ජාත්‍යන්තර න්‍යාය පත්‍රයේ කාදිනල් භූමිකාව

808

පාස්කු ප‍්‍රහාරයේ මහ මොළකරුවන් අනාවරණය කර ගැනීම සඳහා වසරකටත් අධික කාලයක සිට දැඩි වෙහෙසක් දරමින් සිටින ගරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ මේ වන විට ඒ සම්බන්ධයෙන් වරින් වර කරන ප‍්‍රකාශ බොහෝ වන්නාහ.

එහෙත් එම ප‍්‍රහාරයෙන් මරණයට පත්වූ සහ තුවාල ලද කිතුණු ජනතාවට සාධාරණය ඉටුවිය යුතු යැයි සඳහන් කරමින් මේ අන්දමට සිය හඬ මතු කරන කාදිනල් හිමිපාණන් ඇතුළු කතෝලික සභාව සැබෑවටම අද සිදු කරමින් සිටින්නේ එකී මහ මොළකරුවන් සොයා යෑමක්මද?

කිතුණු ජනතාවට සාධාරණය ඉටු විය යුතුයි කියමින් කාදිනල් හිමියන් ඇතුළු කතෝලික සභාව දැන් කරමින් සිටින්නේ වෙනත් අරමුණක් වෙනුවෙන් කඬේ යෑමක් නොවේද?

ප‍්‍රශ්නගත පල්ලියේ හඬ

මේ මොහොතේ පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳ නැඟෙන පල්ලියේ හඬ දෙස බලා අපට එවන් ප‍්‍රශ්නයක් මතු කරන්නට සිදුව ඇත්තේ එය දැන් රටේ ප‍්‍රශ්නයක් වී තිබෙන නිසාය. මේ මොහොත වන විට එය එක් පැත්තකින් රටේ ජනතාවට ප‍්‍රශ්නයක් වී ඇත. අනෙක් පැත්තෙන් එකී පල්ලියේ හඬ හමුවේ බරපතළ ප‍්‍රශ්නයකට මුහුණ දෙන්නේ පාස්කු ප‍්‍රහාරයෙන් මරණයට පත්වූ අහිංසක කිතුණ ජනතාවද මිහිදන්ව සමාදානයේ සැතපී සිටින අප උපන් මේ මාතෘ භූමිය ය.

අද දවසේ මේ අන්දමට පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් පල්ලියෙන් නැඟෙන හඬ රටේ ජනතාවට ගැටලූවක් වී තිබෙන්නේ ඇයි?

සහරාන් හෂීම් ඇතුළු මිනීමරු ඉස්ලාම් ත‍්‍රස්ත කල්ලිය පාස්කු ප‍්‍රහාරය එල්ල කරනු ලැබුවේ ඉකුත් 2019 වසරේ අපේ‍්‍රල් මස 21 වැනිදාය. එම ප‍්‍රහාරයත් සමඟෙ එවකට පැවති යහපාලන රජය එකී ම්ලේච්ඡ ප‍්‍රහාරය සම්බන්ධයෙන් එකිනෙකාට බෝල පාස් කරගන්නට වූ අතර අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වින්දිත කිතුණු ජනතාවට සාධාරණය ඉල්ලා පෙරට එන්නේ එහිදීය.

යහපාලනය සහ බුද්ධි අංශ දඩයම

පාස්කු ඉරිදා ප‍්‍රහාරයේදී යහපාලන පාලකයන් අතින් බරපතළ නොසළකා හැරීමක් සිදු වූ බව අද රටට රහසක් නොවන්නකි. එකී නොසලකා හැරීම් තුළ සිදු වූ එක් බරපතළම සිදුවීමක් ලෙසින් රාජ්‍ය අනුග‍්‍රහයෙන් එකල සිදු වූ බුද්ධි අංශ දඩයම පෙන්වා දිය හැකිය.

එදා මේ රටේ අනාගත දේශපාලන නායකත්වයක් ලෙසින් මතුවෙමින් සිටි ‘ගෝඨා’ භීතියෙන් හෙවත් ගෝඨා බයෙන් පෙළුණු යහපාලකයන් විවිධ චෝදනා ගෙන සීඅයිඞීය හරහා බුද්ධි අංශ විරුවන් දඩයම් කළේය. එම තත්ත්වය තුළ ඒ වන විට නැගෙනහිර පළාතේ මතුවෙමින් තිබූ ඉස්ලාම් අන්තවාදයට එරෙහිව සිදු කෙරුණු බුද්ධි අංශ මෙහෙයුම් ද හිටි හැටියේම නතර විය. සියල්ල බිඳ වැටීම එයට එකම හේතුව විය. බිහිසුණු ලෙස නැගී එමින් තිබූ ඉස්ලාම් අන්තවාදයට තිත තැබීම සඳහා කළ යුතුම වූ අවසන් කොටස ඉතිරිව තිබියදී එම අවාසනාවන්ත තත්ත්වය ඇතිවිය.

