුවන්. “මුහුදට එලන මා දැල වගේ, එක වීරියට ඇදලා, මහා අස්වැන්නක් ගොඩට ගන්නවා වගේට් අපි හැමදෙනාම එක හුස්මට වැඩ කරලා මේ රට ගොඩනගමු.

advertistmentadvertistment
advertistmentadvertistment