ජල ප්‍රහාරයට එරෙහිව හරිනිලා උසාවියට

202

පසුගිය 4 වැනිදා තමන් ඇතුළු ජාතික ජන බලවේගය කාන්තා සංවිධානයේ ක්‍රියාකාරීන් හා සාමාජිකාවන් පිරිසක් බත්තරමුල්ල පොල්දූව මංසන්ධිය අසල පැවැත්වූ සාමකාමී විරෝධතාවට කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව ජල ප්‍රහාර එල්ල කළ බවත් එම පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියෝගයක් කරන ලෙසත් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ඇතුළු කාන්තාවෝ පස්දෙනකු ඊයේ (15 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ.

නීතිඥ මංජුල බාලසූරිය මහතා මගින් ගොනු කර තිබූ එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වැලිකඩ, තලංගම හා මිරිහාන පොලිස් ස්ථානාධිපතිවරුන්, නුගේගොඩ සහකාර පොලිස් අධිකාරිවරයා, නුගේගොඩ ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා, බස්නාහිර දකුණ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, වැඩ බලන පොලිස්පතිවරයා හා නීතිපතිවරයා ඇතුළු නව දෙනකු නම් කර තිබිණි.

එදින උදෑසන 10.30ට පමණ පාර්ලිමේන්තුව පිවිසුම් මාර්ගයේ පදික වේදිකාව මත ඉතා සාමකාමී අයුරින් තමන් ඇතුළු කාන්තාවන් 150-200 පමණ නිහඬ විරෝධතාවක නිරතව සිටියදී ජල ප්‍රහාරක රථ උපයෝගි කර ගනිමින් ඉතා දරුණු ලෙස ජල ප්‍රහාර එල්ල කර තමන් ඇතුළු පිරිස බලහත්කාරයෙන් එම ස්ථානයෙන් විසුරුවාහැරීමට පියවර ගත් බවත් පෙත්සම්කාරියන් එමගින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වාදී තිබිණි. මාර්ගයේ ගමන් කරන්නන්ට හෝ රථ වාහනවලට කිසිදු බාධාවක් නොවන අයුරින් ඉතා සාමකාමී අයුරින් විරෝධතාවයේ යෙදී සිටි පිරිසට එලෙස ජල ප්‍රහාර එල්ල කර හිංසාවට ලක් කිරීමෙන් සාමකාමීව විරෝධතාවක් පෑමට තමන්ට ඇති අයිතිය වගඋත්තරකරුවන් විසින් උල්ලංඝනය කර ඇති බව නිගමනය කරන තීන්දුවක් ලබා දෙන ලෙසත් එකී හිංසාවන් සඳහා නියෝග නිකුත්කළ වගඋත්තරකාර පොලිස් නිලධාරීන්ගෙන් රුපියල් මිලියනය බැගින් තමන් ඇතුළු පෙත්සම්කාරියන්ට ලබාදීමට නියෝගයක් කරන ලෙසත් ඔවුන් අධිකරණයෙන් ඉල්ලා තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය, ජාතික ජනබලවේගය පක්ෂයේ කාන්තා අයිතිවාසිකම් සුරැකීමේ සංගමයේ ලේකම් සමන්මලි ගුණසිංහ, නීතිඥ ධනුෂ්කි ලියනපටබැඳි, නීතිඥ නිලන්ති කොට්ටහච්චි හා වී. සී. බෙල්තසාර් යන පස්දෙනා එම පෙත්සම ගොනු කළහ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment