සාධාරණයට කොඩි දමා මෙලොවින් සමුගත් නීලම්මහරේ ආදරය දිනූ සමතපාලට ගම්මුන්ගෙන් ගෞරව

101

කොළඹට නුදුරුව පිහිටි බොරලැස්ගමුව නගරය ආසන්නයේ පිහිටා ඇති නීලම්මහර ග්‍රාමයේ ඉතා දීර්ඝ කාලයක් තිස්සේ තනිව වාසය කළ වයෝවෘද්ධ පුද්ගලයකු මිය යෑමෙන් පසුව දේහය තැබීමට ස්ථානයක් නොමැති වීම හේතුවෙන් ගම්වාසීන් හා ප්‍රදේශවාසීන් එක්ව නීලම්මහර පුරාණ විහාරය ඉදිරිපිට පිහිටි මාර්ගය අසබඩ ඇති බස් නැවතුමේ තබා ආගමික වතාවත් හා අවසන් කටයුතු සිදු කිරීමේ පුවතක් ඊයේ (17 දා) වාර්තා විය.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 67 ක් වූ ඩබ්ලිව්. දොඩංගොඩ ආරච්චිගේ වික්ටර් නමැති වෘත්තියෙන් පොල් කඩන්නෙකු ලෙස රැකියාව කළ පුද්ගලයෙකි.

උපන්දා සිටම නීලම්මහර ග්‍රාමයේ වාසය කළ ගමේ කවුරුත් ආදරයට (සමතපාල) නම් ආදර නාමයෙන් හැඳින්වූ මියගිය වික්ටර් මහතා ඉතා නොබෝ කාලයක් වනතෙක්ම ගමේ කුලී වැඩ සහ පොල් කැඩීමේ සේවය ඉතාම සාධාරණ මිල ගණන් යටතේ ගම්වාසීන් සහ ප්‍රදේශවාසීන්ට ලබාදෙමින් දැහැමිව හා සාධාරණව ජීවත් වූ පුද්ගලයෙක් බව ශෝකයට පත්ව සිටින ගම්වාසීන් පැවසීය.

මහලු වියේ පසු වූ මොහු මීට මාස අටකට පමණ පෙර ගමේ වාසය කරන ව්‍යාපාරික, සමාජ සේවක මහතෙකු වන එම්. ඩී. චන්ද්‍රරත්න මහතා විසින් සමථපාල මහතාව මහලු නිවාසයකට මුදල් ගෙවා භාරදී තිබුණේ හොඳින් රැක බලාගැනීම පිණිසය. නමුත් එම මහලු නිවාසයෙන් සමථපාල මහතාව රැකබලා ගැනීමට නොහැකි බව පවසමින් නැවතත් නීලම්මහර ගම්මානයට ගෙනවිත් දමා යෑමෙන් පසු චන්ද්‍රරත්න මහතා විසින් ගමෙහි වෙල්යායට මායිම්ව පිහිටා තිබූ තමන්ට අයත් කුඩා ඉඩම් කැබැල්ලක තැනූ පැල්පතක් වැනි ස්ථානයක මහලු සමථපාල නැවැත්වීමට කටයුතු යෙදූ බවද ගම්වාසීන් අප වෙත පැවසීය.

එතැන් පටන් එම කුඩා පැල්පතෙහි වාසය කළ සමථපාල මහතාට ආහාර සහ ඇඳුම් පැළඳුම් මෙන්ම ඖෂධ ලබාදී ඇත්තේ නීලම්මහර ගම්වාසීන් හා පුරාණ විහාරස්ථානයේ විහාරාධිකාරී වැලිමඩ චන්ද්‍රරතන ස්වාමීන් වහන්සේ සහ ව්‍යාපාරික චන්ද්‍රරත්න මහතා විසිනි.

ඉකුත් 16 දා සන්ධ්‍යාවේදී මෙලොවින් සමුගත් සමථපාල මහතාගේ දේහය තැබීමට ඔහු මියයන තෙක් වාසය කළ පැල්පතෙහි නොහැකි බැවින් නීලම්මහර පුරාණ විහාරස්ථානය ඉදිරිපිටින් දිවෙන මාර්ගය අසබඩ පිහිටා ඇති බස් නැවතුම්පොළට යාබදව තැනූ මඩුවක දේහය තැබීමට චන්දරත්න මහතා ඇතුළු ගම්වාසීන් විසින් කටයුතු කර තිබුණේ මුළුමහත් ජන සමාජයටම ආදර්ශයක් ලබා දෙමින්ය.

ඩබ්ලිව්. ඩී. වික්ටර් (සමථපාල) මහතාගේ අවසන් කටයුතු නීලම්මහර පුරාණ විහාරයේ විහාරාධිපති වැලිමඩ චන්දරතන ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය විසින් පැවැත් වූ ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව අවසන් කටයුතු කටුවාවල 10 කණුව පොදු සුසාන භූමියේදී ඊයේ (17 දා) සන්ධ්‍යාවේදී සිදු කරනු ලැබීය.
එස්. ඩී. අබේසිංහ – මහරගම

advertistmentadvertistment
advertistmentadvertistment