ලේකම්ගේ ගැසට්ටුවට එරෙහිව සෞඛ්‍ය වෘත්තීය සමිති 30 ක් 3 දා වර්ජනයේ

92

සෞඛ්‍ය ගැටලු ගැන මාධ්‍යට අදහස් දැක්වීම වැළැක්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා නිකුත් කළ ගැසට් නිවේදනය ඉවත්කර නොගැනීමට විරෝධය දක්වමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 30 ක් ලබන බ්‍රහස්පතින්දා (3 දා) එක්දින වැඩවර්ජනයක නිරතවන බව සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පවසයි.

සෞඛ්‍ය සේවාවේ ගැටලු හෙළි කිරීමේදී ඒවාට විසඳුම් ලබාදීම වෙනුවට සෞඛ්‍ය ලේකම්වරයා වෘත්තීය සමිති මර්දනය කර රටට සත්‍ය හෙළි කිරීමට පවතින ඉඩ ප්‍රස්ථා අහුරාලන්නට උත්සාහ කළ බවත් ඒ සඳහා ලේකම්වරයා නිකුත් කළ

චක්‍රලේඛය ඉවත්කර ගන්නා ලෙස වෘත්තීය සමිති රැසක නායකයන් ලේකම්වරයා හමුවී ලිඛිත ඉල්ලීමක් කළ බවත් ඔහු කීය.

එම ඉල්ලීමට ලේකම්වරයා යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීම නිසා සෞඛ්‍ය වෘත්තීය සමිති රැසක නියෝජිතයන් ඊයේ (30 දා) කොළඹදී රැස්වී 03 වැනිදා සිදුකරන වැඩවර්ජනය සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණි බව ද ඔහු කීය.

මෙම වැඩවර්ජනය තුළින් රෝගීන් අපහසුතාවට පත්වුවහොත් එහි වගකීම බලධාරීන් භාරගත යුතු බව ද සභාපතිවරයා පැවසීය. සෞඛ්‍ය වැනි විෂයකට ඇමැතිවරුන් තේරීමේදී විෂයය පිළිබඳව දැනුම තිබෙන අය පත් කළ යුතු බවත්, තම සංගම්වල අරමුණ ඇමැතිවරයා වෙනස් කර ගැනීමට වඩා රෝගීන් වෙනුවෙන් සේවයක් කළ හැකි සෞඛ්‍ය සේවයක් නිර්මාණය කර ගැනීම බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙහිදී සෞඛ්‍ය වෘත්තිකයන්ගේ ජාතික ව්‍යාපාරයේ සභාපති ධර්මකීර්ති ඈපා මහතා ඇතුළු කිහිපදෙනෙක් ද අදහස් දැක්වූහ.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment