මන්නයකින් පහර දී සුදේශ් මගේ දුව මරා සිරුර තේ ඉඩමකට ගෙනැවිත් දමා තිබුණා – හංසිකාගේ මරණ පරීක්‍ෂණයේ දී පියා සාක්‍ෂි දෙමින් කියයි

969

මියගොස් ඇති මගේ දුව පවුලේ බාල දරුවා. මගේ වැඩිමහල් දියණිය පදිංචි වී සිටි නිවසේ සිට ඇය පාසල් ගියා. පසුව මගේ ලොකු දුවගේ සැමියා සුදේශ් (මස්සිනා ) සමග සම්බන්ධකමක් ගොඩ නඟාගෙන ඔහු සමග හොර රහසේ ම වෙනත් ප්‍රදේශයක පදිංචියට ගොස් තිබුණා. පසුව ඔහු සමග ආරවුල් ඇති කරගෙන සුදේශ් මගේ දුවට මන්නයකින් පහර දී මරා දමා ඔහු පදිංචි නිවස අසල තේ ඉඩමකට ගෙනැවිත් දමා තිබුණා යැයි කරන්දෙණිය, තල්ගහවත්ත, කනත්තවත්ත ලිපිනයේ පදිංචිව සිටි වන්නිආරච්චි කංකානම්ගේ හංසිකා මධුශානි 17 දැරියගේ මරණය සම්බන්ධයෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී විශාදා පෙරේරා මහත්මිය ඉදිරියේ සාක්ෂි දෙමින් මියගිය අයගේ පියා වන වන්නිආරච්චි කංකානම්ගේ ප්‍රේමරත්න (51) මහතා පැවසීය.

මෙසේ කුරිරු ලෙස ඝාතනය කර ඇත්තේ කරන්දෙණිය, තල්ගහවත්ත කනත්තවත්ත ලිපිනයේ පදිංචිව සිටි වන්නිආරච්චි කංකානම්ගේ හංසිකා මධුශානි නැමැති 17 දැරියයි.

ඇල්පිටිය පොලිසියේ පො.සැ. (28812) ගුණරත්න මහතාගේ මෙහෙය වීම මත සාක්ෂි දුන් සාක්ෂිකරු මෙසේ ද පැවසීය.

මන්නයකින් පහර දී සුදේශ් මගේ දුව මරා සිරුර තේ ඉඩමකට ගෙනැවිත් දමා තිබුණා - හංසිකාගේ මරණ පරීක්‍ෂණයේ දී පියා සාක්‍ෂි දෙමින් කියයි

මියගිය දුව ලොකු දුවගේ ගෙදර සිට ඇයගේ දරු දෙදෙනා ද බලාගනිමින් පාසල් ගියා. ඇය 2023 වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට සිටිය දී ලොකු දුවගේ පුරුෂයා සුදේශ් සමග හොර රහසේ ම වෙනත් ප්‍රදේශයකට ගොස් තිබුණා. අපි මේ ගැන පොලිසියට පැමිණිලි කොට සොයා බැලුවත් දුව ගැන තොරතුරක් ලැබුණෙ නෑ. පසුව ඇය දැනට මාස 4කට පසු තලාව නානායක්කාර මාවතේ බංගලාව වත්තේ කුඩා නිවසකට සුදේශ් සමග පදිංචියට ඇවිත් තිබුණත් අපි ඒ බව දැන සිටියේ නෑ.

තලාව නිවසේ දී සුදේශ් ( බෑනා ) දුවට පහර දී නිතර නිතර හිරිහැර කර තිබුණා. ඇය ඉවසා දරාගත නොහැකි තැන මගේ බිරිඳට ඒ ගැන දැනුම් දී තිබුණා. බෑනා ගෙදර නැති වෙලාවක අපි ඇයව ගෙදර එක්කරගෙන ඇවිත් කරන්දෙණිය පොලිසියට පසුගිය 06 වැනිදා පැමිණිලි කළා. පැමිණිල්ල විභාග කිරීම සඳහා පොලිසියේ දැනුම් දීම මත මගේ බිරිඳත් මියගිය දුවත් ලොකු දුවත් 08 වැනිදා ත්‍රීවීල් එකකින් යමින් සිටිය දී තල්ගහවත්ත පාලම ළඟ දී බෑනා සහ තවත් 05 දෙනෙක් මෝටර් සයිකල් දෙකකින් සහ ත්‍රීවීල් එකකින් පැමිණ මගේ බිරිඳටත් ලොකු දුවටත් පහර දී මියගිය දුවව ත්‍රීවීල් එකට දමාගෙන රැගෙන ගොස් තිබුණා.

ඒ බව ඒ මොහොතේ ම කරන්දෙණිය පොලිසියටත් ඇල්පිටිය් ්.ී.ඡ සර්ටත් දැනුම් දුන්නා. පොලිසියත් අපිත් දුවව එදා මුළු දවස ම සොයා බැලුවත් අපට දුව ගැන සොයා ගන්න බැරි වුණා.

පසු දා 09 වැනිදා උදේ අපිට ආරංචි වුණා දුව නානායක්කාර මාවතේ තේ හේනක කපා කොටා මරා දමා ඇතිබව. මම එවලේම එම ස්ථානයට ගියා. යනකොට පොලිසියේ මහත්වරු එතැන හිටියා. මියගොස් ඇත්තේ මගේ දුව බව මම හඳුනා ගත්තා.

මේ පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී විශාදා පෙරේරා මහත්මිය විසින් පවත්වා මරණකාරියගේ ගෙල ප්‍රදේශයේ වම් පැත්තට තියුණු බර ආයුධකින් සිදු කරන ලද පහර දීමෙන් බෙල්ල සහ සුෂුම්නාව කැපී අධික ලෙස රුධිරය වහනය වීමෙන් හා කම්පනයෙන් සිදු වූ මරණයක් බවට නිගමනය කළේය.

ඇල්පිටිය විදානආරච්චි කීර්තිරත්න

හංසිකා රැගෙන ගිය ත්‍රිරෝද රියැදුරු රිමාන්ඩ්

කාන්තා දිනය දා 17 හැවිරිදි පාසල් දැරියක් පැහැරගෙන ගොස් කපා කොටා අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධියේ ඝාතකයා විසින් මියගිය දැරිය පැහැරගෙන ගිය ත්‍රීරෝද රථයේ රියැදුරු මාර්තු 21 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසට ඇල්පිටිය වැඩබලන මහෙස්ත්‍රාත් ලීලාරත්න විතානච්චි මහතා ඉකුත් දා නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකරන ලද්දේ ඇල්පිටිය , තලාව , අක්කර 20, අන්ක 486/1 ලිපිනයේ පදිංචි එදිරිසිංහ විතානගේ නදීශාන් නොහොත් සුදු මහත්තයා නැමැත්තාය.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ කරන්දෙණිය , තල්ගහවත්ත ,කනත්තවත්ත ලිපිනයේ පදිංචි වන්නිආරච්චි කංකානම්ගේ හංසිකා මධුශානි නැමති පාසල් දැරියයි. තම වැඩිමහල් සහෝදරයාගේ නිවසේ සිටිය දී ඇයගේ පුරුෂයා (මස්සිනා ) විසින් දැරිය සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් අනතුරුව දැරිය හොර රහසේ ම වෙනත් ප්‍රදේශයකට රැගෙන ගොස් අඹුසැමියන් වශයෙන් ජීවත්ව පසුව ඇති වූ ආරවුලක දී මස්සිනා විසින් දැරිය මන්නයකින් කපා කුරිරු ලෙස ඝාතනය කොට සිරුර නානායක්කාර මාවතේ තේ හේනක දමා තිබියදී ඉකුත් දා ඇල්පිටිය පොලිසියේ නිලධාරීන් විසින් සොයාගෙන තිබුණි. ඝාතකයා ( මස්සිනා ) මේ වනවිට ප්‍රදේශය මඟහැර පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් යොදා ඇති බවත් මේ පිළිබඳව පොලිස් පරීක්ෂණ භාරව කටයුතු කරන ඇල්පිටිය පොලිසියේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ. එම්. අනුර විජේසිංහ මහතා ප්‍රකාශ කළේය.

ඇල්පිටිය විදානආරච්චි කීර්තිරත්න

advertistmentadvertistment
advertistmentadvertistment