ජාතික සභාව ආණ්ඩුවේ කෙමනක්ද? දේශපාලන කැටයමක්ද?

185

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ජාතික සභාවක් පිහිටුවීමේ යෝජනාව ඡන්ද විමසීමකින් තොරව සම්මත කර ගැනීමට ආණ්ඩුවට හැකි විය. එහෙත් එම විවාදයේදී විපක්‍ෂ කණ්ඩායම්වලින් ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් වූ විවේචන, විශ්ලේෂණ විමසා බලද්දී එයින් වර්තමාන සමාජ, දේශපාලන මෙන්ම ආර්ථික අර්බුදවලට සාධනීය ප්‍රතිඵල ලබාගත හැකිද යන්න ප්‍රශ්නකාරීවේ. අද ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අර්බුද විසඳා ගැනීම සඳහා කඩිනම් ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් අවශ්‍ය බව ඒ පිළිබඳ අපට උපදෙස් දෙන දේශීය හා විදේශීය ප්‍රාමාණික විද්වත්හුද අවධාරණය කරති. රටක ආර්ථික අර්බුදයක් යනු කිසිසේත් වෙනම විසඳුම් සෙවිය නොහැක්කකි. එය නියත වසයෙන්ම දේශපාලනය සමග දැඩිව බැඳී තිබෙන්නකි. වර්තමාන අර්බුදය මූලිකවම දේශපාලනය හා බැඳුණු, එහි අනිවාර්ය විපාකයක් බව අප මෙයට පෙරද සඳහන් කළ කරුණකි. දේශපාලන අවබෝධයක් හා රාජ්‍ය කළමනාකරණය පිළිබඳ පරිචයක් නොවූ ගෝඨාභය යුගයේදී ඇරඹුණු දෙදරීම්, බිඳවැටීම් මහා පිපිරීමක් බවට පත්ව රට ගැඹුරු ප්‍රපාතයකට ඇද වැටුණු බව අද රටම දන්නා කරුණකි. එයින් උද්ගතවූ ආර්ථික අර්බුදය සමනය කර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සරණ විනා අන් සරණක්ද අද අපට නැත.

ගෝඨාභයද අයත් වූ රාජපක්‍ෂ පාලනයට එරෙහිව නැගුණු උද්ඝෝෂණ, විරෝධතාවලට ජනතාවගෙන්ද විශාල අනුග්‍රහයක් ලැබීම නිසා රටේ දේශපාලනයෙහි යම් වෙනසක් සිදු වුවත් එය නිසැකයෙන්ම එම විරෝධතාකරුවන් අපේක්‍ෂා කළ අභිනව දේශපාලනයක සමාරම්භයද නොවීය. නව ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට උචිත දේශපාලන ප්‍රතිසංස්කරණයක හැරවුම් ලක්‍ෂ්‍යය එදා රාජපක්‍ෂවරුන් පසු බැස යාමෙන් ආරම්භ වනු ඇතැයිද සමහරු කල්පනා කළහ. එහෙත් අද වන විට අප අබියස තිබෙන දේශපාලන යථාර්ථය කුමක්ද? එය යළි පොහොට්ටුවේ බලය පෙළ ගැස්වීමක් නොවේද? රාජපක්‍ෂ කඳවුරෙන් ගිලිහී ගිය බලය යළිත් ගොඩනගා ගැනීම අද පොහොට්ටුවේ අභිලාෂය වී තිබේ. ආන්දෝලනාත්මක රාජ්‍ය ඇමැතිවරුන් පත්කිරීම එහි එක් ඵලයකි. එසේම නුදුරු අනාගතයේදීම එදා සිටි ඇමැතිවරුන්ගෙන් කීප දෙනෙක් හෝ යළි එම ධුරවලට පත්වුවහොත් පුදුම විය යුතුද නැත.

ආණ්ඩුව ඉදිරිපත් කළ ජාතික සභා යෝජනාව විවේචනය කළ අනුර කුමාර මෙන්ම ඩලස්ද අවධාරණය කළේ එය රැවටිල්ලක් බවය. ඩලස් සෘජුවම ප්‍රකාශ කළේ ජාතික සභා සංකල්පය රාජ්‍ය ඇමැතිවරුන් පත් කිරීම සම්බන්ධයෙන් නැගුණු චෝදනා වසා තැබීමට යොදා ගත් සුදු පිරුවටයක් බවය. අනුර කුමාරට අනුව ජාතික සභාවේ මූලික හරය ආණ්ඩුවේ යෝජනාවෙහි නැත. මෙම යෝජනාව විපක්‍ෂය විසින් ඒ සම්බන්ධයෙන් කරන ලද යෝජනාවට ඉඳුරා පටහැනි එකක් බවද ඔහු පවසයි. ජාතික සභාව අන්තර්කාලීන ආණ්ඩුවක පදනම වන අතරම අගමැති හා කැබිනට් මණ්ඩලය ඇතුළු පත් කිරීම් හා ඒවායේ විෂය පථය ආදියත් එයින් නිගමනය වන බවද ඔහුගේ අදහස විය. එහෙත් ඒ සියල්ල මේ වනවිට ආණ්ඩුවේ අභිමතය පරිදි සිදු වී තිබෙන පසුබිමක ජාතික සභාව හුදු නාම මාත්‍ර කමිටුවක් විය හැකි බවද අනුරගේ විවේචනයයි.

ඉහත දැක්වූ පරිදිම මෙම ජාතික සභාවෙන් අපේක්‍ෂා කළේ දේශපාලන ස්ථාවරත්වයක් ඇතිකර ගනිමින් රට මුහුණ දී තිබෙන ව්‍යසනවලට විසඳුම් යෝජනා කිරීමය.

ජාතික සභාව ආණ්ඩුවේ කෙමනක්ද? දේශපාලන කැටයමක්ද?

ගාලුමුවදොර අරගලකරුවන් විසින් මෙම පවතින පාලන ක්‍රමය ප්‍රතික්‍ෂේප කරනු ලැබුවත් මෙබඳු සාමුහික දේශපාලන මෙහෙයුමක් ගැන ඔවුන් තුළද යම් කැමැත්තක් තිබෙන බව පෙනුණි. ජනාධිපතිවරයකුට යටත්වූ කැබිනට්ටුවක් හා දුර්වල ව්‍යවස්ථාදායකයක් විසින් රටට අහිතකර ප්‍රතිපත්ති තීරණ ගැනීම මෙම අරගලකරුවෝ දැඩිව හෙළා දුටුවෝය. ඔවුන්ට අවශ්‍ය වූයේ අභිනව වෙනසක් මගින් ජනතා අදහස් බලාත්මක කිරීමටය. ඔවුන්ගේ යෝජනාවල හරය වූයේද පුළුල් සාමූහික ප්‍රතිපත්ති අනුව රට ඉදිරියට යා යුතු බවය. ගෝඨාභයට රටින් පැනයාමට හේතු වූයේද එබඳු වෙනසකට මුල නොපිරීම නිසාය. එදා සර්ව පාක්ෂික පාලනයක් ඇතිකර ගත හැකි වූයේ නම් ඇතැම් විටෙක ගෝඨාභයට එබඳු විරෝධතාවක් පළ නොවන්නටද ඉඩ තිබුණි. ශ්‍රී. ල. නි. ප. නායක මෛත්‍රී පසුගිය දිනක පවසා තිබුණේත් පොහොට්ටුව එබඳු සර්ව පාක්‍ෂික පාලනයක් සඳහා අකමැති වූ බවකි. එසේ නම් මෙම ජාතික සභාවද පොහොට්ටුවට වුවමනා ලෙස කපා කොටා සකසා ගත් යෝජනාවක්ද? අනුර කුමාර මෙන්ම විමල් ද පවසා ඇත්තේ ආණ්ඩුවේ යෝජනාව හා මුලින් ඉදිරිපත් වූ යෝජනාව එකිනෙකට වෙනස් බවය. ස. ජ. බ. තුෂාර ඉඳුනිල් මෙම ජාතික සභා යෝජනාව හඳුන්වා තිබුණේ කුණු ගඳ ගහන මළසිරුරක්, සුදු රෙද්දකින් වැසීමක් ලෙසය.