එසේ නොවූයේ නම් පාස්කු ප‍්‍රහාරය සමඟෙ පිපිරී අපාගත වූ සහරාන් හෂීම් ඇතුළු කල්ලිය අද සිටින්නේ වැලිකඩ හිරගෙදර ය. එහෙත් යහපාලකයනට එවැනි කටයුතු පිළිබඳ එදා කිසිදු හැඟීමක් දැනීමක් නොතිබුණි. ඔවුන් අකුරු කළ දේශපාලන පුස්තකයේ ජාතික ආරක්‍ෂාව යනුවෙන් දෙයක් නොතිබුණු අයුරින් සියල්ල සිදුවිය.

කාගේත් කුරුමාණම වී තිබුණේ ගෝඨාභය රාජපක්‍ෂ දේශපාලන මාවතෙන් ඉවත් කිරීම විය. බුද්ධි අංශ දඩයමේදී එකල සීඅයිඞීයේ රජ කළ ශානි අබේසේකර ඇතුළු කල්ලිය කරනු ලැබූ විමර්ශන හයකදීම අවසාන ඉලක්කය බවට ගෝඨාභය රාජපක්‍ෂ පත්ව තිබීම එය සනාථ කිරීමට ඇති හොඳම උදාහරණය ලෙස පෙන්වා දිය හැකිය. පාස්කු බෝම්බය දෙපා මුල පිපිරෙන තෙක්ම යහපාලකයෝ ගෝඨාභයට තොණ්ඩුව දමන්නේ කෙසේදැයි කල්පනා කරමින් සිටින්නට වූහ.

සහරාන් හෂීම් ගැන කළ හෙළිදරව්ව

යහපාලකයන් එදා කළ ඊළඟෙ නොසලකා හැරීම වූයේ සහරාන් හෂීම්ගේ මතුවීම රාජ්‍ය බුද්ධි සේවය මගින් පැහැදිලිවම රජයට දැනුම් දී තිබියදීත් ඇල්වතුර සේ මුනිවත රැකීමය.

පාස්කු ප‍්‍රහාරය ගෙන මේ මොහොත වන විට කාදිනල් හිමියන් ඇතුළු කතෝලික පල්ලිය එක් බරපතළ චෝදනාවක් එල්ල කරනුයේ රටේ බුද්ධි අංශ වෙතටය. එය පල්ලිය තුළින් මෑතකදී මතු වූ හඬකි. එහෙත් මහ පොළොවේ ඇත්ත වන්නේ පාස්කු ප‍්‍රහාරය එල්ල වන්නට වසරකටත් පෙර බුද්ධි අංශ විසින් යහපාලකයන්ට සහරාන් හෂීම්ගේ මතුවීම දැනුම් දී තිබුණේ යැයි යන්නය.

ශානි අබේසේකරගේ භූමිකාව

පාස්කු ඉරිදා ම්ලේච්ඡ ප‍්‍රහාරයට දෙසතියක් පමණ තිබියදී තවත් බිහිසුණු අතපසු කිරීමක් සිදුකරනු ලැබුවේ එකල අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව යහපාලන වධකාගාරය බවට පත් කළ ශානි අබේසේකර නම් වූ පොලිස් කාරයාය.

ඒ දිනවල සිදු වූ මාවනැල්ලේ බුදු පිළිම සංහාරය අතරතුර වනාතවිල්ලූවේදී අධිබල පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟෙ අත්අඩංගුවට ගනු ලැබූ සහරාන් හෂීම්ගේ සහචරයන් කිහිප දෙනා පූස් පැටව් සේ සලකා සීඅයිඞීයේ සිට නිදහස් කර ගෙදර යැවීමෙන් ශානි අබේසේකර ඒ හපන්කම කළේය.

කාගේ හෝ වුවමනාවකට ශානි අබේසේකර එදා එලෙස සිදු නොකළේ නම් පාස්කු ප‍්‍රහාරය එල්ල කිරීමට සහරාන් හෂීම්ට අවස්ථාවක් නොලැබීම අනිවාර්යයෙන්ම සිදුවන්නකි.

යහපාලකයන් ප‍්‍රහාරය ගැන දැන නොසිටියාද?

මෙම ත‍්‍රස්තවාදී ප‍්‍රහාරය දෙස බැලීමේදී යහපාලකයන් එදා ඊළඟෙට කළ ම්ලේච්ඡතම නොසලකා හැරීම වූයේ ප‍්‍රහාරය එල්ල වන දිනය සහ වේලාව හරියට දැන සිටියදීත් එය වළකා ගන්නට කටයුතු නොකිරීමය.

යහපාලන රජයේ ප‍්‍රබල ඇමැති ධුරයක් දැරූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර හරීන් ප‍්‍රනාන්දුට ඒ අනතුරු ඇඟෙවීම කර තිබුණේ රෝහල්ගතව සිටි ඔහුගේ පියාය. එහිදී පියා කළ අනතුරු ඇඟෙවීම සිතේ තබාගෙන පාස්කු ඉරිදා පල්ලියට නොගොස් නිවසට වී සිටි හරීන් ප‍්‍රනාන්දු අඩුම තරමේ තමන්ගේ මිතුරකුටවත් එය දැනුම් දුන් බවක් වාර්තා වූයේ නැත.

හරීන්ගේ හෘද සාක්‍ෂිය ‘මට තාත්තා කිව්වා’ යැයි පවසමින් රටට කතා කළේ සහරාන් හෂීම් මේ බෝම්බ ප‍්‍රහාරය එල්ල කර කිතුණු බැතිමතුන් 259 ඝාතනය කර පන්සියයකට අධික පිරිසකට තුවාල සිදු කිරීමෙනුත් පසුවය.

පාස්කු ඉරිදා දිනයේ යමක් සිදුවන බව සඳහන් කරමින් හරීන්ගේ පල්ලි යෑම නතර කරවීමට තරම් හරීන් ප‍්‍රනාන්දුගේ තාත්තා දැනුවත්ව සිටියේ නම් මේ විනාශය තමන් නොදැන සිටියේ යැයි කියන්නට එදා සිටි යහපාලකයන්ට කිසිසේත්ම හැකියාවක් තිබේද?

සියල්ලෝ සියලූ දේ දැන සිටියහ. මේ තරම් දෙයක් වෙයි කියා නොසිතුවේ යැයි එවකට සිටි ආරක්‍ෂක ලේකම්වරයා පාස්කු ප‍්‍රහාරයෙන් පසු විදෙස් මාධ්‍යයකට සඳහන් කරනු ලැබුවේ ඒ නිසාය. පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු වින්දිත කිතුණු ජනතාව වෙනුවෙන් හඬ නඟෙන්නට වූ අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් යහපාලනයේ බෝල පාස් කිරීම දැක එදා මුලින්ම යහපාලනයට දොස් පවරනු ලැබුවේ මේ කරුණු ගෙනහැර පාමින් වූහ.

දේශපාලනිකරණයවූ පාස්කු ප‍්‍රහාරය

එසේ දිගින් දිගටම කතා කළ කාදිනල් හිමියන් අවසානයට සමස්ත කිතුණු ජනතාවට පමණක් නොව රටටම අවධාරණය කරනු ලැබුවේ කිසි දිනෙක යහපාලනයෙන් පාස්කු ප‍්‍රහාරයේ වින්දිතයන් වූ කිතුණුවන්ට සාධාරණයක් ඉටු නොවන බවය.

කාදිනල් හිමියන් එසේ ප‍්‍රකාශ කිරීමෙන් සිදු වූයේ කුමක්ද? පල්ලිය විසින්ම පාස්කු ඉරිදා ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයට දේශපාලන මුහුණුවරක් ලබාදීම එයින් සිදු විය.

එසේ සිදු වූයේ ඒ වන විට යහපාලනය රටේ ජනතාවට තිත්ත වීම තුළ ජනපි‍්‍රයත්වයේ ඉහළටම ගමන් කර සිටි ගෝඨාභය රාජපක්‍ෂ මහතා 2019 ජනාධිපතිවරණයට සූදානමින් සිටීම හමුවේ ය. කාදිනල් හිමියන්ගේ ප‍්‍රකාශයන් තුළින් ප‍්‍රබල දේශපාලන වාසියක් අත්වූයේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂයන් ඇතුළු වත්මන් ආණ්ඩුවටය.

මෙහිදී කාදිනල් හිමියන්ගේ බලාපොරොත්තුව වී තිබුණේ ගෝඨාභය රාජපක්‍ෂ රජයක් යටතේ පාස්කු ප‍්‍රහාරයේ වින්දිතයන් වූ කිතුණු ජනතාවට සාධාරණයක් ඉටු කර දීම විය. ඒ වන විට පාස්කු ප‍්‍රහාරය පිළිබඳ විමර්ශනයට පත් කර තිබුණු ජනාධිපති කොමිසම කෙරෙහිද කාදිනල් හිමියන් තුළ පැහැදිලි විශ්වාසයක් තිබුණු බවක් පෙනෙන්නට තිබිණි.

පාස්කු කොමිසමේ වාර්තාව නීතිපතිට

එහෙත් පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ වින්දිතයන් වූ කිතුණු ජනතාවට සාධාරණය ඉල්ලා හඬ නැඟීම එලෙස ආරම්භ කළ අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමියන් අද සිටින්නේ කොතැනකද?

වත්මන් ආණ්ඩුව පාස්කු වින්දිතයන්ට සාධාරණය ඉටු නොකරන බව ප‍්‍රසිද්ධියේම පවසමින් රජයට චෝදනා කරන කාදිනල් හිමියන් ඇතුළු කතෝලික පල්ලිය අද සිටින්නේ පාස්කු ප‍්‍රහාරය වෙනත් දේශපාලන මාවතකට ගෙන යමිනි.

එහිදී කාදිනල් හිමියන් වරෙක සඳහන් කරනුයේ පාස්කු ප‍්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසමේ නිර්දේශ ඇතුළත් සම්පූර්ණ වාර්තාව ප‍්‍රකාශයට පත්කර එහි සඳහන් චූදිතයන්ට නඩු පවරන ලෙස ය. එහෙත් එවැන්නක් කිරීමට රජයකට දේශපාලන වශයෙන් හැකියාවක් තිබේද? නැත. සාමාන්‍යයෙන් සිදු වන්නේ එවැනි ජනාධිපති කොමිසමක නිර්දේශ ඇතුළත් වාර්තාව ජනාධිපතිවරයාට ලබාදීමෙන් පසු ඒ පිළිබඳ අවශ්‍ය පියවර ගැනීම සඳහා එය නීතිපතිවරයා වෙත යොමු කිරීමය.

රටේ නීතිය පිළිබඳ බලධරයා වන්නේ නීතිපතිවරයාය. ඒ අනුව ජනාධිපති කොමිසමක් මගින් කුමන නිර්දේශ ඉදිරිපත් කරනු ලැබුවද ඒවා කි‍්‍රයාත්මක කිරීම සම්බන්ධයෙන් පවතින නෛතික තත්ත්වයන් සලකා බලා ගත යුතු ඉදිරි කි‍්‍රයාමාර්ග ගැනීමට බලය ඇත්තේ නීතිපතිවරයාට ය.

කොමිසමෙන් චූදිතයකු කළ මෛති‍්‍ර

අදාළ කොමිෂන් වාර්තාව මගින් හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාට මෙන්ම පොලිසියේ ප‍්‍රධානීන් රැසකටම පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා නඟා ඇති බව මේ වන විට ප‍්‍රසිද්ධ කරුණක්ව තිබෙන්නකි.

එසේම පාස්කු ප‍්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසම කි‍්‍රයාත්මක වීමේදී යම් දේශපාලන හස්තයක අත පෙවීමක් සිදු වුණේද යන්න රටේ ජනතාවට මතු වූ ගැටලූවක්ව තිබුණකි.

පාස්කු කොමිසම පත් කරනු ලැබුවේ හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාය. මෛති‍්‍රපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා ලෙස ඒ පිළිබඳ ජනාධිපති ලේකම්වරයාට දැනුම් දීමෙන් අනතුරුව එම කොමිසම පත් කිරීම සිදු විය.

මෙකී ජනාධිපති කොමිසම පත් කරන කාලය වන විට යහපාලන රජයේ ජනාධිපතිවරයා ලෙස මෛති‍්‍රපාල සිරිසේන මහතා සහ අගමැතිවරයා ප‍්‍රධාන එක්සත් ජාතික පක්‍ෂය අතර පැහැදිලි විරසකයන් ගොඩ නැගී දිනෙන් දින එය උත්සන්න වෙමින් තිබිණි.

විශේෂයෙන් යහපාලනය සමයේ ආණ්ඩුවේ වැඩි බලයක් පැවතියේ ද අගමැතිවරයා ප‍්‍රධාන එක්සත් ජාතික පක්‍ෂයටය. ඒ තත්ත්වය තුළ ජනාධිපතිවයා ලෙස මෛති‍්‍රපාල සිරිසේන මහතාට සිදුව තිබුණේ හුදකලා වූ පරිදි සටනක යෙදෙන්නටය.

තමන් විසින්ම පත් කළ කොමිසමක් මගින් මෛති‍්‍රපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා චූදිතයකු වන්නේ කොමිසම පත් කරන මොහොත වන විට රටේ දේශපාලනය තුළ යහපාලන ආණ්ඩුව එසේ ගිනියම් වී තිබියදීය.

මෛති‍්‍රපාල සිරිසේන මහතාට එසේ චෝදනා එල්ල වුවද සහරාන් හෂීම් පිළිබඳ පාස්කු ප‍්‍රහාරයට වසරකට පෙර බුද්ධි අංශ එවකට පොලිසිය භාරව සිටි ඇමැතිවරයාට දැනුම් දී තිබියදීත් ඔහු කි‍්‍රයාත්මක නොවීම පිළිබඳ කිසිදු චෝදනාවක් එල්ල වූයේ නැත.

චූදිතයන් නොවුණු වගකිව යුත්තන්

එසේම පාස්කු ප‍්‍රහාරය පිළිබඳ විමර්ශන සිදු කළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂවරයා ද වූ ප‍්‍රධාන විමර්ශන නිලධාරියා වන ශානි අබේසේකර වනාතවිල්ලූව ප‍්‍රදේශයේදී අධිබල පුපුරන ද්‍රව්‍ය තොගයක් සමඟෙ අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් මුදා හැර තිබියදී ඔහුටද කිසිදු චෝදනාවක් එල්ල වූයේ නැත.

ප‍්‍රධාන විමර්ශන නිලධාරියා ලෙස ඔහු කොමිසම ඉදිරියේ සාක්‍ෂි දුන්නේ ද දෙදිනක් වැනි කෙටි කාලයකි. එහිදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව තිබෙන්නේ විමර්ශන සිදු කිරීමට මිස සැකකරුවන් ඇල්ලීමට නොවේ යැයි යනුවෙන් ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක්ද ඔහු සිදු කළා අපේ මතකයේ ඇත.

මෙවැනි ගැටලූ හමුවේ කොමිෂන් සභා වාර්තාව දුටු පමණින් පුද්ගලයන්ට නඩු පැවරීමට පෙර ඒ පිළිබඳ ගැඹුරින් හැදෑරීමක් කිරීමට නීතිපතිවරයා කටයුතු කරනු ඇතැයි යන්න බොහෝ දුරට සිදුවිය හැකි තත්ත්වයකි. එය සාධාරණය.

කාදිනල් හිමියන් කියන පරිදි ආවාට ගියාට ඒ කටයුත්ත සිදු කිරීමට නොහැකිය. අද කාදිනල් හිමියන් ඇතුළු කතෝලික පල්ලිය ඉල්ලා සිටින්නේ යුක්තිය ය. ඔවුන් යුක්තිය ඉල්ලා සිටින්නාක් මෙන්ම සියල්ල සිදුවිය යුතුව ඇත්තේද යුක්තියේ නාමයෙන්ය.

හිටපු නීතිපති කතාව

කාදිනල් හිමියන් පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් මතුකරන හඬ තුළ ඇති තවත් කරුණක් වන්නේ හිටපු නීතිපති දප්පුල ලිවේරා මහතා සම්බන්ධයෙන් කියන කතාවය. ඔහු විශ‍්‍රාම ගැනීමෙන් පසු පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් මාධ්‍යයකට අදහස් දක්වමින් පාස්කු ප‍්‍රහාරය තුළ විශාල කුමන්ත‍්‍රණයක් සිදුව ඇති බව සඳහන් කළේ යැයි කාදිනල් හිමියන් පෙන්වා දෙන්නේය.

එම තත්ත්වය තුළ එකී කුමන්ත‍්‍රණය කුමක්දැයි ඔහුව පොලිසියට කැඳවා ප‍්‍රශ්න කර රටට අනාවරණය කරන්නැයි යන්න කාදිනල් හිමියන්ගේ ඉල්ලීම වී ඇත. එය නම් සාධාරණ ඉල්ලීමකි.

දප්පුල ලිවේරා මහතා විශ‍්‍රාම යෑමෙන් පසු අතිශය සංවේදී කරුණක් සම්බන්ධයෙන් මෙවැනි ප‍්‍රකාශයක් කරනු ලැබුවේ ඇයිද යන්න අපට නොවැටහෙන්නකි. නීති ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන් කියන පරිදි අවශ්‍ය නම් හිටපු නීතිපතිවරයා පොලිසියට කැඳවා ඒ පිළිබඳ විමසීමක් කිරීමට බාධාවක් නැත.

එහෙත් දන්නා පරිදි මෙරට ඉතිහාසයේ එවැන්නක් සිදුව නැත. ඒ පිළිබඳ අපි ඉන් එහා කිසිත් නොකියන්නෙමු. අවශ්‍ය තීරණය ගත යුත්තේ නීතිය කි‍්‍රයාත්මක කරන අංශය. අප එසේ පවසන්නේ ආණ්ඩුවට ද එය ඇසෙනු පිණිසය.

බුද්ධි අංශ සහ සහරාන් හෂීම්

පාස්කු ප‍්‍රහාරය පිළිබඳ කතාවේදී අද කතෝලික පල්ලිය මතු කෙරෙන තවත් කරුණක් වන්නේ බුද්ධි අංශ සහරාන් හෂිම්ලා සමඟෙ සම්බන්ධව සිටියේ යැයි යන්නය. මේ සඳහන ප‍්‍රබල ලෙස මතු කරන්නකි.

මේ රටේ බුද්ධි අංශ යනු හැමදාමත් විජාතික බලවේගවලට සහ ද්‍රෝහීන්ට වහකදුරු මෙන් වූවකි. යහපාලනයේදී සහරාන් හෂීම් කි‍්‍රයාත්මක වනතුරුම බුද්ධි අංශ දඩයම දිගින් දිගටම සිදුවූවේ ද එකී ද්‍රෝහීන්ගේ අරමුණු අනුවය. එම තත්ත්වය තුළ මේ මොහොත වන විට පාස්කු ප‍්‍රහාරය බුද්ධි අංශ වෙතට හරවමින් කතෝලික පල්ලිය කරන්නට හදන්නේ කුමක්ද?

මේ ඉටුකරන්නට සැරසෙන්නේ කුමන කඳවුරේ කොන්ත‍්‍රාත්තුවක්ද යන්න අපැහැදිලිය. එහෙත් පාස්කු ප‍්‍රහාරය ගෙන බුද්ධි අංශවලට පහර දෙන්නට කිසිවකු විසින් හෝ කටයුතු කරයි නම් ඉන් සිදුවන්නේ මේ රටට එරෙහි විජාතික ඉලක්ක සහ ද්‍රෝහී අරමුණු ඉටුකර දීමට සැරසීමක් බව නම් හොඳටෝම පැහැදිලිය.

සිරිල් ගාමිණී පියතුමාගේ අලූත්ම ප‍්‍රකාශය

පාස්කු ප‍්‍රහාරය ගෙන බුද්ධි අංශවලට පහර දුන් කතෝලික පල්ලිය මේ වන විට ඉන් එහාට ගිය බරපතළ ඉලක්කයක් වෙත ගමන් කරමින් සිටින බවද පැහැදිලිව පෙනෙන්නට ඇත. එය මතු වූයේ මීට පෙර බුද්ධි අංශවලට ප‍්‍රසිද්ධියේ පහර දෙන්නට ගොස් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ද ගිය සිරිල් ගාමිණී පියතුමන් ඉකුත් සතියේ මාධ්‍යයකට දුන් සම්මුඛ සාකච්ඡාවකිනි.

සාකච්ඡාව පැවතියේ අන්තර්ජාල තාක්‍ෂණය ඔස්සේය. එහිදී සිරිල් ගාමිණී පියතුමන් කීවේ කුමක්ද? මේ රටේ දේශපාලකයන් බලය ලබා ගනු පිණිස බත් පාර්සල්, මත්පැන්, ඉඩකඩම් ලබා දෙන පරිද්දෙන් පාස්කු ප‍්‍රහාරයද බලය උදෙසා සිදු කෙරුණක් බවට සැක සංකා මතුවන බවය.

එවැන්නක් සිදුව ඇත්නම් මේ රටේ ඉතිහාසයේ බලය වෙනුවෙන් එල්ල කෙරුණු ම්ලේච්ඡතම ප‍්‍රහාරය පාස්කු ප‍්‍රහාරය වනු ඇතැයිද එහිදී සිරිල් ගාමිණී පියතුමන් සඳහන් කරනු ලැබීය.

මෙහිදී පාස්කු ප‍්‍රහාරය පෙන්නා සිරිල් ගාමිණී පියතුමන් කරනු ලැබුවේ ආණ්ඩුවට එරෙහිව අමුතුම බීජයක් ජනමනස තුළ රෝපණය කිරීමක් බව එතුමන් සාකච්ඡාවට සහභාගි වූ අන්දම දැක්වෙන අදාළ වීඩියෝව දුටු කළ පැහැදිලිවම පෙනෙන්නට තිබුණකි.

ජීනිවා දෙසට හැරෙන පාස්කු ප‍්‍රහාරය

සිරිල් ගාමිණී පියතුමන් මේ නොකියා කියන්නේ යහපාලන දඩයම හමුවේ පීඩනයට පත්ව සිටි බුද්ධි අංශ ඉතා කුමන්ත‍්‍රණකාරී ලෙස ගෝඨාභය රාජපක්‍ෂ බලයට ගෙන ඒම සඳහා සහරාන් හෂීම්ලා යොදවා පාස්කු ප‍්‍රහාරය එල්ල කරවූ බවක්ද?

සිරිල් ගාමිණී පියතුමන් රෝපණය කරන්නට හදන්නේ එවැනි බීජයක් නම් එය ඉතාම බරපතළය. එයින් පාස්කු ප‍්‍රහාරයේ වින්දිතයන්ට අත් වන සෙතක් නම් නැත. එහෙත් විජාතික සහ ද්‍රෝහී බලවේගවල වුවමනාවන් අනුව අනාගතයේ දිනක යළි අවශ්‍ය අයකුට මේ රට් බුද්ධි අංශ දඩයමක් නොව බුද්ධි අංශ සංහාරයක් කිරීමට තරම් සිරිල් ගාමිණී පියතුමන් රෝපණය කරන්නට සැරසෙන ඒ බීජය ප‍්‍රබලය.

අද පාස්කු ප‍්‍රහාරය ගෙන කතෝලික පල්ලිය ගමන් කරන මාවත රටේ ජනතාවට පමණක් නොව පාස්කු ප‍්‍රහාරයෙන් මියගිය කිතුණුවන් සමාදානයේ සැතපෙන අප සියලූ දෙනා උපන් මේ මාතෘ භූමියට ද අනතුරක් බව අප පෙන්වා දෙන්නේ මේ නිසාය.

මේ ව්‍යාජ ම්ලේච්ඡත්වයේ බීජය සමාජයේ රෝපණය කිරීමෙන් පසු අවැසි නම් එය රැගෙන ජිනීවා දක්වාම ගමන් කිරීමට ද ද්‍රෝහීන්ට අවස්ථාව ඇත. එහිදී ශී‍්‍ර ලංකාවට එරෙහි විජාතික කඳවුර ඉතිරි ටික අඩුපාඩු නැතිව සිදු කරනු ඇත.

සිරිල් ගාමිණී පියතුමන් වැනි මේ රටේ කිතුණු ජනතාවට මඟෙ කියන ආගමික නායකයකු පාස්කු ප‍්‍රහාරය ඉදිරියට දමා සිතන්නටවත් බය හිතෙන එවැනි ප‍්‍රකාශයක් කරනු ලැබුවේ ඇයි. එය සිදු කළේ පාස්කු වින්දිතයන්ට සාධාරණය ඉටුකර ගන්නමද?

මෙවැනි කි‍්‍රයාවන් ඉදිරියේ මේ ආණ්ඩුවට මුහුණ දීමට සිදුවන කලබැගෑනියන් පිළිබඳ අපට කිසිදු ගැටලූවක් නැත. බලා සිටියදී ඇදවැටෙමින් තිබෙන සහ එය දැන දැනත් කළ යුත්ත නොකරන රජයක් රකින්නට අපට කිසිදු වුවමනාවක් ද නැත. එහෙත් යමකුගේ ප‍්‍රකාශයක් තුළින් රටට හානියක් සිදුවන බව පෙනී යන්නේ නම් ඒ දෙස නිහඬව බලා සිටින්නට ද අපට නොහැකිය.

පල්ලියේ වතිකානු සංචාරය

ආරම්භයේ සිටම පාස්කු ප‍්‍රහාරයට දේශපාලන මුහුණුවරක් දුන් කතෝලික පල්ලියේ හැසිරීම මෙසේ වෙද්දී කිතුණු පූජක ප‍්‍රධානීන් තිදෙනකු මෙම මස අවසානයේ පාස්කු ප‍්‍රහාරයට සාධාරණය ඉටුකර ගනු පිණිස ජාත්‍යන්තර විමර්ශනයක් ඉල්ලා වතිකානුවට යෑමට සූදානමින් සිටින බවද තවත් පැත්තකින් වාර්තා වන්නකි.

අති උතුම් ප‍්‍රැන්සිස් පාප් වහන්සේ පාස්කු ප‍්‍රහාරයට සාධාරණය ඉල්ලා කරන සටනට සහාය දෙන බව සඳහන් කර ඇතැයි පවසමින් කාදිනල් හිමියන් මාධ්‍යයට කීවේ ඉකුත් සතියේදී පමණය.

මේ වතිකානු සංචාරය පිළිබඳ අපට වාර්තා වූයේ ඉන් අනතුරුව විය. වතිකානුවට යන කිතුණු පූජකවරුන් එහිදී පාප් වහන්සේ බැහැ දැක සාකච්ඡා කිරීමට ද ඉල්ලීමක් කර තිබෙන බව සඳහන් වන අතර පාස්කු ප‍්‍රහාරයට සාධාරණයක් ඉල්ලා එහි වෙසෙන කිතුණු ජනතාවගේ ද සහභාගිත්වයෙන් විරෝධතාවක් දැක්වීමට සැලසුම් කර ඇති බවද පැවසෙන්නේය.

එහිදී පාස්කු ප‍්‍රහාරය පිළිබඳ ජාත්‍යන්තර මාධ්‍ය කැඳවා මාධ්‍ය හමුවක් පැවත්වීමට ද කටයුතු යොදා ඇති බව වාර්තා වන තවත් කාරණයකි. ඉන් අනතුරුව පාස්කු ප‍්‍රහාරය පිළිබඳ ජාත්‍යන්තර විමර්ශනයක් ඉල්ලා සිටීමට පියවර ගන්නා බවක්ද කියැවෙමින් ඇත.

වාර්තා වන පරිදි එවැන්නක් සිදු කරන්නේ නම් ලබන මාර්තු මාසයේදී ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ඇරඹෙන මීළඟෙ මානව හිමිකම් සැසිවාරයත් සමඟෙ පාස්කු වින්දිතයන්ට කෙසේ වෙතත් ශී‍්‍ර ලංකාවට නම් සුපිරි සාධාරණයක් ඉටුවනු ඇත.

එහිදී තිබෙන ව්‍යාජයන් මදිවාට කතෝලික පල්ලිය විසින් නිර්මාණය කර ඇති පාස්කු ප‍්‍රහාරයේ අලූත්ම මුහුණුවර ගෙන විජාතික ද්‍රෝහීන් මේ රටට පහර දෙද්දී දෙවියන් වහන්සේටවත් මේ රට එකී ද්‍රෝහීන්ගෙන් ගලවා ගැනීමට නොහැකි වනු ඇත. අද වෙනත් දේශපාලන අරමුණක් ඔස්සේ ගමන් කරමින් තිබෙන පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉල්ලන කතෝලික පල්ලියේ හඬ රට පැත්තෙන් බලන කල තිබෙන්නේ එවැනි තැනකය.

කෙසේ වෙතත් කොළඹ අගරදගුරු නිවසින් මෙම වතිකානු සංචාරය පිළිබඳව අප කළ විමසීමකදී එහි ප‍්‍රකාශකයෙක් පවසා සිටියේ කිතුණු පූජකවරුන් කිසිවකුත් එවැනි සූදානමක නොමැති බවකි. එසේ නම් එය යහපතකි.

ගැලවී යන පාස්කු චූදිතයෝ

මේ අන්දමට දිගින් දිගටම පාස්කු වින්දිතයන්ට සාධාරණය ඉල්ලා හඬ නඟෙන අතරේ ඉකුත් සතියේ මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් තවත් සුවිශේෂී කටයුත්තක් ද කරනු ලැබූහ.

දෙමළ ජාතික සන්ධානයේ මන්තී‍්‍රවරුන් දෙදෙනකු ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම පිණිස රදගුරු මැඳුරට රැගෙන ආ ලියවිල්ලකට සහාය පළ කරමින් අත්සන් කිරීම කාදිනල් හිමින් කළ එකී සුවිශේෂී කටයුත්ත විය.

මේ ලියවිල්ලට අනුව ත‍්‍රස්තවාදී පනත අහෝසි කරවීමට දෙමළ ජාතික සන්ධානය සමත් වුවහොත් එදාට කුමක් සිදුවනු ඇතිද? පාස්කු ප‍්‍රහාරය පිළිබඳව අත්අඩංගුවට ගෙන දැනට රැඳවුම් නියෝග යටතේ සහ බන්ධනාගාරගතව සිටින සියලූ සැකකරුවන් ඇපමත හෝ පොලිස් ඇපමත මුදා හැරීමට ආණ්ඩුවට අනිවාර්යයෙන් සිදු වන්නේය.

එහිදී සහරාන් හෂිම්ගේ ම්ලේච්ඡ අන්තවාදයට සහයෝගය දීම සහ කුමන්ත‍්‍රණ කිරීම මෙන්ම සබඳතා පැවැත්වීම යන චෝදනා මත සැකපිට අත්අඩංගුවේ පසුවන එම සැකකරුවන් නිදහස් වී නිවෙස් වෙත යන්නේය. එසේ වූ කල පාස්කු ප‍්‍රහාරයේ වින්දිතයන් වූ මේ රටේ අහිංසක කිතුණු ජනතාවට හොඳටෝම සාධාරණය ඉටුවනු ඇත.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment