මේ කන්නයත් කියන තරම් අවුල් නැහැ….

110

ඊළඟ කන්නයට පෙර අලූතින්ම සටනට සැරසෙමු

ජාතියක් ලෙස අද විඳවන බොහෝ කම්කටොලූ සඳහා අප පදනම දමා ගෙන සිටින්නේ, 1970 – 1977 සමයේ සිදු කරන ලද ජාතික ආර්ථික ප‍්‍රතිසංස්කරණයන් සඳහා එදිරිව යෑම නිසාය. විශේෂයෙන්ම සිරිමාවෝ බණ්ඩාරනායක රජයේ එම ජාති හිතෙෂී ප‍්‍රතිපත්ති නොව එදා සිටි විපක්ෂය විසින් පෝලිම් නමින් ගොතන ලද ප‍්‍රචාරණය සඳහා රටක් ලෙස කඬේ යෑමේ විපාක දැන් අපට විඳින්නට සිදුවීම සුළුපටු ප‍්‍රශ්නයක් නොවේ. එදා සිරිමාවෝ බණ්ඩාරනායක රජය ගෙන ගිය ආර්ථික වැඩපිළිවෙළ පදනම ලෙස ඉදිරියට ගෙන ගියේ නම්, අග්නිදිග ආසියානු කලාපයේ ආර්ථික සංවර්ධන දිශානතිය සමග සමගාමීව යන රටක් ලෙස ශ‍්‍රී ලංකාව පත්වෙන බව රහසක් නොවේ. එසේ වුවත් ලහිලහියේ දේශපාලන න්‍යාය පත‍්‍රය අනුව පමණක් බලා, පක්ෂයක් සඳහා බලය ලබා ගැනීමේ, පටු න්‍යාය පත‍්‍රයට රටක් දුරදර්ශී වැඩ පිළිවෙළක් බිලිදීමේ අනුවණකම හේතුවෙන් අප අද විඳින ගැහැට අපමණය. පෝලිම යුගය, පවුල් ගහ ආදී වචන කිහිපයක් සහ ආණ්ඩුව අභ්‍යන්තරයේ ප‍්‍රශ්න හේතුවෙන්, එදා ජේ.ආර්. ජයවර්ධනගේ බලය සඳහා සමස්ත ජාතික ආර්ථික වැඩපිළිවෙළක් නතර කර දැමූ අතර, තරාතිරම නොදන්නා ධනවාදී පරාසයකට රටම ඇදගෙන යමින්, විවෘත ආර්ථිකයක් සඳහා කිසිදු තර්කන සීමාවක්, සංවාදයක් රහිතව රට ගෙන යෑමේ අර්බුදය අප තවමත් විඳිමින් සිටින්නෙමු. මෙය එක්තරා ආකාරයකට ඒ මොහොතට සිය දේශපාලන අවශ්‍යතාවය ගොනු කිරීමේ පටු පක්ෂ වුවමනාව විසින් සින්නකරන ලද අර්බුදයකි. මේ තත්ත්වයේ අර්බුද සියලූ පක්ෂ පාහේ කාලයෙන් කාලයට අපට උරුම කර දී තිබේ.

2001 පාර්ලිමේන්තු බලය හිමිකර ගත්, එක්සත් ජාතික පෙරමුණ රාජ්‍ය සේවය සම්බන්ධයෙන් අනුගමනය කරන ලද ප‍්‍රශස්ත ප‍්‍රතිපත්තිය ද මෙහිදී මතක් කර ගැනීම අගනේය. මුදල් අමාත්‍යාංශයේ ලේකම් ලෙස එදා කටයුතු කරන ලද්දේ, අගමැති රනිල් වික‍්‍රමසිංහගේ සමීපතමයකු වූ චරිත රත්වත්තේ මහතා ය. ඔහු දැඩි ගති සොබා සහිත නිලධාරියකු ලෙස ප‍්‍රසිද්ධව සිටි අතර, රටේ ආර්ථිකය මෙහෙයවීම සඳහා ඔහු යෝජනා කරන ලද මූලික ප‍්‍රතිපත්තීන් අතර ප‍්‍රධාන වූයේ, රාජ්‍ය සේවය සඳහා අලූතන් කිසිවෙකු බඳවා නොගැනීමය. එම කාරණය විපක්ෂයට ද වඩා ආණ්ඩු පක්ෂයේ විවේචනයට බඳුන් වූයේ, සිය ඡන්දදායකයන් සඳහා ලැයිස්තු ක‍්‍රමයෙන් රැකියා ලබාදීමට නොහැකි වීම හේතුවෙන් ආණ්ඩුවේ මන්ත‍්‍රීවරු කැලැඹී සිටීමය. විපක්ෂය ද මෙම අගනා යෝජනාව සඳහා පහර පිට පහර එල්ල කරනු ලැබුවේ, රාජ්‍ය සේවය බෙලහීන කරමින්, රට අසාර්ථක රාජ්‍යයක් කරා ගෙන යෑමට රනිල් වික‍්‍රමසිංහ ආණ්ඩුව උත්සාහ දරන බව පෙන්වමින්, ලෝකයේ කොහෙවත් නොමැති රාජ්‍ය සේවක ආකෘතියක් සහ අසාර්ථක රාජ්‍යයක් අතර අන්තර් සම්බන්ධයක් මවා පාමිනි. ඒ වන විටත් රාජ්‍ය සේවය තිබුණේ, ජනසවිය, සමෘද්ධි වැනි පන්නයේ තම දේශපාලන හිතවතුන් සඳහා සලසන සහනයක් ලෙස මිස, රටේ සේවා පරිපාලනය කරන ස්ථානයක් ලෙස නොවේ. එවැනි තත්ත්වයක තිබෙන රාජ්‍ය සේවය නඩත්තු කිරීම සඳහා රටේ ජනතා මුදල් වියදම් නොකිරීම සඳහා චරිත රත්වත්තේ ගත් ප‍්‍රගතිගාමී තීන්දුව අවසානයේදී ඔහුට පමණක් නොව සමස්ත පක්ෂයටම නිග‍්‍රහයක් වන තැනට පත්විය. මීට අමතරව චරිත රත්වත්තේ මහතා අවධාරණය කර සිටින ලද්දේ, ඒ වන විට අතිශය පාඩු ලබමින් සිටි ප‍්‍රධාන රාජ්‍ය බැංකු දෙක, ඛනිජ තෙල් සංස්ථාව සහ විදුලිබල මණ්ඩලය උදෙසා ප‍්‍රතිසංස්කරණයක් සිදු කිරීමය. ඒ සියල්ල ද රටේ ජාතික සම්පත් විකිණීම නම් ලේබලය යටතේ විපක්ෂයේ විරෝධතා යාන්ත‍්‍රණයට හසු වූ අතර, අද වන විට එම පියවරයන් අනුගමනය කළේ නම් රටට අර්බුදයක් වූ එම ආයතන මීට වඩා සහනශීලිත්වයක් පෙන්නුම් කරනවා ඇත.

මෙම තත්ත්වයන් දෙකම දක්වන ලද්දේ, ඉදිරිගාමී යෝජනා සහ තත්ත්වයන්, ළඟ බැලීමේ ආස්ථානයක සිට විනාශ මුඛයට ඇදගෙන යෑමේ ඛේදවාචක ලෙසය. මෙවැනි යෝජනා සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය හෙවත් පියවර ගනු ලබන පාර්ශ්වය සිදු කරන දෝෂ සේම, ඒ සඳහා පටු දේශපාලන මත අනුව කටයුතු කරන විපක්ෂය දක්වන ප‍්‍රතිචාරය ද මෙම ඉදිරිගාමී යෝජනා විනාශ මුඛ්‍ය සඳහා කැඳවාගෙන ගොස් තිබේ.

රසායනික පොහොර මුළුමනින්ම තහනම් කිරීම සඳහා ආණ්ඩුව ගත් පියවර අතිශය සාධනීය මෙන්ම ඓතිහාසික පියවරකි. මානව ආහාර අවශ්‍යතාවය සපුරන්නේ, ගැඹුර සෙන්ටිමීටර් තිහක් පමණ දක්වා තිබෙන මතුපිට පසය. මෙම පස් තට්ටුව ආහාර අවශ්‍යතාවය සඳහා යැයි කියමින්, රසායනික පොහොර වෙළෙඳුන්ගේ අවශ්‍යතාවයට තිර කිරීම කාලයක් පටන් දියත් වන සංකල්පයකි. මෙහිදී වැදගත් වන්නේ අවසානයේ ලබා ගන්නා ආහාරය ය. එසේ වෙද්දී, රසායන පොහොර තහනමේ විරෝධය
ගොනුවූයේ, ආහාර වගා කරන ගොවියා වටේය. රටක් ලෙස වස විස නොකෑම සඳහා රජය ගනු ලැබූ සාධනීය පියවර තමන් ගත්තේ කුමක් සඳහා ද යන්න හෝ ජනතාව වෙත පහදා දිය හැකි අවකාශයක් ලබා නොදෙමින්, විපක්ෂය සහ එය වෙත මුදල් පොම්ප කරන ලද පොහොර මාෆියාව, මහ පාරට ගොවියා දක්කන ලද්දේය. එසේ වෙද්දී බහුතර සහ වස විස කන පාරිභෝගික හඬ මෙම සාධනීය පියවර වෙනුවෙන් ඉදිරියට පැමිණියේ නැත.

ශ‍්‍රී ලංකාව රසායනික පොහොර තහනම සඳහා ගත් ක‍්‍රියා මාර්ගය හුදකලා සටනක් නොවේ. එය ලෝකය කනපිට හැරවීම සඳහා ගනු ලැබූ ක‍්‍රියා මාර්ගයකි. ලෝක ජනතාවට වස විසෙන් තොර ආහාර වේලක් ලබාදීම සඳහා ගනු ලැබූ යෝධ පියවරක් ලෙස මෙය ඉතිහාස ගත වීමට නියමිතව තිබුණි. නිසරු භූමි ගහණ වෙනත් රටකට මෙවැනි පියවරක් සඳහා එකවර යෑමට නොහැක්කා සේම, මහා පරිමාණ කෘෂි ව්‍යාපාර හිමි රටවල් සඳහා ද එකවර මෙවැනි පියවරකට යෑමට නොහැක. එසේ වුවත් ජනතාව රෝගී කරවන වස විසෙන් තොර ආහාර රටාවක් සඳහා යෑමට ලෝකයට අවශ්‍ය ය. ඒ සඳහා ආරම්භයක් නොමැතිව සිටින ලෝක ප‍්‍රජාවට ශ‍්‍රී ලංකාව ලබාදුන් තීන්දුව ආදර්ශයක් වන්නට ඉඩ තිබුණි. සරුසාර පස, කාබනික පොහොර පහසුවෙන් නිපදවා ගැනීමට ඇති හැකියාව, මහා පරිමාණ සමාගම් කෘෂිකර්මයෙන් තොර වීම යන මූලික අංග මේ සඳහා ශ‍්‍රී ලංකාවට වාසිදායක අයුරින් පිහිටා තිබේ. විශේෂයෙන්ම ශ‍්‍රී ලංකාවේ බැහැරලන කසළ, නාගරික පරිසරයකදී පවා බැර ලෝහ වැනි අහිතකර සංඝටකයන් පිහිටා ඇත්තේ අතිශය අවම තත්ත්වයක ය. රසායනික පොහොර භාවිතය නතර කර, කසළ සම්පත ම පොහොර බවට කළමනාකරණය සඳහා ශ‍්‍රී ලංකාවට වසර දෙකකට වඩා ගත නොවන්නට ඉඩ තිබුණි. එවැනි ‘ඩබල් වාසි’ ලැබෙන තරම් ප‍්‍රබල තීරණයක් සඳහා ජනාධිපතිවරයා ගිය ද එම තීන්දුව පියවරෙන් පියවර පිටුපසට ගියා මිස, ඉදිරියට ගෙන යෑමට තරමේ කොන්දක් ආණ්ඩුවට නොවීය.

සියලූදෙනාම පාහේ මතුපිටින් බැලූවිට රසායනික පොහොර ක‍්‍රියාදාමයට එරෙහිව සිටින බවක් පෙන්වති. එසේ වුවත් සමහරුන්ගේ ඌන පූර්ණ ඇත්තේ රසායනික පොහොරින් මුළුමනින්ම ඈත්වීමට නොව, රසායනික පොහොර සඳහා ද හොඳ ඉඩ ප‍්‍රස්ථාවක් විවර කරදීමටය. එකවර කරනවා ද වෙනත් ආකාරයකට කරනවා ද යන්නේ ප‍්‍රධාන කාරකයා බවට මේ වන විට පත්ව ඇත්තේ ගොවියා ය. ඒ දේශපාලන සටන් පාඨයක් ලෙස ගොවියා භාවිතා කර, රසායන පොහොර ජාවාරම්කරුවන්ගෙන් සල්ලි මලූ ගැනීමේ දේශපාලනය සඳහාය. රසායන පොහොරෙන් ඉවත් විය යුත්තේ, ගොවියා දෙස බලා නොව පාරිභෝගිකයා දෙස බලාය. පාරිභෝගික ප‍්‍රජාව සඳහා කුමන මාත‍්‍රාවෙන් හෝ වස කැවීම අනුමත කළ හැක්කේ කෙසේද?

දැනටමත් පමා වී ඇති, හිස ගිනිගත්තෙක් ඒ ගිනි නිවන්නා සේ කළ යුතු රසායන පොහොර තහනම සඳහා එකවර යෑම තරමේ සාධනීය පියවරක් මෑත කාලයේදී ජනතාව උදෙසා ආණ්ඩුවක් ගෙන නැති බව කිව හැකිය. ඒත් එවැනි සාධනීය පියවරක්, ප‍්‍රතිවිරුද්ධ දේශපාලනය සහ එයට මුදල් පොම්ප කරන පොහොර මුදලාලි නිසා යම් පමණකට වැළකී යමින් තිබේ.

තීන්දුව ගැනීමට තිබූ කොන්ද තීන්දුව රැක ගැනීම සඳහා නොමැත්තේ නම්, ඒ වචන හරඹයක් මිස වෙනකක් නොවේ.

ගොවියා රැක ගැනීම සඳහා ද ආණ්ඩුව බිලියන ගණනක මුදලක් අයවැයෙන් වෙන් කර තිබේ. මේ තීන්දුව නිසා සිදුවන අස්වැන්න හානිවීම් වෙනුවෙන් වන්දි ලබාදීම දක්වා ගමන් කරන ලද ආණ්ඩුව, සිය තීන්දුව පසුගිය විසි හතර වෙනිදා සිට අකුලා ගත්තේය.

රසායනික පොහොර වෙනුවෙන් පෙනී සිටීම කොයි ලෙසකින් හැඳින්වුවද ජාවාරමේ කොටසකි. ඒ සඳහා කුමන කතා ගෙතුව ද ඒ සියලූදෙනා සේවය කරන්නේ ලෝක පරිමාණ රසායන පොහොර ව්‍යාපාරය වෙනුවෙනි. එකවර රසායන පොහොර ඉවත් කිරීමට එකඟවීම හැර, අන් සියලූ ක‍්‍රියාමාර්ග, මානව ආමාශය වෙත වස යැවීමේ පාප කර්මය සඳහා දායක වීමකි. ශ‍්‍රී ලංකාවේ රසායන පොහොර ක‍්‍රියාදාමයෙන් මුළුමනින්ම ඉවත් වීම සඳහා ගනු ලැබූ තීන්දුව දුෂ්කර තත්ත්වයන් යටතේ ක‍්‍රියාත්මක කළේ නම් එය ලෝක මාදිලියක් වන්නට ඉඩ තිබුණි. එවැනි ආදර්ශයක් සැපයිය හැකි කෘෂි ඉතිහාසයක් අපට තිබේ. සිංහල පොළොව යනු පෙරදිග ධාන්‍යාගාරය ය. ඒ උරුමය සමග ලෝකයටම වස විසෙන් තොර ආහාර නිපදවීමේ ආදර්ශය අප රැගෙන ගියේ නම්, එය ලෝක උරුමයක් බවට පත් වනවා ඇත. මේ ක‍්‍රියාදාමය හේතුවෙන් ලෝකයේ රසායනික පොහොර සමාගම් සියලූදෙනා අසරණ වීම සිදු වනවා ඇත. ඒ සඳහා සියලූ වැය දරා, ලෝක රසායනික පොහොර මාෆියාව, මේ රටේ දේශපාලන සංවිධාන සහ විද්වත්තු, නිලධාරීන් මුදලට ගෙන රසායන පොහොර තහනමට එරෙහිව විවිධ පාඨ යටතේ හඬ නැගූහ. ඒ සියල්ල සුළුතර ගොවියා වෙනුවෙන් මිස, අවසානයේ එය පරිභෝජනය කරන බහුතර පාරිභෝගිකයා වෙත කාරුණික නොවීය. අනෙක් අතට වසවිසෙන් තොරව ගොවිතැන් කරන, රටක් බවට ශ‍්‍රී ලංකාව පත් වූයේ නම් ‘මේඞ් ඉන් ශ‍්‍රී ලංකා’ කෘෂි ආහාර නිෂ්පාදන සඳහා ලෝකයේ විවර වන වෙළෙඳ පොළ කෙසේ වෙනු ඇද්ද?

ඒ සියල්ල අතරේ දැන් තත්ත්වය වෙනස් වෙමින් පවතියි. තමන් ගත් තීන්දුව ක‍්‍රියාත්මක කරවීම උදෙසා ශ‍්‍රී ලංකා යුද හමුදාව සමග ජනාධිපතිවරයා සිදු කරන කර්තව්‍යය මෙහිදී අගය කළ යුතුය.

යුද හමුදාව වෙත මෙම කර්තව්‍ය භාරදීමෙන් පසු හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ගනු ලැබූ ප‍්‍රධාන තීන්දුව වූයේ, කෘෂිකර්ම පරිපාලනය මෙම ක‍්‍රියාත්මකභාවය සඳහා මුළුමනින්ම ගොනු කර ගැනීමය. ජනාධිපතිවරයා මෙම ඓතිහාසික තින්දුව ගන්නා ලද අවස්ථාවේදී එවැනි ගොනු කිරීමක් සිදු වූයේ නැත. ඒ වෙනුවට සිදු වූයේ, කෘෂි විද්වත් කල්ලි කාබනික වගාව සඳහා දිගටම පහර දෙමින්, රසායනික පොහොර සමාගම් හි සෙල්ෆ් රෙෆ් කර්තව්‍යයේ යෙදීමය. මේ නිසා අදාළ ක්‍ෂේත‍්‍රය තුළ රජයේ තීරණය වැනෙන කටයුත්තක් බවට පත්විය. මෙම තත්ත්වය හේතුවෙන් බිම් මට්ටමේ සියලූ රාජ්‍ය කෘෂි යාන්ත‍්‍රණ, රජයේ ප‍්‍රතිපත්තිය වෙත කේන්ද්‍ර ගත කර ගැනීමට නොහැකි විය.

යුද හමුදාපතිවරයාගේ පළමු පියවර වූයේ පළාත්, දිස්ත‍්‍රික් සහ බිම් මට්ටම දක්වා සියලූ කෘෂිකර්ම යාන්ත‍්‍රණයන් රජයේ තීන්දුව උදෙසා පෙළ ගැස්සවීමය. එය එක්තරා ආකාරයකින් දැනට රජයේ තනතුරු දරන විශ‍්‍රාමික හමුදා ප‍්‍රධානින්ගේ ‘අණට පමණක්’ සීමා වූ අමන ක‍්‍රමය නොවූ අතර, අදාළ යාන්ත‍්‍රණය මෙහෙයවමින්ම රාජ්‍ය ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කිරීම සඳහා එක් අතකින්ද, අනික් අතින් බිම් මට්ටම දක්වා යුද හමුදා යාන්ත‍්‍රණය ද ක‍්‍රියාත්මක කරමින් තිබේ. මෙහිදී ප‍්‍රශංසාවට භාජනය විය යුත්තේ, තමන් ගත් පියවර විරෝධතා රැසක් මධ්‍යයේ වුවද ජනාධිපතිවරයා තවමත් ක‍්‍රියාත්මක කරමින් සිටීමය. අනික් අතට එම තීරණය ඵල දරන ආකාරය ය. දැනට වී ගොවිතැන අරභයා ලැබෙන තොරතුරු අනුව පෙනී යන්නේ, රජයේ ප‍්‍රගතිශීලී තීන්දුව කෘෂිකර්මය උදෙසා අවුලක් සිදු කර නැති බවය. විශේෂයෙන්ම දකුණේ පළාතේ බොහෝ ස්ථාන හි කෘෂි බිම් රසායන පොහොරෙන් තොර ගොවිතැන හේතුවෙන් සරුසාර වී ඇති සේම, කෘමි වගා හානි ද අවම ප‍්‍රමාණයක් පවතින බව වාර්තා වේ. මෙය සමස්තයක් ලෙස ගණනය කරන ලද තත්ත්වයක් නොවන හෙයින් ඒ පිළිබඳව වෙනම ඇගයුමක් ඉක්මනින්ම රජය සිදු කළ යුතුය. එසේම මෙම අස්වැන්න ලබා ගැනීමෙන් පසු, රසායනික පොහොරෙන් තොර ගොවිතැන සඳහා රජය ගන්නා ලද ක‍්‍රියාමාර්ගය, තව තවත් ජනතාව අතරට පාරිභෝගික දෘෂ්ටි කෝණ ගතව ක‍්‍රියාත්මක කළ යුතුවේ. ඒ සඳහා අනගි මග පෙන්වීමක් ජාතික සංවිධාන එකමුතුව, මෙම තීරණය සඳහා රජය එලඹුණු මුල් අවස්ථාවේදීම ලබා දුන්නේය. ආනයනික රසායනික පොහොර භාවිතය අවසන් කිරීම සහ පළිබෝධනාශක භාවිතය අවම කිරීම සඳහා වන දොළොස්වැදෑරුම් උපාය මාර්ගික ප‍්‍රවේශය ලෙස ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතාගේ අත්සනින් ජනාධිපතිවරයා වෙත යවන ලද එම යෝජනාව යළි අධ්‍යනය කර ඊළඟ කන්නය අවස්ථාව වන විට රටම, රසායනික පොහොරට එරෙහිව සංවිධානය කිරීමට ආණ්ඩුවට පියවර ගත හැකිය. එම යෝජනාවලියේ ඇති

  • කාබනික වගාවන් හෙවත් ස්වභාවික ගොවිතැන් ක‍්‍රමවලට මාරුවන ගොවීන් දිරිමත් කිරීම සඳහා එසේ රසායනික පොහොර භාවිතය අඩු කිරීම නිසා අස්වනු අඩුවීමක් සිදුවුවහොත් ඒ පිළිබඳව ගොවියාට සහනයක් ලබාදෙන බව සහතික කිරීම සඳහා රජයේ පූර්ණ දායකත්වය සහිතව කෘෂි රක්ෂණ ක‍්‍රමයක් හඳුන්වාදීම. එසේම වී සඳහා වන සහතික මිල රු. 60 දක්වා ඉහළ දමීම. (එමගින් සහල් මිල රුපියල් 105 මට්ටමේ තබාගත හැක.)
  • ස්වභාවික ගොවිතැන් ක‍්‍රම විශේෂයෙන්ම ඉන්දියාවේ සුභාෂ් පලයේකාර් විසින් ගොම සහ ගව මුත‍්‍රා යොදාගනිමින් හඳුන්වා දී ඇති ගොවීන් මිලියන 40ක් විසින් භාවිතා කරන ශුන්‍යය පිරිවැය ගොවිතැන් ක‍්‍රම හඳුන්වාදීම සඳහා ජාතික මට්ටමින් විධිමත් ගොවි අධ්‍යාපන වැඩසටහනක් හඳුන්වාදීම සහ ඒ තුළ භෝග වගාව සමග කිරි ගොවිතැන ඒකාබද්ධ කිරීම සඳහා අධ්‍යාපනය සහ දිරිගන්වීම් ලබාදීම සඳහා ප‍්‍රම‍්‍රඛතාවයක් ලබාදීම. එසේම එම ක‍්‍රියාවලිය තුළ දේශීය බීජ ප‍්‍රභේද ප‍්‍රචලිත කිරීම සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අතීතයේදී කළ පරිදි බීජ ගොවිපළ ජාලයට සහ බීජ වැඩසටහනට නැවත පණදීම.
  • රසායනික පොහොර භාවිතය සීමා කිරීමට සමගාමීව පළිබෝධනාශක භාවිතය සීමා කිරීම සඳහා ඊට අදාළ පනත් සංශෝධනය කිරීම මගින් අලෙවිකරුවන්ට ප‍්‍රමිතීන් පැනවීම සහ කෘෂි නිලධාරියෙකුගේ නිර්දේශයකට අනුව පමණක් පළිබෝධනාශක නිකුත් කිරීම සඳහා නීතිමය ප‍්‍රතිපාදන පැනවීම මෙන්ම එම ක‍්‍රියාවලිය නිසිලෙස නියාමනය කිරීම සඳහා යාන්ත‍්‍රණයක් හඳුන්වාදීම.
  • ස්වභාවික ගොවිතැන් ක‍්‍රම සහ වස විෂ නොමැති ආහාර පරිභෝජනය උසස් ක‍්‍රියාවක් ලෙස සමාජගත කිරීම සහ එවැනි ජීවන ක‍්‍රමයක් ප‍්‍රචලිත කිරීම මෙන්ම කුඩා පරිමාණ ගෙවතු වගාව සහ ආහාරයේ විවිධත්වය වැඩි කිරීම මගින් රටේ ආහාර සුරක්ෂිතතාවය වර්ධනය කිරීම පිළිබඳව රාජ්‍ය මැදිහත්වීමෙන් පුළුල් අධ්‍යාපන සහ ප‍්‍රචාරක ව්‍යාපාරයක් දියත් කිරීම. එසේම රුක් රෝපණ වැඩසටහන්වලදී බහු වාර්ගික ආහාර භෝග වගාව විශේෂයෙන්ම කොස්, දෙල්, පලතුරු ආදී ශාකවලට ප‍්‍රමුඛතාව ලබාදීම සහ ඊට පහසුකම් සැලසීම සඳහා පැළ තවාන්කරුවන් දිරිමත් කිරීම සඳහා වැඩසටහන් හඳුන්වා දීම. වස විස නැති උසස් ගොවිතැන් ක‍්‍රම සහ දේශීය බීජ ප‍්‍රභේද භාවිත කිරීමේදී අස්වැන්න අඩුවීමක් සිදුවේ නම් එය තුලනය කළ හැක්කේ ආහාර විවිධත්වය වැඩිකිරීම මගින් බව මහජනයාට ඒත්තු ගැන්විය යුතුය. ආහාර විවිධත්වය ආහාර සුරක්ෂිතතාවය සඳහා වන අත්‍යවශ්‍ය පූර්ව කොන්දේසියකි.

යන කාරණා ඊළඟ පියවරේදී වඩාත් අවධානයට ලක් විය යුත්තේ, මෙම සාධනීය තීරණයේ පැවැත්ම මෙන්ම, එහි ඉදිරි ගමන සඳහා ද එම යෝජනා දරන වැදගත්භාවය හේතුවෙනි.

මනෝජ් අබයදීර

advertistmentadvertistment
advertistmentadvertistment