කුඩාවැල්ලේ ඝාතනවලට පළිගන්න සඟවාගෙන සිටි ටී 56 ක් දික්වැල්ලෙන් මතුවෙයි

350

ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලියක ප්‍රබලයකු බව කියන ‘කුඩාවැල්ලේ බන්ධු’ නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීම සඳහා ටී 56 ගිනි අවියක් සිය නිවසේ සඟවාගෙන සිටි පාතාල කල්ලි සාමාජිකයන් දෙදෙනකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් පෙරේදා (09වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ප්‍රහාරය සඳහා සූදානම් කර තිබූ ටී 56 ගිනි අවිය සහ ජීව උණ්ඩ 30 ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ලැබුණු තොරතුරකට අනුව එහි නිලධාරීන් විසින් කළ මෙහෙයුමකදී මාතර දික්වැල්ල ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ මෙම ටී 56 අවිය සහ ජීව උණ්ඩ 30 සොයා ගැනීමට හැකි විය.

මෙහිදී අත්අඩංගුවට ගත් පාතාල සාමාජිකයෝ දෙදෙනා මාතර දික්වැල්ල සහ කුඩාවැල්ල ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

ඉකුත් 2018 වසරේ එවකට පාතාලයේ ගෝර්ඩ් ෆාදර් ලෙස හැඳින්වූ මාකඳුරේ මධුෂ්ගේ නියෝග මත කුඩාවැල්ල ධීවර වරායේදී පුද්ගලයන් 5 දෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබිණි. එහිදී ඝාතනයට ලක් වූ තිදෙනෙකු පෙරේදා අත්අඩංගුවට ගත් පාතාල සාමාජිකයන්ගේ ඥාති සොහොයුරන් ය. එම සිද්ධියෙන් පසු 2021 වර්ෂයේදී අසේල සම්පත් නමැති අයකු වෙඩි තබා ඝාතනය කළ අතර ඔහු ද පෙරේදා අත්අඩංගුවට ගත් පාතාල සාමාජිකයකුගේ සොහොයුරෙකි.

මෙම සිද්ධීන් දෙකටම කුඩාවැල්ලේ බන්ධු නමැති පාතාල ප්‍රබලයා සම්බන්ධ වී සිටි අතර පළිගැනීම සඳහා ඔහු ඝාතනය කිරීමට මෙම ටී 56 අවිය සඟවාගෙන සිටි බව අත්අඩංගුවට ගත් සැකකරුවන් පාපොච්චාරණය කර තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ නෙවිල් සිල්වා මහතාගේ උපදෙස් මත එහි ස්ථානාධිපති ඇන්සල් සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන පැවැත්වේ.
හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment