වෛද්‍ය උපකරණ හිඟයෙන් බීමත් රියැදුරන්ට රජ මඟුල්

215

දඩ ආදායම සියයට අසූවකින් අඩුවෙලා – පොලිසිය

අවශ්‍ය උපකරණ නොමැති කමින් බීමත් රියැදුරන් අල්ලා ගැනීමට නොහැකි වී තිබෙන බව පොලිස් නිලධාරීහු පවසති.

බීමත් රියැදුරන් අත්අඩංගුවට ගත් විට ඔහු රජයේ රෝහලක අධිකරණ වෛද්‍ය නිලධාරියකුට ඉදිරිපත් කොට වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ යුතුව ඇත. අධිකරණ වෛද්‍යවරයකු නොමැති විට වෙනත් වෛද්‍යවරයකුගෙන් ලබාගත් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කළ විට අධිකරණය එය පිළිනොගෙන ප්‍රතික්ෂේප කරන බව ද පොලිස් නිලධාරිහු කියති.

අධිකරණ වෛද්‍යවරයකු නොමැති විට ලේ සාම්පලයක් රස පරීක්ෂක වෙත ඉදිරිපත් කළ යුතුව තිබේ. එමෙන්ම බීමත් රියැදුරෙක් ඇල්ලූ විට ඔහු රෝහලකට සහ අධිකරණය වෙත ගෙන යෑමට වාහනවලට ප්‍රමාණවත් ඉන්ධන ලබා ගත නොහැකි තත්ත්වයක් ද උදා වී ඇති බවත් ඔව්හු පෙන්වා දෙති.

ඇතැම් පොලිස් ස්ථානවල සිට රෝහල්වලට කිලෝ මීටර් පහළොවකට වඩා දුර තිබෙන බවත්, මේ නිසා එක් රියැදුරෙක් වෙනුවෙන් විශාල මුදලක් රජයට වැය කිරීමට සිදුවී තිබෙන බවත් කියති. මේ හේතුවෙන් බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමක් නොකරන බැවින් ඔවුන්ගේ බිය අඩු වී බීමත්ව අධික වේගයෙන් වාහන ධාවනය කරන නිසා වෙනදාට වඩා රිය අනතුරු බහුල වී තිබෙන බවත් රථවාහන අංශ භාර පොලිස් නිලධාරිහු සඳහන් කරති.

මෙම උපකරණ නොමැති නිසා රජයට ලැබිය යුතු ආදායම ද සියයට අසූවකින් පමණ අඩු වී ඇතැයි ද කියන පොලිස් නිලධාරීහු අවශ්‍ය උපකරණ කඩිනමින් ලබා දෙන ලෙසද ඉල්ලා සිටිති.

බළපිටිය – අනුර යසමිත්

advertistmentadvertistment
advertistmentadvertistment