ලංවිම වෘත්තීය සමිතිවලට පැනවූ වාරණය 15 දා තෙක් දීර්ඝ කෙරේ

134

මහජනතාවට පීඩාවක් වන පරිදි කිසිදු වැඩවර්ජනයක නිරතවීම වළක්වමින් තම අධිකරණය විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති ඇතුළු පාර්ශව 96 කට නිකුත් කර ඇති වාරණ නියෝගය ලබන 15 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඊයේ (01දා) නියෝග කළේය.

ලංකා විදුලිබල මණ්ඩලය විසින් ගොනු කර ඇති එම පැමිණිල්ල සම්බන්ධයෙන් එදිනට විරෝධතා ගොනු කිරීමට වගඋත්තරකාර වෘත්තීය සමිතිවලට අවසන් වශයෙන් දින ලබාදෙන බව පෙන්වාදෙමින් විනිසුරුවරයා එම නියෝගය කළේය.

ලංකා විදුලිබල මණ්ඩලය විසින් නීතිඥ සනත් විජේවර්ධන මහතා මගින් ගොනුකර තිබූ පැමිණිල්ලක් සලකා බැලූ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා නඩුව කැඳවූ මුල් අවස්ථාවේදීම එම වාරණය නිකුත් කොට තිබිණි. වෘත්තීය සමිති විසින් 2023.12.20 වැනිදා අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇති ලිපිය අනුව ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කළහොත් මහජනතාවට පිරිමැසිය නොහැකි අගතියක් සිදුවන බව කියමින් ලංකා විදුලිබල මණ්ඩලය එම පැමිණිල්ල ගොනුකර තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment