මිහිකතේ දේවතාවිය

139

අපි පසුගිය සතියේ මිහිමත වනාන්තර වවපු අපූරු “මිනිසෙක්” හමුවුණා. අද අපි යන්නේ මිහිමත වනාන්තර මවපු මැවුම්කාර “දේවතාවියක්” හමුවන්න.

ඇගේ දෑතේ වනාන්තර මැවීමේ මැජික් බලයක් තිබෙන බව කියන්නේ මා නොවේ. එසේ කියන්නේ ඉන්දීය වනවිද්‍යා ආයතනයේ ඉහළ නිලධාරියකු සහ මේ වනදේවතාවිය සමග එක්ව සේවය කළ රෙඩිඩි ( A.N. Y. Reddy). දැන් විශ්‍රාම සුවයෙන් සිටින 86 හැවිරිදි රෙඩ්ඩි ඇය ගැන මතකය අවදි කරමින් කියන්නේ “ඇයගේ අතේ යම් මායාවක් තිබුණා. දේශීය ශාක විශේෂ හඳුනාගෙන ඒවා ප්‍රවේශමෙන් එකතු කර, පෝෂණය කොට රැක බලාගැනීමට ඇයට තිබුණ දැනුම කිසිම පොත පතක සොයාගත නොහැකියි”.

එතකොට කවුද මේ ඇය? දැන් ඔබ කුතුහලයෙන් සිටිනවාට සැකයක් නෑ. ඇගේ නම තුල්සි ගෝවින්ද් ගෞඩා (Tulsi Gowind Gowda). ඇය උපන් වර්ෂය නොදන්නා නමුත් ඇය වයස අවුරුදු 80ට වඩා වැඩි යැයි විශ්වාස කරනවා. ඇය උපන්නේ ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ. එහි විශාල නිසරු බිම් ඝන වනාන්තර බවට පත් කිරීමට ඇය තම ජීවිතය කැප කර තිබෙනවා. ඇය සැතපුම් ගණන් නිවර්තන වැසි වනාන්තර තුළට ඇවිද ගොස්, ගස් සිය ගණනක නිරෝගී අතු පරෙස්සමින් කපා නැවත සිටුවා පැළ උපද්දවා රෝපණය කර තිබෙනවා.

ගෞඩා දුප්පත් හලක්කි වොක්කලිගා (Halakki-Vokkaliga tribe ) නම් ගෝත්‍රයට අයත් පවුලක උපත ලැබූ අතර ඇයට වයස අවුරුදු දෙකේ දී පියා අහිමි වුණා. පවුල නඩත්තු කිරීම සඳහා ඇයගේ මව සමග දෛනික කුලී වැඩ කිරීමට සිදු වූ අතර ඒ නිසා ඇයට විධිමත් අධ්‍යාපනයක් ලැබීමේ අවස්ථාවත් අහිමි වුණා. ඇය අඩු වයසින් විවාහ වුණත්, ඇය තරුණ වියේ දී ඇගේ සැමියා මිය ගිහින්. ජීවිතය ඇයට බෙහෙවින් දුෂ්කර වී තිබුණත්, මේ අහිමි වීමි කිසිවක්, කිසි විටෙකවත් මිහිකතේ රැකවලෙකු වීමේ උතුම් හේතුවට දායක වීමෙන් ඇයව වැළැක්වීමට සමත් වුණේ නෑ.

බි්‍රතාන්‍යය යටත් විජිත පාලන සමයේ ගෞඩා ජීවත් වූ ප්‍රදේශයේත් විශාල වශයෙන් වනාන්තර කපා දමා තිබුණා. නිදහස් ඉන්දියාව ද ඒ ප්‍රතිපත්තිම ඉදිරියට ගෙනයෑම නිසා ඉන්දියාවේ වන ආවරණය වගේම ඒවායේ ජීවත් වූ වන සතුන්ටත් ජීවත් වන්නට ඉතිරිව තිබූ නේවාසික අහිමි වී ගියා. ගස්-කොළං, වනසතුන්ට පමණක් නොවේ, වනාන්තර තුළ සහ වනාන්තර වටා ජීවත් වූ දහස් ගණනක් වූ ගෞඩා වැනි ඉන්දීය ගෝත්‍රික ජනතාවට ද මේ අභියෝගයට සහ ඛේදවාචකයට මුහුණ දෙන්න සිද්ධ වුණා. නමුත් 1983 දී ඉන්දීය වන සංරක්ෂණ ප්‍රතිපත්ති වෙනස් වුණා.

මේ කාලෙ දී තමයි රෙඩ්ඩිට ගෞඩා හමුවන්නේ. ඒ ඇය පැළ තවාන් නඩත්තු කරන්නියක් ලෙස සේවය කරන අතර තුර ඇය, ඔහුගේ වටිනා උපදේශකයා බවට පත් වූ බව රෙඩ්ඩි පවසනවා. ඔහු සමග වැඩ කිරීම ප්‍රදේශයේ ඇයට නව අවධානයක් ගෙන දුන් අතර, ගම්මුන් ඇයව “රුක්ෂ දේවතාවිය” ලෙස හැඳින්වීමට පටන්ගෙන තිබෙනවා. විවිධ ගස් හා පැළෑටි පිළිබඳ ඇය සතු පුළුල් දැනුම නිසා ඇය “වනාන්තර විශ්වකෝෂය” ලෙස ද හඳුන්වනු ලබනවා. ඇය කර්නාටක ප්‍රාන්තයේ තනිවම ගස් ලක්ෂයකටත් වඩා සිටුවා ඇති බව ඇතැම් වාර්තා පෙන්වා දෙනවා.

කුඩා කාලයේ දී, කියවීමට ලිවීමට අවස්ථාව අහිමි වූ ගෞඩා, පවුලට අවශ්‍ය දර එකතු කිරීම සඳහා මව සමග වනාන්තරවල සැරිසරන්නට සිදුවුණා. මේ අතරතුර දී විශාල, නීරෝගි ගස්වල බීජ රෝපණ කටයුතු සඳහා වඩාත් සුදුසු වන්නේ කෙසේ දැයි ඇගේ මව ඇයට ඉගැන්නුවා. ඇගේ ගෝත්‍රය ඖෂධීය ශාක පිළිබඳ දැනුම සඳහා ප්‍රසිද්ධ අතර, ඔවුන් තම සාමාජිකයන්ගේ රෝග සුව කිරීමට මේ දැනුම සහ ඖෂධ භාවිත කරනවා. ගෞඩා මේ ඉගැන්වීම් කෙතරම් තදින් ග්‍රහණය කරගත්තා ද යත්, ඇය නව යොවුන් වියේ පසුවනවිට, තම පවුලේ නිවස පිටුපසින් වූ මුඩුබිමක් ඝන වනාන්තරයක් බවට පත් කළ බව ප්‍රදේශවාසීන් සහ ඉන්දීය නිලධාරීන් පවසනවා.

අදටත් දුර්ලභ බීජ හෝ පැළයක් ගැන කතා කරනවිට ඇගේ දෑස් ආලෝකමත් වන බව ඇය සමග සාකච්ඡා කළ මාධ්‍යවේදීන් වාර්තා කර තිබෙනවා. “මං මැරුණහම, ගසක් වෙන්නයි කැමැති” . ඇය ඔවුන්ට පවසා තිබෙනවා.

ගෞඩා රජයේ පැළ තවානක වසර 65ක් සේවය කරලා, 1998 දී නිල වශයෙන් විශ්‍රාම ගියත්, දේශීය ගස් පිළිබඳ ඇගේ පැතිරුණු දැනුම බෙදා හදා ගනිමින් ඇය උපදේශිකාවක් ලෙස එහි යම් වැඩ කොටසක් දිගට ම කරගෙන යනවා.

ඇය කරන ලද සේවය ඇගයීම වෙනුවෙන් ඇයට පද්ම ශ්‍රී සම්මානය 2020 දී පිරි නමනවා. ජීවිත කාලය පුරාවට ම පාවහන් පැලඳ නැති ගෞඩා රාෂ්ට්‍රපති භවන්හි දී පද්ම ශ්‍රී සම්මානය ලබාගැනීමට ඇවිද ගියේ ද පාවහන් නොමැතිවයි.

කෙසේ වුවත් ඇය ජීවත් වන ප්‍රදේශයේ යටිතල පහසුකම් තවමත් වර්ධනය වෙලා නෑ. අධ්‍යාපන, සෞඛ්‍ය, මාර්ග පහසුකම් ඒ අතර ප්‍රධානයි. “ඉස්පිරිතාලවලට යන්න හදන කොට හුඟක් මිනිස්සු පාරේ මැරෙනවා.” ගෞඩා කියනවා.

මී මුනුබුරු මිනිබිරියන් ඇතුළුව ඇගේ පවුලේ සාමාජිකයන් දසදෙනකු සමග ඇය උත්තර කන්නඩ (Uttara Kannada) දිස්ත්‍රික්කයේ හොනල්ලි (Honnali) ගම්මානයේ කාමර තුනක් සහිත කුඩා නිවසක සරල ජීවිතයක් ගත කරනවා. ඇගේ ජීවිතයේ පරමාර්ථය වන්නේ වනාන්තර රැකබලා ගැනීමට තරුණ පරම්පරාව පොළඹවා ගැනීම. අද වනවිට ඇගේ නිවසට දිනපතා සිසුන් විශාල ප්‍රමාණයක් එනවා. “ඔවුන් දකිනවිට මට සතුටක් දැනෙනවා. ගස් සිටුවීම කොතරම් වැදගත් ද යන්න ඔවුන්ට ඉගැන්විය යුතුයි.” ඇය පවසනවා .

ඇය දේශගුණික විපර්යාස ගැන දන්නේ නැත. පරිසර පද්ධති ප්‍රතිස්ථාපනය හෝ දන්නේ නැත. ඇය දන්නා එකම දෙය නම් මිනිසුන් වනාන්තර භූමිය සහ එහි පරිසර පද්ධතිය මහා පරිමාණයෙන් විනාශ කරමින් ගස් හා සතුන්ගේ අවකාශය ආක්‍රමණය කර ඇති බව ඇය පවසනවා “ මේ විනාශය ආපසු හැරවීමට බොහෝ කාලයක් ගතවනු ඇති නමුත්, මේ පිරුණු වනාන්තර දකිනවිට, ගස් කැපීමකින් තොරව මිනිසුන්ට සමෘද්ධිමත් වියහැකි බව මට සිතෙනවා”.

ඇය වනාන්තර මැවූ වනදේවතාවියක්. මිහිකතේ පැවැත්ම වෙනුවෙන් ජීවිතයම කැපකළ වීර දේවතාවියක්. වීරයන් හමුවන්නේ සංග්‍රාම භූමියක දී පමණක් නෙවෙයි. අප දන්නා බොහෝ වීරයන් තමන්ගේ රට, ජාතිය, ආගම, වර්ගය වෙනුවෙන් සටන් වදිද්දී ගෞඩා වගේ වීරයන්, වීරවරියන් මිහිමත සමස්ථ ජීවයේ පැවැත්ම වෙනුවෙන් නිහඬව, තනිවම සටන් කරනවා. ඔවුන් දේවත්වයට ඔසවා තැබිය යුත්තේ ඒනිසයි.

මරණය ගැනත් ඇයට තිබෙන්නේ සරල අදහසක්. “හොඳම මරණය සිදුවන්නේ පැතිරුණු අතු සහිත විශාල ගස් සෙවණක. මගේ ජීවිතයේ අන් සියල්ලට ම වඩා මම ඔවුන්ට කැමතියි.”ගෞඩා කියනවා.

සොබා දහම රැකගැනීම වෙනුවෙන් අපි වැඩකරන්නේ කණ්ඩායමක් විධියට ද, තනිවම ද නැතිනම් රැකියාව නිසා ද එහෙමත් නැතිනම් වෙන මොනයම් හේතුවකට ද කියන එක වැදගත් නෑ. වැදගත් දේ තමයි, වැඩ කිරීම. නොකඩවා වැඩ කිරීම. අපි හැම කෙනෙක් තුළම ගෞඩා වගේ වීර වනදේවතාවියක් සැඟවී ඉන්නවා. මිහිතලය සුවපත් කිරීමේ සංග්‍රාමය වෙනුවෙන් දැන් වත් අපි ඇයව අවදි කරමු.

මංජුල කරුණාරත්න
භූගෝල විද්‍යා අධ්‍යයනාංශය
රුහුණ විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment