තෙල් හෑරීම සහ නිධන් හෑරීම (1)

1447

ශ‍්‍රී ලංකාව මේ මොහොතේදී පත්ව ඇත්තේ 1506 දී දෙවනි වතාවට මෙහි පැමිණි පෘතුගීසි අද්මිරාල් ලොරෙන්සෝ ද අල්මේදා පත්වූ විපත හා සමාන විපතකටය. (ලොරෙන්සෝ ද අල්මේදා 1505 දී සිය නැව කුණාටුවකට අසුවීම නිසා මෙරටට ගසාගෙන පැමිණි අතර මෙහි තිබෙන බිස්නස් වාසි බලාගෙන ආපසු ගොස් පෘතුගාල රජයට මේ රට පාවාදීම සඳහා 1506 දී දෙවන වතාවට පැමිණියේය) ශ‍්‍රී ලංකාවේ මුහුදුබඩ ප‍්‍රදේශවල රජතුමා සහ පෘතුගාලයේ රජතුමා අතර සම්බන්ධයක් ඇතිකරන ව්‍යාජයෙන් පෘතුගීසි තානාපතියකු සේ ඔහු මුහුදුබඩ ප‍්‍රදේශවල ඇවිදින්නට පටන් ගත්තේය. මේ කියන කාලයේදී ශ‍්‍රී ලංකාවේ අරක්කු නැත. තිබුනා නම් තිබුණේ මෙහි එන අරාබි වෙළෙන්දෙක් විසින් හිටපු ගමන් ගෙනෙන ලද, අසමෝදගම් වලින් පෙරූ අරක් නමැති මද්‍යසාරයයි. ලොරෙන්සෝ ද අල්මේදා තද බේබද්දෙකි. තමා පැමිණි නැවෙන් ලැබෙන බ‍්‍රැන්ඩි සලාකය නිම වූ පසු ඔහු සිංහලයන් වෙතින් ණයට පොල් රා බොන්නට පටන් ගත්තේය. අන්තිමේදී ණයකාරයන් ණය ඉල්ලන්නට එනවිට වෙරළ දක්වා දිව ගොස් බෝට්ටුවක නැ`ගී නැවට සම්ප‍්‍රාප්ත වී සැඟවීමට අල්මේදාට සිදුවිය. අල්මේදා අනුව යමින් ශ‍්‍රී ලංකාව මේ මොහොතේදී හතර අතේ ණය වූ රාජ්‍යක් බවට පත්ව ඇත. අප තොග පිටින ණය ගැනීමට පටන් ගන්නේ 1977 දී හඳුන්වාදෙන ලද විවෘත ආර්ථිකයෙන් පසුය. ලංකාව යනු පුංචි දූපතක් යැයි කීවාට එය බොරුවකි. එය මධ්‍යම ප‍්‍රමාණයේ ලොකුත් නැති පොඩිත් නැති දූපතකි. එංගලන්තයේ සිටින ජනගහනයෙන් භාගයකට සමාන ජනගහනයක් මේ රටේ වෙසෙති. එසේම මේ රටේ මධ්‍යම පංතිය සෙසු ආසියාතික රටවල සිටින මධ්‍යම පංතියට වැඩි වේගයකින් විස්ථාපනය වේ. විශාල වන මධ්‍යම පංතියට තිබෙන අවශ්‍යතා බහුලය. ඒ නිසා අද වනවිට මේ රටේ නිවාස වලින් වැඩි හරියක රූපවාහිනියක් හා ශීතකරණයක් ඇත. රටේ ජනහගනය මෙන් දෙගුණයක් ජංගම දුරකථන රට තුළ තිබේ. මෝටර් රථ, බස් රථ, මෝටර් සයිකල්, ත‍්‍රිරෝද රථ සහ දුම්රිය ද අති විශාල ප‍්‍රමාණයක් රට තුළ දිවෙයි. මේ සඳහා වැය කිරීමට සුවිශාල ඩොලර් ස්කන්ධයක් අවශ්‍යය. එහෙත් ශ‍්‍රී ලංකාව තවදුරටත් නිෂ්පාදන ආර්ථිකයක් ඇති රටක් නොවේ. කොවිඞ් වසංගතය නිසා විදේශවල සිටින ශ‍්‍රී ලාංකිකයන් රට තුළට එවන ඩොලර් බිලියන කිහිපයද සංචාරක කර්මාන්තයෙන් උපයාගත් ඩොලර් බිලියන කිහිපයද අපට අහිමි විය. පොල් සහ රබර් තවදුරටත් විදේශ විනිමය නොඋපදවන අතර තේ පිටරට යැවීමෙන් කියන තරම් ආදායමක් ද නොලැබේ. මේ සියලූ කරුණු නිසා වැඩි වැඩියෙන් පිට රටවල් වලින් විදේශ මුදල් ණයට ගැනීමට අපට සිදුවී තිබේ. එසේ ණයට ගන්නා මුදලින් සැලකිය යුතු ඩොලර් ප‍්‍රමාණයක් වැය වන්නේ පිට රටින් තෙල් ගෙන්වීමට ය. කවුරු කොහොම කිව්වත් නූතන ලෝකය භ‍්‍රමණය වන්නේ ඞීසල් සහ පෙට‍්‍රල් වලිනි. එල් පී ගෑස් වලිනි. එල් එන් ජී ගෑස් වලිනි. මේ නිසා හැම රටකම ප‍්‍රාර්ථනය වී ඇත්තේ තම භූමියෙන් තෙල් හෝ ගෑස් මතුවේවා යන්නයි. ලංකාවේ තෙල් පිළිබඳ කතාව මෙතැන් සිට ආරම්භ කරමු.

තෙල් හෑරීම යනු ළිං හෑරීම හෝ අගල් හෑරීම වැනි සරළ කටයුත්තක් නොවේ. මිනිරන් හෑරීම හෝ යකඩ කැණීම වැනි සංකීර්ණ කටයුත්තක් ද නොවේ. මැණික් හෑරීම වැනි මාරාන්තික කටයුත්තක් ද නොවේ. තෙල් හෑරීම මේ සියලූ හෑරීම්වල සම්මිශ‍්‍රණයක් වන අතර Mother of all mining හෙවත් සියලූ කැණීම්වල මව ලෙස සැළකෙන කැණීම් වර්ගයකි. ශ‍්‍රී ලංකාවේ තෙල් ඇති බවට පළමු පණිවිඩය ලැබෙන්නේ එක්දහස් නවසිය හැත්තෑ ගණන්වල මුල් කොටසේ මන්නාරමේ පිහිටි පේසාලේ ප‍්‍රදේශයෙනි. මෙකළ මේ රටේ අගමැති වූයේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියයි. පේසාලෙන් හාරන ලද තෙල් සාම්පල කිහිපයක් හෙවත් බොරතෙල් බෝතල් කිහිපයක් කොළඹට ගෙනෙන ලද නමුදු ඒවායින් ලාම්පු පත්තු වූයේ නැත. ඒ අතර බණ්ඩාරනායක රජයට විරුද්ධව මැතිවරණ ප‍්‍රචාරක වැඩවල නිරතව සිටි ජේ. ආර්. ජයවර්ධන ගේ යූ එන් පී ය පේසාලේ තෙල් කතාව පල් බොරුවක් බවට ප‍්‍රචාරය කළේය. ඒ අතර බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුව පැරදුනු අතර තෙල් කතාව ආපසු පොළව යටටම ගියේය. මේ කතාව නැවත මතුවන්නේ මහින්ද රාජපක්ෂ පළමු වරට ජනාධිපති වූ පසුවය. මේ වකවානුවේදී වර්ගවාදී යුද්ධය තදින්ම පැවති අතර නෝර්වේ ආණ්ඩුව ප‍්‍රභාකරන්ට මහත් සේ සහයෝගය දුන්නේය. ඒ, උතුරු නැගෙනහිර ඊළාම් රාජ්‍යයේ ජනාධිපති බවට ප‍්‍රභාකරන් පත්වීමෙන් පසු ඒ පළාතේ ඇති තෙල් සහ ඛනිජ සම්පත් ටික සුද්ද කරගෙන යෑමේ අභිලාෂයෙනි. වැඩිදෙනා නොදන්නා කරුණක් වන්නේ යුද සමයේදී නෝර්වේ ආණ්ඩුව මන්නාරම් ද්‍රෝණියේ වර්ග කිලෝමීටර් දහසක පමණ තෙල් ගවේෂණය කර තෙල් ළිං හෑරීමට සුදුසු තැන්වල සිතියමක් සකස් කළ බවය. මේ සිතියමට අනුව මන්නාරම් ද්‍රෝණියේ තෙල් හෑරීමට නෝර්වේ ආණ්ඩුව යෝජනා පත‍්‍රයක් ඉදිරිපත් කළේය. එහෙත් රාජපක්ෂ ආණ්ඩුව තුළ එවකට සිටි ජාතික බලවේග මේ සූරාකෑමට ඉඩ දුන්නේ නැත. එයින් කෝපයට පත් නෝර්වේ තෙල් ගවේෂකයෝ සිය තෙල් සිතියම රෝල් කරගෙන මව්බිම බලා ගියහ. ලංකා ආණ්ඩුව මේ සිතියම ඉල්ලන ලද නමුදු සුවිශාල මිලක් ගෙවන්නේ නම් පමණක් එය දෙන බව නෝර්වේකාරයෝ කීහ. ඒ මිල සළකා බැලීමේදී ඉදිරි අවුරුදු ගණනාවකටම තෙල් පිට රටින් ගෙන්වීම ලාභ බව හැඟී ගිය නිසා සිතියම දිගටම රෝල් කර නෝර්වේ රටේම ගසා ගැනීමට ලංකා ආණ්ඩුව විසින් ඉඩදෙන ලදී.

තෙල් ගවේෂණය පිළිබඳ නැවත වතාවක් ආණ්ඩුව තුළ උනන්දුවක් ඇතිවී තිබේ. මන්නාරම් ද්‍රෝනියෙහි තිබෙන කුඩා බිම් කැබලි 873 ක බොර තෙල් බැරල් මිලියන 2000 ක් තිබෙන බවත් එහි වටිනාකම ඇමෙරිකන් ඩොලර් බිලියන 150 බවත් මෙම ද්‍රෝණිය තුළ ගෑස් ඝන අඩි ටි‍්‍රලියන 9 ක් තිබෙන බවත් එහි වටිනාකම ඇමෙරිකන් ඩොලර් බිලියන 17 ක් බවත් ඛනිජ තෙල් ඇමැති උදය ගම්මන්පිල පසුගියදා පැවසීය. මේ නිසා ඛනිජ තෙල් සංවර්ධන පනත නමැති පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කර ඛනිජ තෙල් සංවර්ධන අධිකාරියක් පිහිටුවීමට ද නියමිතය. හදිසි කොරෝනා ප‍්‍රශ්නයක් උද්ගත වී පාර්ලිමේන්තුවට නිවාඩු දුන්නොත් හැර මේ පනත මේ මාසයේදී ඉදිරිපත් කිරීමට නියමිතය. ශ‍්‍රී ලංකාවේ සමස්ත විදේශ ණය ප‍්‍රමාණය ඇමෙරිකන් ඩොලර් බිලියන 47 කි. ගම්මන්පිල කියන තෙල් වැඬේ හරි ගියොත් අපට සියලූ කරදරවලින් ගොඩ ඒමට පුළුවන. අවසන් විග‍්‍රහයේදී තෙල් හෑරීම යනු නිධන් හෑරීම හා සමාන කටයුත්තකි. නිධානයක් ලේසියෙන් හමුවන්නේ නැත. එහෙත් හමුවුනොත් සියලූ දෙනාම ගොඩය. තෙල් හෑරීමත් එසේය. මේ පිළිබඳ ඉතිරි කොටස හෙට සාකච්ඡා කරමු.

advertistmentadvertistment
advertistmentadvertistment