ලක්‍ෂ 9කට රැකියා අහිමි වෙලා – දරුවන් ලක්‍ෂ 5කගේ පාසල් ගමන නැවතිලා

66

ජී. එල්. පීරිස්

සුළු හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත ක්‍ෂේත්‍රයේ කඩාවැටීම හමුවේ රැකීරක්‍ෂා අහිමි පිරිස ලක්‍ෂ 09 දක්වා ඉහළ ගොස් ඇතැයි නිදහස ජනතා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.

දිළිඳුකම හේතුවෙන් පාසල් නොයන දරුවන් සංඛ්‍යාව ලක්‍ෂ 05 දක්වා ඉහළ ගොස් ඇති බවත්, ළමා මන්දපෝෂණය සියයට විසිහත දක්වා ඉහළ ගොස් ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා විසින් රචිත ‘ඉරා කළුවර’ කෘතිය දොරටවැඩීමේ අවස්ථාවට එක්වෙමින් පසුගිය 06 දා ජී. එල්. පීරිස් මහතා පැවසීය.

ලෝක බැංකු වාර්තාවට අනුව අප රටේ ජනගහනයෙන් ලක්‍ෂ 57ක් දරිද්‍රතාවෙන් පෙළෙන බවත්, මේ රජය කිසිදු සංවේදීභාවයකින් කටයුතු නොකරන බවත් පැවසූ මන්ත්‍රීවරයා, රජයේ මැති ඇමැතිවරුන් හා රාජ්‍ය නිලධාරීන්ගේ අසංවේදී ප්‍රකාශ නිසා ජනතාව අන්ත අසරණ බවට පත්ව ඇතැයි ද කියා සිටියේය.

වත්මන් රජය ජනතාව නිර්මාණය කළ එකක් නොව කෘත්‍රීමව නිර්මාණය කරගත් රජයක් බවත් එමගින් සමාජ සම්මුතිය සහමුලින්ම උල්ලංඝනය වූ බවත් ඒ මහතා කීය.

ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධ ප්‍රකාශ නිකුත් කිරීමට ජනාධිපතිවරයාට හෝ ජනාධිපති ලේකම් කාර්යාලයට බලයක් නොමැති බවත් එහි සම්පූර්ණ බලය ඇත්තේ මැතිවරණ කොමිසමට බවත් කී ඒ මහතා සැප්තැම්බර් 17 හා ඔක්තෝබර් 17 අතර කාලය තුළ ජනාධිපතිවරණය අනිවාර්යයෙන් පැවැත්විය යුතු බවත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment