භාෂා 18ක් කතාකළ නිසා දහඅට බාසා කාරයෝ කිව්වා

පරම්පරාවෙන් ආපු නම්බුකාර රස්සාවක්

ඔහු අයත්වූවේ පහත පෙළ ගැසෙන කතාවේ හතරවන පරම්පරාවට ය. “බම්බොට් වෙළෙදාම” පිළිබඳ අසිරිමත් කතාවේ එක් චරිතයක්වූ ඔහු මෙම කතාව අප හමුවේ හෙළිදරව් කර සිටින්නේ මීට ටික කලකට ඉහත දීය. එහෙත් මෙම සටහන තබන අවස්ථාව වනවිට ඔහු ජීවතුන් අතර නැත. අප එකිනෙකා මුණගැසෙන අවස්ථාව වනවිටත් ඔහු තුළින් තරමක් වියපත් බවක් දිස්වුව ද හේ දේහධාරි පෙනුමකින් යුක්ත විය. හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මියපරලොව ගිය ද මියයන්නට ඉහත එක්තරා දිනක පිටකොටුව මල්වත්ත පාරට මුහුණලා පිහිටි රෝහිණී පටුමඟෙහි ඔහුට අයත් නිවසෙහි සිදුවූ මෙම කතාබහ නොවන්නට “බම්බොට්” යන වචනය සහ ඒ වටා ඇති සිරිමත් අතීතය ද ඔහුත් සමග මිහිදන්වන්නට බොහෝදුරට ඉඩකඩ තිබුණි. හේ නමින් එස්.එච්.පද්මසේන නම් විය.

අදින් සියවසකට එපිට දිනක ඔහුගේ මුතුන් මිත්තන් විසින් ආරම්භ කළ ‘බම්බෝට්’ වෙළෙඳ කටයුත්ත 1979 වසර වන විට උරුම ලද්දක් බවට පත්ව ඇත්තේ පද්මසේන මහතා ඇතුළු ඔහුගේ පරපුරට අයත් තවත් පිරිසක් වෙතය.

“අපේ තාත්තල සීයල තමයි මේ ‘බම්බෝට්’ රස්සාවෙ මුල් උරුමක්කාරයෝ. ඒක වෙලා තියෙන්නේ මෙහෙමයි. ඒ කාලේ අපේ රට පාලනය කරලා තියෙන්නේ සුදු ජාතිකයො. සුද්දෝ මේක අපේ මිනින්සුන්ට භාරදීලා තියෙන්නෙ සිංහලයන්ට පමණක් උරුම රස්සාවක් විදියට. 2004 සුනාමිය එනකම් ඒ සම්මුතිය ඒ විදියටම තිබුණා. වෙන කිසිම ජාතියක කෙනකුට මේ රස්සාවට අවසර ලැබුණෙ නෑ.”

“අපේ සීයල, තාත්තගෙ කාලෙ බොහෝ වෙලාවට ඇවිත් තියෙන්නෙ රුවල් නැව්. එහෙම එන රුවල් නැව් කොළඹ වරායේ නැංගුරම් දැම්මට පස්සේ ගොන් බැඳි කරත්තවල පටවගත්ත බඩු අරගෙන අපේ අය වරායට එනවා. ඒකට වෙනම බලපත්‍රයක් තියෙනවා. එහෙම ඇවිත් ඔරුවල බඩු පටවගෙන රුවල ළඟට යනවා. ඊට පස්සේ නැවේ කපිතන් ඔරුවෙ තියෙන බඩු අයිති මුදලාලිට (‘බම්බෝට්’) නැවට ගන්නවා. ඒ ගන්නේ වෙළෙඳාම ගැන කතා බහ කර ගන්න. මේ ව්‍යාපාරය කරපු අපේ පැරැණි අයට විදේශ භාෂා දහ අටක් කතා කරන්න පුළුවන්. ඒ අයට කිව්වේ ‘දහඅට භාෂා කාරයෝ’ කියලා. එහෙම අරගෙන මුලින්ම කරලා තියෙන්නේ ඒ නැව්වල පැමිණි කාර්ය මණ්ඩලය නම් ලැයිස්තුව දෙන එක. ඒ නම් ඉදිරියෙ ඒ ඒ අයට ඔවුන්ගේ වෘත්තියේ හැටියට පවුම් දහය, විස්ස තිහ ආදියට මුදල් වෙන් කරනවා. ඊට පස්සේ තමයි ගනුදෙනුව වෙන්නේ. ගනුදෙනුව උනා කියමුකො. බඩු මිලදී ගත්ත අයගෙ නම ඉදිරියෙන් ගත්ත බඩුවල වටිනාකම සඳහන් කරලා නම් ලැයිස්තුව නැවත කැප්ටන්ට භාර දෙනවා. ඊටත් පස්සේ ගනුදෙනුවෙ සම්පූර්ණ මුදල ගෙවන්නේ කැප්ටන්. ඒකට කරන ගෞරවයක් විදියට අපේ අය කරන්නේ කැප්ටන්ට තෑග්ගක් දෙන එක. එහෙම උදේට මුහුදට යන පිරිස ආපහු ගොඩබිමට එන්නේ හවසට. ඇයි දවසකට නැව් තිහ හතළිහක් ඒ කාලෙ ඇවිත් තියෙනවා. ඒ අය එනකන් අර උදේ බඩු පටවගෙන ආපු කරත්තකාරයෝ මේ අහල පහල තිබුණ රේන්ද පොලක කඩපිලක දවස ගතකරලා හවසට ආපහු ඉතිරි බඩු කරත්තවල පටවගෙන යනවා. පහුවෙනිදා උදේට ආයෙත් එනව. එහෙම තමයි මේ රස්සාවෙ මුල් කාලය ගෙවිලා තියෙන්නේ.

“ඒ කාලෙ ඔරු ගැටගහල තිබනෙ කොච්චිකඩේ පල්ලිය පැත්තට වෙන්න මුහුදෙ. බඩු ටික ඔරුවලට දාගන්නෙ හර්තාල් පාලම ලඟින්. එහෙම මෙම රස්සාවට ගිය යාත්‍රා තිහ හතළිහක් ඒකාලෙ තිබිලා තියෙනවා. එයින් දහ දොළහක් හැමදාම වෙළෙඳාමට මුහුදට යනවා.

විවිධ හැල හැප්පීම් මැද අනාදිමත් කලක පටන් පැවත ආ විසතුරු බඩු අලෙවිය හෙවත් ‘බම්බෝට්’ වෙළෙඳාම පිය උරුමයෙන් පද්මසේන අතට පත්ව ඇත්තේ අදින් වසර හතලිස් ගණනකට එපිට 1979 වසරේදීය. මෙතැන් සිට ලියැවෙන්නේ පද්මසේන මහතාත්, මහ මුහුදේ ‘බම්බෝට්’ වෙළෙඳාමත් පිළිබඳ ඔහු සතු මතකයේ විසිතුරුය.

“මං අපේ පවුලෙ බලයා. තාත්තගේ බලපත්‍රය මගේ නමට හැරෙව්වට පස්සේ තමයි මං මේ බිස්නස් එකට බැස්සෙ. අපි රස්සාව කරන කාලෙ එක බෝට්ටුවක කාර්ය මණ්ඩලය වුණේ අයිතිකාරය (බලපත්‍රලාභියා) සමග හය දෙනයි. මමයි ඇසිස්ටනුයි තව හතර දෙනායි. ඇසිස්ටන් අනිවාර්යයි. එහෙම නැතුව මුහුදට යන්න දෙන්නේ නෑ.”

උදෙන්ම වෑන් එකට බඩු ටික පටවගෙන වරායට යන්න ඕනේ. එතන ඉන්නව කස්ටම් එකේ මහත්වරු වරාය අධිකාරියේ මහත්වරු සහ වරාය පොලීසියෙ මහත්වරු. අපි ගෙනියන බඩු භාණ්ඩ මොනවද කියලා ඒ අයට පරීක්‍ෂා කරන්න ඕනෙ නම් පෙන්වන්න ඕනේ. ඊට පස්සේ හර්තාල් පාලම ළඟින් ගෝලයෝ බඩු ටික බාද්දි බඩුවල අයිතිකාරය Day Book එකක් අරන් ගිහින් නිලධාරීන් මුණගැහෙනවා. ඒ අයගේ නිල අවසරය පිට තමයි හැම දෙයක්ම වෙන්නේ. අපිව බාරව කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ බඩු පටවගෙන අපි මුහුදට යනවා. ලීයෙන් කළ විවිධ කලා කෘති අඟල් එකේ ඉඳලා අඟල් තිහ හතළිය ප්‍රමාණය වෙනකම් බෝට්ටුවෙ පුළුවන් තරම් දාගෙන තමයි මුහුදට යන්නේ.

ටික දුරක් ඔහොම යනකොට නැව් පේන්න ගන්නවා. මම තමයි තීරණය කරන්නේ මොන නැව සමීපයටද යන්නේ කියලා. ඊට පස්සේ තමයි හබල්කරුවො ඒ දිහාවට හබල් ගාන්නේ. නැවේ කොඩිය, ලාංඡනය අනුව අපි දන්නව මේ අහවල් රටේ නැවක් කියලා. ඇමරිකා, ජපන්, ජර්මන්, ස්පාක්‍ද්ක්‍ද, ප්‍රංශ, බෙල්ජියම, ඕලන්ද, බ්‍රිතාන්‍ය, ඩෙන්මාර්ක් වගේ රටවල නැව්වලට තමයි අපි නිතරම ලංවෙන්න බලන්නේ. ඒ අතරින් ජපන් නැව් විශේෂයි. හොඳම බිස්නස් එක තියෙන්නේ ජපන් නැව්වල. අනික තමයි ජපනට වඩා අපිට ජපන් භාෂාව පුළුවන් වීම. ඒ කාලෙ ලොකු පොඩි වශයෙන් ජපන් නැව් විශාල සංඛ්‍යාවක් වරායට එනවා. පොඩි නැව්වලින් කරන්නේ මාළු අල්ලන එක. මාස දෙක තුන මුහුදෙ ඉඳලා මාළු ටොන් තුන්සියයක්, හාරසියයක් අල්ලගෙන තමයි එහෙම නැවක් වරායට එන්නේ.”

මාළු අල්ලන ජපන් පොඩි නැවක උනත් කාර්ය මණ්ඩලය විස්සක් විසිපහක් ඉන්නවා. එහෙම නැවක කැප්ටන් ඇරුනම ඉන්න ප්‍රධානම නිලධාරියෙක් තමයි ශිෂින් මාස්ටර් (Fishin Masiter) කියන්නේ. එයාට කැප්ටන් පවා ගරුකරනවා.

“ඉතිං අපි මුලින්ම කරන්නේ කැප්ටන්ගේ අනුමැතිය ගන්න එක. කැප්ටන් නැතිනම් චීෆ් ඔෆිස ඒ අයගෙ අත්සන අරගෙන නැවේ සීල් එක ගහ ගත්තට පස්සේ තමයි බිස්නස් එක වෙන්නේ. අපි අපේ බෝට්ටු නැවට ලං කළාට පස්සේ නැවේ මුරකාරයා කැප්ටන් එක්ක කතා කරලා ගනුදෙනුවක් සිද්ධ වෙනවා නම් අවසරය අරන් දෙනවා. ඊටත් පස්සේ නැවේ තරප්පු පෙළ පහත් කරනවා. බෝට්ටුවෙ හිමිකරුව නැවට නැගල කැප්ටන් ළඟට යනවා. බෙහොම ආචාරශීලීව කථා බහකින් පස් සේ අහනවා උඹලට කොතනද බඩු දාන්න ඕන කියලා. අපි හුඟක් වෙලාවට වෙළඳාමට තෝර ගන්නේ Stroking Room එක. ඔය අතරේ හුඟක් නැව්වල කැප්ටන්ල සිගරට් එකක් පත්තු කරගෙන ඔබත් දුම් බොනවද, සිසිල් බීම බොනවද කියලා ඒ ඒ අයට අදාළ භාෂාවෙන් අහනවා. ඒ හරහා තමයි හිතවත්කම් වැඩි දියුණු වෙන්නේ. ඔය අතරෙ අහනව මොනවද විකුණාගන්න තියෙන්නේ. ගන්න සල්ලි වර්ගය මොකක්ද කියලා. අපිත් හොඳින් පෙනෙන ආකාරයට විකුණන බඩු ටික ප්‍රදර්ශනය පිණිස තියනවා. ජපන බඩු ඉල්ලන්නෙ අඩු මිලට. අපි කරන්නේ 20% ක් ඩිස්කවුන්ට් දෙන්නම් බඩු ගන්න කියලා කියන එක.

ඊට පස්සේ කැප්ටන් නැවේ මයික් එක අරන් එයාගෙ කාර්ය මණ්ඩලයට කියනවා කෑම වෙලාවට ඇවිත් බලල අවශ්‍ය නම් බඩු ගන්න කියලා. අපි කරන්නෙ ඒ අයට පුළුවන් තරම් බඩු විකුණන එක. ජපන ලංකවේ ලී කැටයම්වලට, ලීයෙන් කරපු අලි ඇත් රූපවලට හරි කැමතියි.

මුහුදු සීමා ආරක්‍ෂාව පිරිස යොදවා තිබූ විශාල යුද නැව් කාර්ය මණ්ඩල සමඟද ගනුදෙනු කර ඇති පද්මසේන ඇතුළු ඔහුගේ පිරිවර එහිදී ලද අත්දැකීම් පිළිබඳ කරුණු එකින් එක විස්තර කළේය.

“යුද නැව්වලට බඩු විකුණන්නට පුළුවන් උනාට ඒ නැව්වලට නඟින්න බෑ. නීතියෙන් නහනම්. ඒව ලංකාවෙ වරායට ආවෙ වතුරයි, තෙල් ගන්නයි. ඇමරිකන් නැව්වලට අපි හොඳට බඩු විකිණුවා. ඒක කළේ ජැටියෙ ඉඳගෙන. වෙන රටක යුද නැවක් අපේ රටට ආවහම තානාපති ඒ නැවට නඟිනවා. කැප්ටන් තානාපතිගෙන් අහනව අර මොනවද? ඇයි එහෙම තියන් ඉන්නේ කියලා. තානාපති තමයි අපේ වෙළෙඳාම් ක්‍රමය ගැන ඒ අයට පැහැදිලි කරන්නේ. බිස්නස් එකේ නීත්‍යානුකූලතාවය ගැන කිව්වට පස්සේ කැප්ටන් නැවේ කාර්ය මණ්ඩලයට කියනව කැමති නම් බඩු ගන්න කියලා. තරප්පුව පහත් කරලා එක පාරකට පහළොවක, විස්සක පිරිසක් බහිනවා. අතේ සල්ලිවලට බඩු ගන්නේ. සමහරු ට්‍රැවල් චෙක් දෙනවා. නැව්වල එන කළු ජාතික මිනිස්සු අපට කැමතියි. අපේ හමත් කළු හින්ද වෙන්න ඇති.

“අද වගේ තමයි… ඒ කාලෙත් ග්‍රීක නැව් ආවා. ඒ වගේ ම පකිස්තාන් නැව් ආවා. පකිස්තාන් නැව්වලට අන්නාසි විකුණන්න පුළුවන්. මේ නැව්වලට අපේ මිනිස්සු නඟිනවා. වෙළෙඳ නැව් වගේ ම ඒ කාලේ නිතර නිතර මගී නෞකා කොළඹ වරායට එනවා. එහෙම නැවක් ආවට පස්සේ තේ කොළ, ගම්මිරිස් විකුණන්න පුළුවන්. ඒ කාලේ ඩොලර් එක අද වගේ ගණන් නෑ. සුළු ගාණක් වෙන්නේ. බෝට්ටුවේ බඩු ටික පටවගෙන නැව ළඟට ගිහින් තමයි ඒ බිස්නස් එක කරන්නේ. අද වගේ ඒ කාලේ නීති රීති තද නෑ.”

බෝට්ටුවලින් නැවට ගොස් සුද්දන්ට බඩු විකිණූ බම්බොට් වෙළෙන්දෝ

“මම මුල දී කිව්ව වගේ සුනාමියෙන් පස්සේ මේ තත්ත්වය වෙනස් වුණා. අර සාම්ප්‍රදායික වෙළෙදාම් ක්‍රමය වෙනුවට නැවක් වරාය ඇතළට ආවට පස්සේ නැවේ කාර්ය මණ්ඩලයට හෝ මගී නෞකාවක් නම් එහි ගමන් කරන පිරිසට වරාය තුළ දීම බඩු අලෙවි කිරීම ආරම්භ වුණේ ඊට පසුවයි. අදත් අපේ රටේ අත්කම් භාණ්ඩ, මුතු, මැණික් ඔය ආදි වශයෙන් නොයෙක් දේ අලෙවි කරනවා. නමුත් අද ඉන්න පරම්පරාවට අත්දැකීම් අඩුයි.

“ අපි විශාල විදේශ විනිමයක් ඒ කාලෙ හැටියට රජයට හොයලා දුන්න. මොන නැවට මොන මුදල් වලින් ගනුදෙනු කළත් හවසට ගොඩ ඇවිත් වරායෙන් පිටවෙන්න කලින් අපිට කරන්න තව රාජකාරියක් තිබුණා. ඒ තමයි අපි උපයන මුදල් අපේ ගනුදෙනුව සම්බන්ධව ඉන්න නිලධාරියට ඉදිරිපත් කරන එක. ඒ අය එම මුදල් ලිඛිතව සටහන් කර ගත්තට පස්සෙ අපිට එළියට එන්න පුළුවන්. ඒ කාලෙ අපි උපයන විදේශ මුදල් මාරු කරගන්න කොළඹ කොටුවෙ වෙනමම බැංකුවක් පවා තිබුණා. විනිමය පාලකගේ මහ බැංකුවේ අවසරය පිට විදේශ මුදල් ඒ බැංකුවෙන් තමයි රුපියල් බවට පත්කළේ.

මේ රස්සාවෙ යෙදෙන කාටවත් පඩියක් නෑ. ඒක සම්ප්‍රදායක්. ලාභය තමයි බෙදාගන්නේ. ඒක වෙන්නේ මෙහෙමයි. බඩු අයිතිකරුට ලයිසන් එකට බඩුවලට කොටස් තුනයි. ඉතිරි ටික අනෙක් පස් දෙනාට. තව කොටසක් වෙන්වෙනවා අවුරුදු කොටස කියලා. ඒක වෙන් කරන්නේ සිංහල අවුරුද්දට. ඒක බෙදා ගත්තේ අවුරුද්දකට වතාවයි.”

“එදා 2004 දෙසැම්බර් විසිපහ. අපි රස්සාවට ගියේ නෑ. හේතුව තමයි නත්තලට පසුවදා වීම. සාමාන්‍යයෙන් නත්තලට එදාට පහුවෙනිදාට අපි රස්සාවට යන්නෙ නෑ. ඒ දවස් කීපයේ වෙළඳාාම වෙන්නේ නෑ. හැබැයි කාල බීල එන්න පුළුවන්. අපේ බෝට්ටු නතර කරන්නේ හර්තාල් පාලම යට. ඒක මගේ සීයා, තාත්ත කාලේ ඉඳන් තිබුණ සම්ප්‍රදායක්. එදා මගේ බෝට්ටු දෙකක් තවත් කීප දෙනෙකුගේත් බෝට්ටු තිබුණේත් හර්තාල් පාලම යට. එහෙම තියෙද්දි තමයි සුනාමිය ගොඩ ගැහුවෙ. ඉන් පස්සෙ අපි අපේ බෝට්ටු දැක්කෙ නෑ. ඒ සිද්ධියත් එක්ක මේ රස්සාවෙන් ජීවත්වුණ පවුල් විශාල සංඛ්‍යාවක් අසරණ වුණා. ඒ අතරේ දකුණු පළාතේ අපිට ලී කැටයම් විසිතුරු බඩු සපයපු නිර්මාණකරුවෝ, අපේ බෝට්ටු අලුත්වැඩියා කටයුතු කළ පිරිස් අපි යටතේ රස්සාව කළ ලොකු පිරිසක් හිටියා. පස්සෙ අපි මේ සම්බන්ධව අදාල බලධාරීන්ට ලිව්වා. කතා කළා අපිට කිසිම උත්තරයක් විසඳුමක් ලැබුණේ නෑ. එහෙමයි මේ රස්සාව අපෙන් ඈතට ගියේ. ඒ දවස්වල හිටපු රජයේ නිලධාරීන් කිව්ව අපේ ප්‍රශ්නය ඇමැතිතුමාට යොමු කරනවා කියලා. අද වෙනකම් එහෙම දෙයක් වුණේ නෑ. අපට අපේ පරම්පරා උරුමය නැති වුණා.”

එපමණක් නොව මෙම අසිරිමත් කතාව අප හමුවේ සඳහන් කර සිටි පත්මසේන මහතා ද මෙම සටහන දැකගැනීමට මත්තෙන් ජීවිතයෙන් සමුගෙන ගොස් අවසන්ය.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment