කැලණිය දුරුතු මහා පූජෝත්සවය

114

ලක්වැසි අපට ආවේණික වූ බොදු හැදියාව හෙවත් ශ්‍රී ලාංකේය බෞද්ධ සංස්කෘතිය අපූර්ව වූත් අනන්‍යවූත් ලක්ෂණවලින්ම පොහොසත් වෙයි. තථාගත බුදු පියාණන් ප්‍රමුඛ තෙරුවන මමත්වයෙන් ගරුකොට ආරක්ෂා කරමින් වෙහෙර විහාර මෙන්ම බෞද්ධ සම්ප්‍රදායයන් හා සිරිත් විරිත් සුරක්ෂිත කොට පෝෂණය කරීම තම දිවියේ එක් කොටසක් ලෙස සළකන ලක්වැසියෝ ගැඹුරු අවබෝධයකින් ද සුවිශේෂී කැපවීමකින්ද ඊට දායක වෙති.

සෑම වසරකම දුරුතු මස උදාවීමත් සමග බුදුපියාණන්ගේ තෙවන ලංකාගමනය ඉමහත් ගෞරවයෙන් අනුස්මරණය කරමින්, ඓතිහාසික කල්‍යාණි රාජමහා විහාරස්ථානයෙහි පැවැත්වෙන දුරුතු පුණ්‍යොත්සව මාලාවට කැලණි ප්‍රදේශයේ බොදු ජනතාව සමග සමස්ත ලක්වැසි බොදු ජනතාව ඉතසිතින් කැපවී දායකවනුයේ ද ඉමහත් බුද්ධාලම්බන ප්‍රීතියෙනි.

සම්බුදු සිරිපා පහසින් පරම පූජනීයත්වයට පත් වූ ඓතිහාසික කැලණිය පුදබිම සම්භාවනීය මෙන්ම සුවිශේෂිබවින් ද අනූනව ලෝකවාසී බෞද්ධ ජනයාගේ පුදපූජා සත්කාරයන්ටත් අභිවාදනයටත් විෂය වූයේ දුරාතීතයේ සිටය. ජීවිතකාලයෙන් එක් වරක් වූව සැදැහැ සිතින් කැලණි පුදබිම වන්දනා කිරීම එතෙක් කළ සියලු පව් දුරලන මහෝත්තම පින්කමක් ලෙස ලක්දිව බොදුජනයා ඉතිහාසය පුරා පිළිගනුලැබුයේ එම සුවිශේෂත්වය නිසාම විය යුතුය.

විවිධ අර්ථයන්ගෙන් ලංකාවේ ජනසමාජය නැවුම් මුහුණුවරක් ගෙන ඇති පසුබිමක මෙවර ද කැලණි විහාරයේ දුරුතු පුණ්‍යමහොත්සවය ඓතිහාසික කල්‍යාණි රාජමහා විහාරය හා කිත්සිරිමෙවන් කැලණි විහාරය යන උභය විහාරධීශ්වර අතිපූජ්‍ය මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිතාභිධාන නාහිමියන්ගේ මග පෙන්වීමෙන් හා මෙහෙයවීමෙන් තෙමසක පමණ කාලයක් පුරා මහත් ශ්‍රද්ධාවෙන් ද සුවිශේෂි සම්භාවනීය හා පූජනීය බවකින් ද යුක්තව පවත්වනු ලැබීම ලංකාවාසි සියලු බෞද්ධ ජනයාගේ ප්‍රසාදානන්දයට හේතු වී ඇත. එළැඹෙන දුරුතු මස 22 23 හා 24 දිනවල පූර්ණ ඓතිහාසික පෙරහැර පුණ්‍ය මහොත්සවය පැවැත්වේ.

ඔක්තෝබර් මස පුන්පෝහෝදින සිට පුරා තුන්මසකට අධික කාලයක් දිනපතා චිරප්‍රසිද්ධ ධර්මදේශකයාණන් වහන්සේලා විසින් පවත්වනු ලබන සුමධුර ධර්මදේශනා මාලාවකින් කැලණි දුරුතු පුණ්‍ය මහොත්සවයේ සමාරම්භය සනිටුහන් කෙරේ. එහි සමාප්තියත් සමග ලක්වැසි සැමට සෙත්පතා පැවැත්වෙන සත්වරුවේ මහාපරිත්‍රාණ ධර්මදේශනය ආරම්භ වෙයි. පිරිත් දේශනාවට ආවේණික පෞරාණික මෙන් ම සාම්ප්‍රදායික අභිචාර හා චාරිත්‍ර විධි සියල්ල නොපිරිහෙළා සපුරමින් මෙම දුර්ලභ පින්කම පැවැත් වේ. ඊට ලක්දිව සිව්දිගින් වැඩමවන දක්ෂ හා ව්‍යාක්ත පරිත්‍රාණ ධර්මදේශකයන් වහන්සේලාගේ සහභාගීත්වය හා දායකත්වය හිමිවීම බොදුජනයාගේ භාග්‍යයකි. දොරකඩ අස්න හා අනුශාසනා දේශනාවෙන් පරිසමාප්තියට පත්වන පරිත්‍රාණ ධර්මදේශනා මහපින්කම දුරුතු මසින් උදාවන නව වසරේ ලක්වැසි සැමට ඉමහත් ආශිර්වාදයක් ලෙස සළකනු ලැබේ.

අනතුරුව උදාවන්නේ සුවිශේෂි පෙරහැර උත්සවය සමයයි. පිරිත් දේශනාවට පූර්වයෙන් ද අලංකාර පරිවාර පෙරහැර කිහිපයක් පැවැත්වේ. කැළණි පොලිසිය, පිලපිටිය මහා විද්‍යාලය හා ශ්‍රී කල්‍යාණි ධර්මවිද්‍යාලය සංවිධානය කරන එම පෙරහැර මෙවර විවිධ අලංකාර නව්‍යාංගයන්ගෙන් ශෝභමානව අත්‍යලංකාරයෙන් පැවැතියේ ඊට දායක, මූලික හා කාරක වූ සියල්ලන්ගේ මහත් ශ්‍රද්ධාව හා කැපවීමම හේතුවෙනි.

කැළණි දුරුතු පින්කම් මාලාවේ සුවිශේෂාංග මෙවර අත්‍යාලංකාරයෙන් හා අතිඋත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු සංවිධානය කෙරෙන පෙරහැර මහෝත්සවයයි. පිළිවෙළින් ජනවාරි 21 වනදින දේව දූත පෙරහැර උඩමළුවේ ද ජනවාරි 23 වන දින ධාතු පෙරහැරද හා 24වන දින අවසන් රන්දෝලි මහා පෙරහැරද පැවැත්වේ. ඊට පරිවාර පෙරහැර වශයෙන් විෂ්ණු, කතරගම හා විභීෂණ දේවාල පෙරහැර එක් වේ. අඩසියයකට ආසන්න අලංකාර ලෙස සරසනු ලැබූ අලි ඇතුන් සමූහයකින් ද, උඩරට, පහතරට හා සබරගමු යන ත්‍රිවිධ සම්ප්‍රදායයන්ට අයත් සියගණනක් ශිල්පීන්ගේ වාදන හා නර්තනාංගයන්ගෙන් ද අත්‍යාලංකාර වන මෙවර පෙරහැර දෙස් විදෙස් ජනයාගේ ඉමහත් බුද්ධාලම්බන ප්‍රීතියට හේතුවනු ඇත. එසේම එය එළැඹුණු නව වසරේ අගනුවරාසන්නයේ මුළුදෙන මහා සංස්කෘතික මංගල්‍යය ද වනු ඇත.

ජනවාරි 25 වන දිනට යෙදෙන දුරුතු පුරපසොළොස්වක පුන්පොහෝ දින දවස පුරා පැවැත්වෙන දාන, ශීල, භාවනා පින්කම් මාලාවෙන් මෙම මා හැඟි ආශිර්වාදාත්මක පුණ්‍ය මහෝත්සවය නිමාවට පත් වේ.

දිවයිනේ නන්දෙසින් මෙම උත්සව හා පින්කම් මාලාවට සහභාගිවීම සඳහා පැමිණෙන දේශීය සුපින්වතුන්ගේ මෙන්ම මෙම දුර්ලභ අවස්ථාවන් සියැසින් දැක විඳගැනීමට පැමිණෙන විදේශික සැමට අවශ්‍ය පහසුකම් සැළසීමට ප්‍රදේශයේ රාජ්‍ය හා ස්වෙච්ඡා සංවිධානවල සහභාගීත්වයෙන් හා දායකත්වයෙන් කටයුතු පිළියෙළ කෙරේ.

ශ්‍රී ලාංකේය බෞද්ධ සංස්කෘතිය පෝෂණය හා සංරක්ෂණය කිරීමේ අපගේ ගෞරවණීය නායක මාහිමිපාණන් වහන්සේ උත්කෘෂ්ටාභිප්‍රායට ආශිර්වාදය දායකත්වය අනුග්‍රාහකත්වය හා සහභාගීත්වය දක්වන පිරිස අතිවිශාලය. කැළණිය දායක සභාවේ සභාපති වෛද්‍ය සමන් වීරසිංහ මැතිතුමන්, ප්‍රධාන බස්නායක නිළමේ තැන්පත් ධම්මික ආටිගල මැතිතුමා, විභීෂණ දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් ලලිත් හපන්ගම, විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් ජයරාජ චන්ද්‍රසේකර සහ කතරගම දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් සමන්ත පෙරේරා, දායක සභාව, විහාරස්ථ සංවර්ධන සභාව, විශේෂ දායකත්වයන් සපයන පින්වතුන් සහ ආයතන ශ්‍රී කල්‍යාණි ධර්ම විද්‍යාලය, ජනාධිපති කාර්යාලය, ගම්පහ දිසාපති ඇතුළු රාජ්‍ය ආයතන, ශ්‍රී ලංකා පොලිසිය, ත්‍රිවිධ හමුදාව, කැලණිය ප්‍රාදේශීය සභාව හා මාධ්‍ය ආයතන විශේෂ පුණ්‍යානුමෝදනා පූර්වකව සිහිපත් කළ යුතුය.

මෙවර කැළණි රාජමහා විහාර ආලෝක පූජාවේ දායකත්වය දරනු ලබන්නේ කිරිබත්ගොඩ තිලකවර්ධන ටෙක්ස්ටයිල් ආයතනයේ සභාපති සුනිල් තිලකවර්ධන මැතිතුමාය.

ධම්මික ආටිගල
ප්‍රධාන බස්නායක නිලමේ
කැලණිය රජමහා විහාරය.

advertistmentadvertistment
advertistmentadvertistment