දවසේ ආහාර පිගාන සකස් විය යුතු අයුරු

3748

අප ආහාර ගන්නේ නිරෝගීව ජීවත්වීමටය. අපි කිසිවෙක් රෝගීව ජීවත්වීමට ආහාර නොගනී. නමුත් වර්තමානයේ අප ගන්නා ආහාර වර්ග නිසා ඉතා පහසුවෙන් රෝගවලට ගොදුරු වේ.

නිරෝගී දිවියක් සඳහා ආහාර ගැනීම

අප ගනු ලබන ආහාරවලින් නිසි පෝෂණයක් සිරුරට ලැබෙනවා දැයි තීරණය වන්නේ අප ගනු ලබන ආහාර වර්ග ආහාර ප‍්‍රමාණය සහ වේල් ගණන යන කරුණු මතය.

අප ගනු ලබන ආහාර වේල් අතරින් සිරුරට අවශ්‍ය පෝෂක සංඝටක සියල්ල නිසි පරිදි ලැබිය යුතුය. ඒවා දවසේ ප‍්‍රධාන ආහාර වේල් තුන වන උදේ දහවල් සහ රාත‍්‍රී ආහාර වේල් සහ කෙටි ආහාර වේල් දෙකක් මගින් ලබාගත හැකිය.

එහිදී ප‍්‍රධාන ආහාර වේල් දෙකක් අතර පරතරය අවම වශයෙන් පැය 06 ක් තිබිය යුතුය.

ප‍්‍රධාන ආහාර වේලක් සහ කෙටි ආහාර වේලක් අතර පරතය පැය 2 1/2 ත් 3 ත් අතර තිබිය යුතුය.

මෙම මූලික කරුණුවලට අනුකූල නොවන ආකාරයට ආහාර ගැනීම නිසා අපට විවිධ ගැටලූවලට මුහුණපෑමට සිදුවනු ඇත.

ආහාර ගැනීමේදී මතුවන ගැටලූ

අපගේ සිරුරේ පෝෂණය සඳහා අප ගත යුතු ආහාර කාණ්ඩ 06 ක් ඇත. එනම් ධාන්‍ය හා අලවර්ග, එළවළු, පලතුරු, මස්මාළු, බිත්තර හා රනිල භෝග, කිරි හා කිරි සහිත ආහාර සහ තෙල් වර්ග ඇට වර්ග හා තෙල් සහිත බීජය.

මෙම ආහාර කාණ්ඩ 06 යෙන් ප‍්‍රමාණවත් තරම් ආහාර නොගතහොත් මන්දපෝෂණය නීරක්තය වැනි රෝග ඇති වේ.

අධික ලෙස ආහාරයට ගතහොත් අධිකබර හා ස්ථූලතාවය, හෘදයාබාද, ආඝාතය, දියවැඩියාව, අධි රුධිර පීඩනය, පිළිකාව වැනි රෝගවලට ගොදුරු වේ.

ප‍්‍රධාන ආහාරවේල් මගහැරීම නිසා විටමින් හා ඛනිජ ඌණතා, ආමාශයේ ආම්ලිකතාවය ඉහළ යෑම නිසා ගැස්ට‍්‍රයිටීස් ඇතිවීම, මලබද්දය හට ගැනීම සිදු වේ.

ප‍්‍රමාණවත් තරම් එළවළු හා පලතුරු නොගැනීම නිසා ප‍්‍රතිශක්තිය දුර්වල වේ. මල බද්ධය හටගනී. විවිධ විටමින් ඌණතා (විටමින් A B C ) මතු වේ.

ප‍්‍රධාන වේලක් සඳහා ආහාර පිගාන සකස්වීම

ප‍්‍රධාන ආහාර වේලෙහි පි`ගානෙන් අඩක් (1/2) පිසූ ධාන්‍ය හා අල වර්ග හෝ බත් තිබිය යුතුය.

ඉතිරි අඩෙන් තුනෙන් දෙකක් (2/3) එළවළු හා පලාවර්ග තිබිය යුතුය.

සමස්ත පි`ගානෙන් හයෙන් එකක් (1/6) මස් මාළු බිත්තර හා වියළි බීජ වර්ග වලින් සම්පූර්ණ විය යුතුය.

පිගානෙන් ඉතා සුළු ප‍්‍රමාණයක් තෙල්, තෙල් සහිත ඇට, බීජ වර්ග හා මේදය එක්කර ගත යුතුය.

කිරි සහ කිරි නිෂ්පාදන මෙන්ම පලතුරු මෙම ප‍්‍රධාන ආහාර වේලට අඩංගු නැති නිසා අපගේ කෙටි ආහාර වේල් සඳහා ඒවා එක්කර ගත හැකිය.

එසේම ප‍්‍රධාන ආහාර වේලට මග හැරුණු අනෙක් ආහාර ද මෙම කෙටි ආහාර වේල් සඳහා එක්කර ගත හැකිය.

සෞඛ්‍යයට හිතකර කෙටි ආහාර

එළවලූ සලාද, කුරක්කන්, හැලප, පෝෂණ රොටි, කොළ කැඳ, කජු, හබල පෙති, උළුඳු වඬේ, තැම්බූ කොස් ඇට, පලතුරු සලාද, සුප්වර්ග, පලතුරු බීම, රට කජු, බත් අග්ගලා, තැම්බූ කිරි අල, ත‍්‍රිපෝෂ ආදේශක ආදිය ඉතා ගුණදායකය.

අහිතකර කෙටි ආහාර

ලූණු අධික ආහාර, සීනි අධික ආහාර, මේදය අධික ආහාර, ක්‍ෂණික ආහාර, පෙර සැකසූ ආහාර (Processed Food) හෝ රසායනික ද්‍රව්‍ය අඩංගු ආහාර වේ.

තොරතුරු
වෛද්‍ය චින්තන විරාජ් ලියනගේ
වාසනා පොත්
ප‍්‍රකාශකයින්ගේ මාතෘ හා
ළමා පෝෂණය ග‍්‍රන්ථ
ඇසුරිනි
 

advertistmentadvertistment
advertistmentadvertistment