මේ අනුව පාර්ලිමේන්තුව කාලය කා දමමින් විවාද කළේ කුමක් සඳහාද යන්න අපටද ප්‍රශ්නයකි. ජාතික සභාව පොහොට්ටුවේ කෙමනක් බව මේ විවේචන වලින් කෙනෙකුට හැඟී යනු නිසැකය. කුමක් වුවත් පොහොට්ටුව එබඳු ගුප්ත හා සටකපට අරමුණකින් මෙම ජාතික සභාව ස්ථාපිත කරන්නේ නම් එය ජනතාව රැවටීමකට වඩා තමන් රවටා ගැනීමක් බවද කිව යුතුය. ඇත්ත වසයෙන්ම අද වනවිට මෙරටේ සමාජ, ආර්ථික හෝ දේශපාලන ස්ථාවරත්වයක් නැත. පාර්ලිමේන්තුව සතු පොහොට්ටුවේ බහුතරය වුවද අඩුවෙමින් තිබේ. ඒ වෙනුවෙන් පොහොට්ටුවේ නායකයන්ට කළ හැකි එකම දෙය තම මන්ත්‍රී කණ්ඩායම මොන ආකාරයකින් හෝ බැඳ තබා ගැනීම පමණි. එහිදී කළ හැක්කේ ඔවුන්ට වරදාන හා ප්‍රතිලාභ ලබාදීම පමණි. තවත් වටයකින් ඇමැති මණ්ඩලය පුළුල් කිරීමට සූදානම් වන්නේද ඒ වර්ගයේ දේශපාලන කප්පම් වසයෙන් බවද පැහැදිලිය. එහෙත් එහිද සීමා තිබේ.

මෙහිදී රටේ අද තිබෙන දේශපාලන යථාර්ථය කුමක්ද යන්නත් නිවැරදිව දැන මැන ගත යුතුය. අද පවතින දේශපාලන වාතාවරණය අනුව නම් රාජපක්‍ෂවරුන්ගේ බලකඳවුර දිය වෙමින් යන ආකාරය පැහැදිලිවම දැක ගත හැකිය. දිනෙන් දින උග්‍රවන විවිධ අර්බුද මෙන්ම ආණ්ඩුවට එරෙහිව නැගෙන විරෝධතා අනුවද ආණ්ඩුවේ පැවැත්ම ස්ථාවර නැති බවද පෙනේ. රාජපක්‍ෂවරුන් සමග ගසට පොත්ත මෙන් සිටි ප්‍රබල චරිත අද ඔවුන්ගේ විවේචකයෝය. ඩලස් ඇතුළු නිදහස් ජනතා සභාව මේ ආණ්ඩුව තමන්ගේ භාෂණ නිදහස අහුරා දමා ඇතැයි චෝදනා නගති. එයින් ගම්‍ය වන්නේ පොහොට්ටුවේ දුෂ්ට හා නිවට දේශපාලන ප්‍රතිචාරයක් බව ඩලස් පිල පවසයි.

මිහින්තලා විහාරාධිපති හිමියන් විසින් පසුගිය දිනක මේ ආණ්ඩුවේ අගමැති දිනේෂ් ප්‍රමුඛ පිරිසකට කරන ලද අනුශාසනාව රූපවාහිනී නාලිකා කීපයකින් මෙන්ම සමාජ මාධ්‍යජාලාවලද ප්‍රබල අවධානයකට ලක්වූවකි. උන්වහන්සේගේ වදන් මුදු මොළොක් බවින් පිරුණු එහෙත් සියුම් හී සැරයක් බඳු විය. මේ පවතින පවුල් දේශපාලනය, දුසිරිත්, නාස්තිය මෙන්ම රටට ඔරොත්තු නොදෙන තරම් ඇමැතිවරුන් පත්කිරීම ගැනද උන්වහන්සේගේ අප්‍රසාදය පළවිය. මේ වනවිට ආණ්ඩුවේ විදුලි බිල ඉහළ දැමීමට විරුද්ධව භික්‍ෂූන් වහන්සේලාගේ ප්‍රබල ප්‍රතිචාරද පළ වෙමින් තිබේ. දේශපාලනඥයන්ගේ වැරදි, අක්‍රමිකතා, දූෂණ වංචා ආදිය නිසා විදුලිබල මණ්ඩලයට සිදුවී තිබෙන පාඩුව රටේ ජනතාවගෙන් හා ආගමික ස්ථානවලින් අයකර ගැනීම නොමනා ක්‍රියාවක් බව භික්‍ෂුන් වහන්සේලා මෙන්ම වෙනත් සාමාජ ක්‍රියාකාරීහුද චෝදනා කරති. ඇත්ත වසයෙන්ම මෙම මිල වැඩිවීම පස් ගුණයකින් පමණ සිදු කිරීම කිසිසේත් සාධාරණීකරණය කළ නොහැකි බවද කිව යුතුය. විදුලිය මාෆියාව ගැන තිබෙන විවේචන කෙබඳුද යන්න ආණ්ඩුවත් දනී. ඩලස් කණ්ඩායමේ මතය වූයේ ඉහළ දැමූ විදුලිබිල ගෙවීමට අලුතින් පත් කළ හා පත් කෙරෙන ඇමැතිවරුන්ගේ වැය ශීර්ෂය යොදා ගත හැකි බවය. එය ආණ්ඩුව නිරුත්තර කෙරෙන ප්‍රකාශයකි. විදුලි බිල් මෙන්ම ජල බිල්ද නොගෙවූ මැති ඇමැතිවරුද මෙරටේ සිටිති. එසේම විදුලිබිල, තෙල් සංස්ථා වැනි ආයතනවලට එල්ල වන දෝෂාරෝපණත් ඇතැම් නිලධාරින්ගේ අධිපතිවාදී ක්‍රියාකාරකම් පිළිබඳවත් පියවරක් ගත නොහැකි ආණ්ඩුවල නිවට ඇමැතිවරුද ඒවායේ පරිහානියට වගකිව යුතු නොවෙත්ද? මේ බොහෝ ආයතනවල සේවක අතිරික්තය අදාළ ඇමැත්තාගේ කැමැත්තට ඉඩ දීමේ නරක ප්‍රතිඵලයක් බව නිසැකය.

මේවාට අමතරව අද වන විට රටේ උග්‍රවන ආහාර අහේනිය, සෞඛ්‍ය සේවයේ අර්බුද නිසා මාරයාට ළංවන රෝගී ජීවිත, ළමා මන්දපෝෂණය, පරිභෝජනයට නුසුදුසු ආහාර ආදී ගැටලු රැසක් පිළිබඳවද දවසින් දවස මාධ්‍යවල වාර්තා පළවේ. ආණ්ඩුවේ ඇතැම් ඇමැත්තෝ මේවාට විසඳුම් දීමට වඩා ඒවා හෙළිකරන මාධ්‍ය සී. අයි. ඩිය වෙත දක්කා ගෙන යෑමට නියෝග කරති. අප මේවා ලියන්නේද ත්‍රස්තවාදී පනත නමැති අසිපත හිසට උඩින් ලඹ දෙමින් තිබියදීය. ඇත්තටම කොතැනක හෝ දරුවෙක් කුසගිනි නිවාගැනීමට බුද්ධ පූජාව කෑම මෙන්ම දවල් ආහාරයට පොල්මද උලුප්පා රැගෙන ඒමද දැඩි සංවේගයට හේතු නොවේද? ඒ වාර්තාව පළ කරන්නේ මහජන කැලඹවීම් සඳහා යැයි හිතන මීහරක් ඇමැතියන්ට තම වරප්‍රසාද ආවරණය තුළ සුඛිත මුදිත ජීවිතද තිබේ. එදා වේල පිරිමසා ගන්නා ත්‍රීවීල් රියදුරකුට මසකට ඉන්ධන ලීටර් 20ක් දෙන අතර රාජ්‍ය ඇමැතිවරයෙකුට මසකට ලීටර් 600කි. ඒකත් මහජන මුදල්ය. එහෙත් ආණ්ඩුවේ සෝබන කතාවලින් අඟවන්නේ මේ ඇමැතිකං නිකම් පින්කම් වාගේ සිදු කෙරෙන සේවාවන් බවය.

ශ්‍රී ලංකාව ළමා මන්දපෝෂණයෙන් ලෝකයෙන් 6 වන තැනට පත්ව ඇතැයි යුනිසෙෆ් ආයතනය කියන්නේත් මහජන කැලඹීම් ඇතිකිරීමටද? දකුණු ආසියා කලාපීය අධ්‍යක්‍ෂ ජෝර්ජ් ඇඩිජෙයි සඳහන් කර ඇත්තේ මෙරටේ ළමයින් තිදෙනෙකුගෙන් එක් අයෙකුට කුමන ආකාරයක හෝ පිහිටක් වුවමනා බවය. ආහාර උද්ධමනය ඒ දරුවන්ගේ කුසගින්නට හරස් වී තිබේ. ලෝකයේ ආහාර උද්ධමනයේ අංක එක ලෙබනයයි. ලංකාවට එහි සිව්වන ස්ථානය ලැබී ඇත. අද ආහාර උද්ධමනය සියයට 91ක් බවද කියති. ඉතින් බඩපොත්ත පිට කොන්දට ඇලෙන දරුවන් හා අහිංසක ජනයන් ගැන ඔළුගෙඩියටත් ඉහළින් තිබෙන බඩගෙඩි දේශපාලනඥයන්ට නොපෙනීම පුදුමයකි! මේ රට විශාලාමහනුවරක් කළ කෝවිඩ් උවදුර අපට මතකය. එයට මුහුණ දී නැගිටීමට අපට හැකිවිය. එහෙත් ඉන් පසු මෙරටේ සිදු වූයේ කුමක්ද?

2021 වන විටත් ආහාර සුරක්ෂිතතාවෙන් දකුණු ආසියාවේ පළමු ස්ථානය හිමි වූයේ ලංකාවටය. එය ලෝකයේ 66 වැනි ඉහළ ස්ථානයකි. එහෙත් 1977 දී පමණ ඇරඹුණු ආර්ථික හා දේශපාලන වෙනස්කම් සමග ඇරඹුණු සමාජය තුළ සියලු ආකාරයේ වටිනාකම් හෑල්ලු වීමටත් දූෂණය, අල්ලස, වංචාව, නාස්තිය, කොමිස් කුට්ටි පොරයත් සමග රට ක්‍රමයෙන් අගාධය කරා තල්ලු වී ගිය ආකාරය අද මේ රට බංකොලොත් රාජ්‍යයක් බවට පත් වීමට හේතු විය. කෘෂිකර්මාන්තය කඩාවැටීමට රසායනික පොහොර තහනම හේතු වුවත් තවමත් ඒ ගොවිජනතාවගේ ප්‍රශ්න එතනමය. හාල්, තෙල්, ගෑස්, ඖෂධ යන හැම තැනකදීම සිදුවන ගසාකෑම්, යටිමඩි ගැසීම් එලෙසම සිදුවන බවද කියනු ඇසෙයි. වී ගොවියන්ගේ පමණක් නොව බඩඉරිඟු, තේ, එළවළු නිෂ්පාදනයද අර්බුදවලට මැදිවී තිබේ. මේ වනවිට වී විකුණා ගැනීමට මගක් නොමැතිව ගොවියෝ හූල්ලමින් සිටිති. ප්‍රශ්නය අවසන් විය හැක්කේ වී අස්වැන්න තුට්ටු දෙකට මෝල් හිමියන්ට ලබාදී අත පිසදා ගැනීමෙනි. මේ සකල විධ විනාශය කරා රට ඇදී යද්දීත් ආණ්ඩුව වැඩ කළේ නොසණ්ඩාල තාලයටය. ජනාධිපති, අගමැති, ඇමැති සියල්ලන්ම එදා ජනතා විරෝධයට ලක්වූයේ ඔවුන්ට මේ අර්බුදවලට විසඳුම් නොවූ හෙයිනි. එහෙත් අද වන විට ඒ ජනාධිපතිත් අගමැතිත් හැර පරණ නඩයම අලුත් වෙස්මුහුණු බැඳ කරළියට එමින් සිටිති.

ජාතික සභාව පිළිබඳ විවාදයට මුල පුරමින් අගමැති දිනේෂ් කීවේ කුමක්ද? ආර්ථික හා මූල්‍යමය අර්බුද මෙන්ම ණය ගෙවීමේ ප්‍රශ්නයටද විසඳුම් සොයා ජන ජීවිත සුරක්‍ෂිත කිරීමට කේන්ද්‍ර කරගත් ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක් සඳහා සියලු පාර්ශ්ව අතර එකඟතාවක් අද අවශ්‍ය වී තිබෙන බවය. එහෙත් ජාතික සභාව එබඳු ආයතනයක් බවට පත් කර ගත හැකිද යන්න මීට ඉහතදීත් අප පෙන්වා දී තිබේ. ජාතික සභාවකට සියලුම පක්‍ෂවලට ආරාධනා කරන ආණ්ඩුව පාර්ලිමේන්තුවේ කෝප් හා කෝපා කමිටුවල සභාපති ධුරවත් විපක්‍ෂයට දීමට සූදානම් නැති බව පෙනේ. අනුර කුමාර ඩලස් වැනි අය මේ ජාතික සභාව ආණ්ඩුවේ උපකරණයක්, කැටයමක් ලෙස හඳුන්වන්නේ නිකම්ම නොවේ. කුමක් වුවත් මේ කිසිවක් තිරය පසුපස ක්‍රියාත්මක වන පොහොට්ටුවේ බලවතුන්නේ අභිමතයට පිටින් සිදු විය නොහැකි බවද අපට පැහැදිලිය. සර්ව පාක්ෂික ආණ්ඩු සංකල්පය සුළ`ගේ ගියේත් බල අරගලය නිසාමය. ජාතික සභාවටත් ඊට වඩා වෙනස් ඉරණමක් අත් විය හැකිද යන්න පැවසීමට තවම වේලාසන වැඩිය. රාජපක්‍ෂලා හැමදාමත් තමන්ට වුවමනා පරිදි පිටිය සකසා ගැනීමට හපන් ශූරයෝය. රටට කුමක් වුවත් පවුල රජකරවීමට ව්‍යවස්ථාව පවා වෙනස් කරගත් ඔවුන්ට අද සුළු හෝ අභියෝගයක් වී ඇත්තේ ඒ රාජපක්‍ෂ සුළඟින් උඩට ආ අයත් ඔවුන්ගේ දේශපාලන වහල්ලුත් දැන් ඒ කඳවුර හැර ගොසින් සිටීම හා එයට අභියෝග කිරීමද නිසාය. අනාගතයේ සිදු විය හැකි අර්බුද පිළිබඳ කෙබඳු පුරෝකථන සිදු වුවත් තවමත් මේ පාලකයන්ට වුවමනා තම බලය හා තමන් උපයා සපයා ගත් සම්පත් රැක ගැනීමත්, දරුවන් නෑයන් සඳහා මාර්ගය සැකසීමත් බව පැහැදිලිය.

ගාමිණී සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment