වත්තේ කෙනකුට දුරකථන ඇමැතුමක්: මාස පහේ බබා ලැයිම් කාමරේ දමා යුවළ රට පැනලා!

2125

පස්වරු තුනෙන් පසු දුරකථන අක්‍රියයි

මඩකළපුවේ යුවළ ගලහට පැමිණ ඇත්තේ සති දෙකකට කලින්

නවාතැන් දී ඇත්තේ මානසික රෝගී කතක්

දෙල්තොට රෝහලට යැවූ ළදරුවා මව් කිරි ප්‍රශ්නය නිසා පේරාදෙණියට

“මාස පහේ දරුවා ලැයිම් කාමරයේ ඉන්නවා… කාට හරි භාර දෙන්න… අපි රට යනවා” යැයි තමන් පදිංචිව සිටි වතු නිවාස පේලියේ පුද්ගලයකු අමතා දුරකථන පණිවිඩයක් තැබූ යුවළක් රටින් පැන ගොස් තිබේ.

මෙලෙස පවසා රටින් පැන ඇත්තේ ගලහ ලූල්කඳුර වත්තේ ලයින් කාමරයක තාවකාලිකව පදිංචියට පැමිණ සිටි විසි එක් හැවිරිදි තරුණ යුවළකි.

මොවුන් පෙරේදා (22 දා) වතු නිවාස පේලියේ පදිංචි පුද්ගලයකු අමතා තමන් විදේශ ගතවන බවත් කාමරයේ සිටින පිරිමි දරුවා කාට හෝ දී රැකබලා ගැනීමට දීමට කටයුතු කරන ලෙසත් ඉල්ලා තිබේ.

පසුව ඔහු ඒ සම්බන්ධව වතු පාලනාධිකාරිය දැනුවත් කර ඇත. වත්තේ පවුල් සෞඛ්‍ය සේවිකාව මගින් දරුවා දෙල්තොට රෝහලට ඇතුළත් කර ඇත.

දරුවාගේ මව සහ පියා ඇමතුම ලබාදුන් ජංගම දුරකථනය පෙරේදා (22 දා) පස්වරු 3.00 න් පමණ පසු ක්‍රියා විරහිතව තිබෙන බවත් මොවුන් සැබෑ ලෙසම විදේශ ගත වූයේ ද නැතහොත් එසේ අඟවමින් මෙරට ම රැඳී සිටින්නේද යන සැකය පොලිසියට මතුව තිබේ.

මඩකළපුව වාකරය ප්‍රදේශයේ පදිංචි බව කියන මෙම යුවළ මෙයට සති දෙකකට පමණ ඉහත දී වත්තේ ලයින් කාමරයක තාවකාලිකව පදිංචියට පැමිණ ඇත.

ඔවුන්ට නවාතැන් ලබා දී ඇත්තේ මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන මහලු කාන්තාවකි. යුවළ ඔවුන්ගේ ඥාතියකු ද යන්න සම්බන්ධයෙන් සැකයක් මතුවන බවත් අදාළ මහලු කත සැබෑ ලෙසම මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන්නේද යන්න සැක සහිත බවත් පොලිසිය පවසයි.

තරුණ යුවළ තාවකාලික පදිංචියට පැමිණියේ දරුවා එහි තබා විදේශ ගතවීමේ අරමුණින් ද යන්න පිළිබඳව ද පොලිසිය සැක පහළ කරයි.

මව්කිරි ලබා දීමේ පහසුකම් රෝහල සතුව නොමැති බැවින් දරුවා පේරාදෙණිය රෝහලට යොමු කළ බව ගලහ දෙල්තොට රෝහලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කපිල අතපත්තු මහතා කීය.

සිද්ධිය සම්බන්ධයෙන් ගලහ පොලිසියට දැනුම් දීමෙන් පසු පොලිසිය ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment